ලංකිකයෙකු අතින් තැනුණ චිත්‍රපටයක්...

අපරාධකරුවන්ට සාහසික ඉරණම් අත්කර දෙන අයියායි
පෙබරවාරි 27, 2020

AIYAI : A WRATHFUL SOUL

අයියායි යනු පැරැණි ඉන්දියානු සාහිත්‍යයේ එන වචනයකි. කුමරිය එහි අරුත වේ. එය අහිගුණ්ඨිකයන් සමඟ බැඳී පවතින්නකි. අහිගුණ්ඨිකයන් යනු ලී වලින් නිර්මාණය කළ ආභරණ පලඳීන, සාස්තර කියමින්, නයි නටවමින් සාමාන්‍ය ජනතාවගෙන් වෙන්ව තාවකාලිකව තැනින් තැන වාසය කරන ජන කොට්ඨාසයකි. අහිගුණ්ඨික ජනයාගේ මුල් වාසභූමිය ලෙස සළකනු ලබන්නේ ඉන්දියාව ය. දිනෙක අහිගුණ්ඨික කාන්තාවක් දරුණු වධ හිංසාවන්ට ලක් වී මරණයට පත් වේ. සැනසීමක් නොලද ඇයගේ ආත්මය යළි පැමිණෙන්නේ බලගතු භූතාත්මයක් ලෙසිනි.

භූතාත්මයේ අරමුණ තමාට වධ හිංසා කළ පුද්ලයන්ගෙන් පළිගැනීමයි. කිරන් නම් තරුණයා තමා වටා සිටින බොහෝ දෙනෙකු අබිරහස් ඛේදවාචකයන්ට ලක්වීම හේතුවෙන් මානසික ආතතියට ලක්ව සිටින්නෙකි. පොලිසිය පවා මවිතයට පත් කළ මෙම ඛේදවාචක නිසා දිනෙන් දින ඔහුගේ ආතතිය වර්ධනය වී දරුණු තත්ත්වයකට පත් වේ. ඔහු ඉතා කලබලකාරී හැසිරීමක් පෙන්නුම් කරයි. හඳුනා නොගත් භූතාත්මයක් විසින් යම් පිරිසකට සාහසික ඉරණම් අත්කර දීම සඳහා තමා පාවිච්චි කරමින් සිටින බව ඔහුට තේරුම්ගත හැකි වේ. ඔස්ට්‍රේලියානු නිෂ්පාදනයක් වන අයියායි සිනමා නිර්මාණය දිග හැරෙන්නේ මෙලෙසිනි.

මනෝවිද්‍යාත්මක, ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩයට අයත් අයියායි ඉංග්‍රීසි චිත්‍රපටය ඉලන්දිරයන් ඇලන් ආරුමුගම්ගේ අධ්‍යක්ෂණයකි. ඔහු ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකි. ඉන්දියාවේදී සිනමාව හැදෑරීමෙන් පසු ඔස්ට්‍රේලියාවට පැමිණ කෙටි චිත්‍රපට නිර්මාණකරණයේ යෙදී සිට නිර්මාණය කළ පළමු වෘත්තාන්ත චිත්‍රපටය මෙය යි. මඩකලපුවේ උපද ලද ඇලන් ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධිය ලැබූවෙකි. අයියායි චිත්‍රපටයේ තාක්ෂණික අධ්‍යක්ෂ මෙන්ම පළමු සහය කැමරාකරු ලෙසින් කටයුතු කළ ඇන්තෝනියෝ රොබින් තම්පෝ ද ශ්‍රී ලාංකිකයෙකි.

ඔහු සිංහල සිනමාවේ තම්පෝ පරපුරේ සිව්වන පරපම්පරාව නියෝජනය කරන්නේය. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් සරසවියෙන් සිනමාකරණය, රූපවාහිනි සහ නව මාධ්‍ය පිළිබඳ උපාධිය හැදෑරිමෙන් අනතුරුව ඔහු සිනමාවට සම්බන්ධ වී සිටින්නේ ය.

ඉලන්දිරයන් ඇලන් ආරුමුගම් සමඟින් මුකුන්ද් රාමනන් සහ චාල්ස් බෙනඩික්ට් විසින් තිරරචනය කළ අයියායි චිත්‍රපටයේ කබීර් සිං, පෙන්යනී ලේස්, තාලියා ජේඩ් හොල්ට්, ඔසී ඩෙවරිෂ්, රිචඩ් හගෙට්, විනෝද් මෝහන්, විලියම් වින්ස්ලි, මාර්කෝ සිනිගාලියා ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටිති.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 2 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.