සහෝදරත්වය වෙනුවෙන්

මාර්තු 5, 2020

 Baaghi

 

ටයිගර් ශ්රොෆ් සහ ශ්‍රද්ධා කපූර් ප්‍රධාන චරිත නිරූපණය කළ 2016 වසරේදී තිරගත කෙරුණු Baaghi චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා තබන්නට සමත් වූ චිත්‍රපටයක්. ඉන්දීය සටන් කලා චිත්‍රපටයක් ලෙස සබීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Baaghi චිත්‍රපටයේ සාර්ථකත්වය නිසාම චිත්‍රපට පෙළක් නිර්මාණය කිරීමට නිෂ්පාදන කණ්ඩායම පියවර ගෙන තිබුණි. මේ අයුරින් Baaghi චිත්‍රපට පෙළ ගෙතී තිබෙන්නේ රොනී නම් තරුණයා වටාය.

හදිසි මුදල් අවශ්‍යතාවයක් පිරිමසා ගැනීම සඳහා නීති විරෝධී ව්‍යාපාර රැසක හිමිකාරිත්වය දරන්නෙකු විසින් තායිලන්තයේ බැංකොක් නගරයට පැහැර ගෙන යනු ලැබූ සියා නම් තරුණිය බේරාගෙන රැගෙන ඒමේ වගකීම රොනී විසින් භාර ගැනීම සමඟින් Baaghi චිත්‍රපටය රිදී තිරයේ දිග හැරුණි. එයට පාදක වූයේ ඉන්දුනීසියානු චිත්‍රපටයක් වන The Raid: Redemptio සහ තෙළිඟු චිත්‍රපටයක් වනVarsham  චිත්‍රපටයයි. ඉන්දීය රුපියල් කෝටි 37ක පිරිවැයකින් නිර්මාණය කෙරුණු එහි ඉන්දීය රුපියල් කෝටි 126.96ක ආදායමක් වාර්තා විය. සජීද් නදියද්වාලා විසින් නිෂ්පාදනය කෙරුණු Baaghi 2 2016 වසරේ තිරගත කෙරුණු තෙළිඟු චිත්‍රපටයක් වන Kshanam හි ප්‍රතිනිර්මාණයක්. ටයිගර් සමඟින් ඩීෂා පතානි ප්‍රධාන චරිත නිරූපිත එහි යුද පෙරමුණේ සිටි අති දක්ෂ හමුදා නිලධාරියකු විසින් රුසියානු මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකගේ අත්අඩංගුවේ පසුවන පැරණි පෙම්වතියගේ දියණිය බේරා ගැනීමට දරනා ප්‍රයත්නය දිග හැරුණි. ඉන්දීය රුපියල් කෝටි 59ක පිරිවැයකින් නිර්මාණය කෙරුණු එහි ආදායම ඉන්දීය රුපියල් කෝටි 253.18ක්. නිෂ්පාදක නදියද්වාලා විසින් Baaghi 3 චිත්‍රපටය පිළිබඳ නිවේදනය නිකුත් කර සිටියේ, Baaghi 2 පූර්ව ප්‍රචාරක පටය නිකුත් කිරීම සමඟින්.මෙවර Baaghi 3 ගෙන එන්නේ සහෝදරත්වය යි.

රොනී සහ වික්‍රම් යනු බිඳීය නොහැකි බැඳීමක් ඇති සොහොයුරන් දෙදෙනෙකි. කුඩා කල සිටම වික්‍රම්ට යම් කරදරයක් වූ විට ගලවා ගැනීමට පැමිණෙන්නේ අන්කවරෙකුවත් නොව රොනී ය. දිනක් කිසියම් කාර්යයක් නිම කිරීම පිණිස වික්‍රම්ට විදෙස් සංචාරයක නිරත වීමට සිදු වේ. මෙම ගමනේදි වික්‍රම් බිහිසුණු අපරාධකරුවන් පිරිසක් විසින් පැහැර ගෙන යනු ලබයි. තමා බේරා ගැනීමට ඕනෑම දෙයක් කිරීමටත් එහිදී අවහිරයක් විය හැකි ඕනෑම බාධාවක් විනාශ කිරීමට තම සොයුරා සූදානම් බවත් වික්‍රම් දනී. Baaghi 3 චිත්‍රපටයෙන් ගෙන එන්නේ, රොනී විසින් වික්‍රම් බේරා ගැනීමට කරන්නා වූ දැවැන්ත මෙහෙයුමයි. එය 2012 වසරේ තිරගත කෙරුණු Vetta දෙමළ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. අහමඩ් ඛාන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු Baaghi 3 චිත්‍රපටයේ ටයිගර් ශ්රොෆ් සමඟින් ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ රිතේෂ් දේශ්මුක් සහ ශ්‍රද්ධා කපූර්. Baaghi 2 චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ දීෂා පතානි මෙහි ගීතයක් වෙනුවෙන් රංගන දායකත්වය ලබා දෙන අතර රොනී සහ වික්‍රම්ගේ පියා ලෙසින් ජැකී ශ්රොෆ් විශේෂ දර්ශනයකට පෙනී සිටී. මොරොක්කෝ, ඊජිප්තුව, සයිබීර්යාව සහ තුර්කියේ රූගත කළ Baaghi 3 හෙට (මාර්තු 06) වැනිදා සිට ලොවපුරා තිරගත කිරීමට නියමිතව ඇත.

 

Add new comment