අදිසි මිනිසෙකුගේ පැමිණීම....

මාර්තු 5, 2020

 

The Invisible Man

 

සිසිලියා කාස්ගේ පෙම්වතා දරදඬු, ප්‍රචණ්ඩකාරි අයෙකි. අතිදක්ෂ විද්‍යාඥයකු වන ඔහු ඒඩ්‍රියන් ග්‍රිෆින් නම් වේ. සිසිලියා ඒඩ්‍රියන්ගෙන් ඉතා අපහසුවෙන් බේරී පළා යන්නේ සිය සොහොයුරිය, කුඩා කල මිතුරා සහ ඔහුගේ දියණියගේ උපකාරයෙනි. පසුව ඒඩ්‍රියන් සියදිවි නසා ගෙන ඇති බවත් ඔහු සතු සුවිශාල බූදලයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ඇයට තිළිණ කර ගොස් ඇති බවත් දැන ගැනීමට ලැබේ. අන් අය කෙසේ සිතුවද සිසිලියාට මෙය සැකකටයුතු කාරණාවකි. ඔහුගේ මරණය වංචාවක් බවට ඇය සැක කරයි. තවද සිසිලියාගේ හිතවතුන් එකිනෙකා බිහිසුණු සිදුවීම්වලටද ගොදුරු වන විට ඇයගේ එම සැකය තව තවත් වර්ධනය වේ. අදිසි මිනිසෙක් තමා ගොදුරුකර ගැනීමට වැර දරන බව ඇයට පසක් වේ.

කිසිවෙකුට නොපෙනෙන අදිසි මිනිසෙකු පිළිබඳ ප්‍රබන්ධයක් නූතන යුගයේ පළමුවරට හමුවන්නේ විද්‍යා ප්‍රබන්ධ කලාවේ පියා ලෙස විරුදාවලි ලත් ප්‍රවීණ ලේඛක එච්. ජී. වෙල්ස් (1866 - 1946)  Pearson's Weekly නම් සඟරාවට 1897 වසරේ කොටස් වශයෙන් පළ කරන ලද විද්‍යා ප්‍රබන්ධ නවකතාවය. වෙල්ස් විසින් නිර්මාණය කෙරුණු අදිසි මිනිසාගේ චරිතය 1993 සිට මේ දක්වා චිත්‍රපට, චිත්‍රකතා, කාටුන, රූපවාහිනි නාට්‍ය මාලා ගණනාවක් ඔස්සේ ප්‍රතිනිර්මාණය විය.

මෙම අදිසි මිනිසාගේ නවතම සම්ප්‍රාප්තිය පසුගිය 28 වැනිදා සිට ලොව පුරා තිරගත වන ලෙ වොනෙල් විසින් අධ්‍යක්ෂණය කළ The Invisible Man විද්‍යා ප්‍රබන්ධ, බියජනක චිත්‍රපටය සමඟ සිදු විය. ජේසන් බ්ලූම් සහ කයිල් ඩ්‍යු ෆ්‍රෙස්න් විසින් නිෂ්පාදනය කෙරුණු එහි එළිසබෙත් මෝස්, ඇල්ඩිස් හොජ්, ස්ට්‍රෝම් රීඩ්, හැරියට් ඩයර්, ඔලිවර් ජැක්සන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී ඇත. The Invisible Man චිත්‍රපටයේ නිෂ්පාදන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 7කි. IMDb  දර්ශකයේ 7.6/10ක් හිමිකර ගෙන තිබෙන එය රොට්න් ටොමැටෝස් අඩවියේ 92%ක් ලබා විචාරක පැසසුම් ලබා ගැනීමට සමත් වී සිටී. එහි පොදු විචාරයට අනුව සුහුරු මෙන්ම හොඳීන් රංගනයේ යෙදී ඇති ඒ සියල්ලටම වඩා බෙහෙවින් බිය උපදවන පැරණි චරිතයක නවමු පණගැන්වීමකි. ප්‍රධාන චරිතය වන සිසිලියා කාස් අදිසි මිනිසෙකු ඇය ගොදුරු කර ගැනීමට මාන බලමින් ඇය වටා ගැවසෙන බවට විශ්වාස කරන්නීය. එවැනි අදිසි මිනිසෙකු මේ මොහොතේ ඔබ අසල ද නොමැති බවට කිනම් සහතිකයක් දිය හැකිද?

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 17 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.