24 පැයක මෙහෙයුමක්....

Onward
මාර්තු 12, 2020

යන් සහ බෙයාර්ලි කලකට ඉහතදී මැජික් සපිරි ලෝකයක වර්තමාන සොයුරන් දෙදෙනෙකි. ඔවුන් තරුණ වියට පැමිණි විටදී බලගතු උස් සැරයටියක් ත්‍යාගයක් ලෙස ලැබේ. එනම් ඔවුන්ගේ පියා මිය යාමට පෙර ඔවුන් වෙනුවෙන් වෙන් කළ එකකි. එයට වෙන් වූ වචනයක් පැවසීමෙන් අනතුරුව පැය 24කට පියා ගෙන්වා ගත හැකි වේ. බෙයාර්ලිගේ පෙළඹවීම මත ඉයන් විසින් හදිසියේ එම වචනය පැවසීම සමඟ සැරයටියේ බලය ක්‍රියාත්මක වේ. ක්ෂණයෙන් මතු වන්නේ පියාගේ ඉනෙන් පහළ කොටස පමණි. පැය 24ක් ඉතුරුව ඇත. බෙයාර්ලි සහ ඉයන් විසින් පියාගේ සිරුරේ අනෙක් කොටස සොයා ගත යුතුව ඇත. ඩෑන් ස්කෑන්ලන් විසින් අධ්‍යක්ෂණය කළ Onward චිත්‍රපටය රිදී තිරයේ දිග හැරෙන්නේ මෙලෙසිනි.

පරිගණක සජීවකරණ චිත්‍රපටයක් ලෙස පික්සාර් ඇනිමේෂන් ස්ටුඩියෝස් නිෂ්පාදනය කර වෝල්ට් ඩිස්නි බෙදාහරින Onward චිත්‍රපටය පසුගිය මාර්තු 06 වැනිදා සිට ලොවපුරා තිරගත වීම ඇරඹිණි. ටොම් හොලන්ඩ්, ක්‍රිෂ් පැට්, ජුලියා ලුවී ඩ්‍රේෆ්ස්, ඔලිවියා ස්පෙන්සර් ඇතුළු පිරිසක් මේ සඳහා හඬ දායකත්වය ලබා දී ඇත. මෙහි තිරරචනය ස්කෑන්ලන් සමඟින් ජේසන් හෙඩ්ලි සහ කීත් බුනින් විසින් රචනා කරන ලද්දකි. අධ්‍යක්ෂ ස්කෑන්ලන් පිළිබඳව මේ සමඟ සබැඳී අපූරු සංවේදී කතාවක් වේ. එනම් ඔහුගේ වයස අවුරුද්දක් සහ සිය සොයුරාගේ වයස අවුරුදු තුනක්වන විටදී පියා ජීවතුන් අතරින් සමු ගැන්මයි. මිචිගන්හි හැදී වැඩුණු ඔවුන් යොවුන් වියට පැමිණිවිටදී ඥාතියකු විසින් පියා මිය යාමට පෙර පටිගත කළ හඬ පටයක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සළසා දුන්නේය. Onward චිත්‍රපටය නිර්මාණය කිරීමට ස්කෑන්ලන් පොළඹවන ලද්දේ මෙම සිදුවීමයි.

පසුගිය මාර්තු 06 වැනිදා තිරගත කිරීම ඇරඹි Onward චිත්‍රපටයට රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරක මනාපය 87% ක් හිමි වී ඇත. අනෙකුත් පික්සාර් චිත්‍රපට සමඟ සැසඳීමේදී අඩුපාඩු ඇතත් එම චිත්‍රපට සාර්ථක කර ගැනීමට යෙදු ක්‍රමවේදයම මෙයටද යොදා ගෙන තිබීම හේතුවෙන් එම චිත්‍රපට අතර මෙයද කැපී පෙනීම සේම හදවතට සංවේදී විනෝදජනක චිත්‍රපටයක් ලෙස විශේෂ වන බව එහි ප්‍රමුඛ විචාරයේ සඳහන් වේ. තවද මෙය වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම යටතේ ළමයින් නැරඹිය යුතු චිත්‍රපටයක් බවද සඳහන් කළ යුතුය.

 

Add new comment