අධ්‍යාපනයේ තරගය

ANGREZI MEDIUM
මාර්තු 19, 2020

තම දරුවා ජනප්‍රිය පාසලකට ඇතුළත් කර අධ්‍යාපනය ලබාදීම මවුපියන්ගේ ලොකුම සිහිනය යි. ඒ වෙනුවෙන් වර්තමානයේ මවුපියන් නොකරන දෙයක් නොමැති තරම්. දරුවන් ජනප්‍රිය පාසල් වෙත ඇතුළත් කිරීමට ගන්නා මේ සටන අපේ රටට පමණක් සීමා වූවක් නොවන බව පැහැදිලි වූයේ, පසුගිය වසරේදී බොලිවුඩයෙන් දිග හැරුණු Hindi Medium  චිත්‍රපටය සමගින්.

රාජ් භත්‍රා දිල්ලියේ වෙසෙන ධනවත් ව්‍යාපාරිකයෙකි. මිතා ඔහුගේ බිරිය යි. රාජ් සහ මිතා දෙදෙනාම සාමාන්‍ය හින්දි මාධ්‍ය පාසල්වල ඉගෙනුම ලැබුවද ඔවුන්ගේ අධිෂ්ඨානය තම එකම දියණිය දිල්ලියේ පිහිටි ජනප්‍රිය පාසලකට ඇතුළත් කිරීමයි. එම පාසලට ඇතුළත් කර ගන්නේ පාසලට කිලෝමීටර් තුනක් දුරින් ජීවත් වන පවුල්වල දරුවන් පමණක් වීම හේතුවෙන් රාජ් සහ මිතා යුවළ සිය පදිංචිය වෙනස් කර වසන්ත් විහාර් වෙත පැමිණේ. දියණිය පැසලට ඇතුළත් කිරීම වෙනුවෙන් වූ සම්මුඛ පරීක්ෂණයේදී නිවැරදිව පිළිතුරු ලබාදීමට රාජ් අපොහොසත්වීම සමඟින් සිදුවන්නේ ඇයට එම පාසලට පමණක් නොව වෙනත් පාසලකට පවා ඇතුළත් වීමේ වරම් අහිමි වී යාමයි. ඒ වෙනුවෙන් රාජ් කුමක් කරන්නේ ද ? යන්න Hindi Medium  චිත්‍රපටයෙන් දිග හැරුණි. ඉන්දීය රුපියල් කෝටි 14ක වියදමින් නිර්මාණය කළ Hindi Medium  චිත්‍රපටය ඉහළ ආදායම් වාර්තා තැබූයේ ඉන්දිය රුපියල් කෝටි 322.4ක් උපයා ගනිමිනි. දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම පිළිබඳ වූ මෙම චිත්‍රපටයට 63 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූ අතර එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ඉර්ෆාන් ඛාන් හට හොඳම නළුවා වෙනුවෙන් වූ සම්මානය හිමි විය.

පසුගිය 13 වැනිදා තිරගත කිරීම ඇරඹි Angrezi Medium චිත්‍රපටය ගෙන එන්නේ, මෙම සිදුවීමෙන් වසර දහයකට පසු සිදුවීම් පෙළකි. එයට අනුව චම්පක් බන්සාල් නම් පියා තම දියණිය උසස් අධ්‍යාපන සිහිනය සැබෑකර දීමේ අපේක්ෂාවෙන් ඇය එංගලන්තයට කැඳවා ගෙන යන කතාව දිග හැරේ.  Angrezi Medium  යන්නෙහි අරුත ඉංග්‍රීසි මාධ්‍ය නම් වේ.Angrezi Medium  චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන්නේ ඉර්ෆාන් ඛාන් විසිනි. ස්නායු අන්තරාසර්ග පද්ධති ආශ්‍රිතව හට ගන්නා දුර්ලභ පිළිකා රෝගී තත්ත්වයට ප්‍රතිකාර ගැනීමෙන් පසු ඉර්ෆාන් රංගනයෙන් දායක වන පළමු සිනමා නිර්මාණය වන්නේ ද මෙයයි. ඉර්ෆාන් සමඟින් කරීනා කපූර් ඛාන්, රාධිකා මධාන්, දීපික් දොබ්‍රියල්, ඩිම්පල් කපාඩියා, පන්කජ් ත්‍රිපාති ඇතුළු පිරිසක් ප්‍රධාන චරිත නිරූපණය කරති. අනුෂ්කා ශර්මා, කත්‍රිනා කයිෆ්, ආලියා භාත්, ජාන්වි කපූර්, අනායා පාණ්ඩේ, ක්‍රිටි සැනොන් සහ කියාරා අද්වානි මෙහි එන "Kudi Nu Nachne De" ගීතය වෙනුවෙන් විශේෂ දර්ශනයකට දායක වී ඇත. හෝමි අජානියාගේ අධ්‍යක්ෂණයක් වන Angrezi Medium චිත්‍රපටයේ රූගත කිරීම් සිදු කෙරුණේ ඉන්දියාවේ උදයිපූර්හිදී සහ ලන්ඩනයේදීයි.

 

Add new comment