නිහඬවනු නැතිනම් ඔබ දඩයමක් වනු ඇත....

A Quiet Place
මාර්තු 19, 2020

පිටසක්වළ ජීවීන් පිරිසක් පෘථිවිය ආක්‍රමණය කරන්නේ මනුෂ්‍ය ජීවිතවලට බරපතළ තර්ජනයක් එල්ලකරමිනි. කුසගිනි නිවාගනු පිණිස මිනිසුන් ආහාරයට ගැනීම සඳහා පැමිණෙන මෙම ජීවින් බුද්ධිමත් ජීවින් කොට්ඨාසයක් වන අතර දෑස් නොපෙනුණද ඉතා සියුම් ශබ්දයට පවා අති සංවේදී වේ. ප්‍රමාණයෙන් විශාල ඔවුන් වේගවත් අතර මතුපිට සම ඝන ආවරණයකින් වැසී ඇත. "ඔවුන්ට ඔබ ඇසුණ හොත් ඔවුන් ඔබ දඩයම් කරනු ඇත" තේමා පාඨය බවට පත් වන විටදී තම නිවස තුළ කොටුවන ඇබට් පවුලේ සාමාජිකයන් මෙම සත්ත්වයන්ගෙන් බේරි සිටිමට සටන් කරන්නේ සංකේතාත්මක භාෂාවක් භාවිත කරමින්.

අමෙරිකානු ජාතික නළුවකු, තිරරචකයකු, නිෂ්පාදකවරයකු වන ජෝන් ක්‍රසින්ස්කිගේ විශිෂ්ට සිනමා නිර්මාණයක් වූ A Quiet Place  චිත්‍රපටය රිදී තිරයේ දිග හැරුණේ මෙලෙසින්. අමෙරිකානු ඩොලර් මිලියන 17ක පිරිවැයකින් නිම වූ එය අමෙරිකානු ඩොලර් මිලියන 340.9ක දැවැන්ත ආදායමක් වාර්කා කිරීමට සමත් විය. එහි ප්‍රධාන නළු නිළි යුවළ ලෙසින් චරිත නිරූපණය කළේ අධ්‍යක්ෂ ජෝන් ක්‍රසින්ස්කි සමඟින් බ්‍රිතාන්‍ය ජාතික නිළියක වන ඔහුගේ බිරිය එමලි බ්ලන්ට්. ක්‍රසින්ස්කිගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ A Quiet Place  චිත්‍රපටය විචාරක ප්‍රතිචාර ඉහළින්ම ලැබූවකි. විචාරකයන් සඳහන් කර සිටියේ, මෙය බිය යනු කුමක්ද යන්න පෙන්වන සුපිරි ගණයේ ත්‍රාසජනක චිත්‍රපටයක් බවයි. පළමු වැන්නේ අවසානය වන විට සිය නිවස තුළ අත්විඳී බිහිසුණු සිදුවිම්වලින් පසුව ඇබට් පවුලට සිය ජීවිතය වෙනුවෙන් සටන් කිරීම පිණිස නිවසින් පිටත බාහිර ලෝකයට පිවිසීමට සිදු වේ. බාහිර ලෝකයේදී ඇබට් පවුලට විඳීමට වන අත්දැකීම් මෙතෙක් කල් විඳී බිහිසුණු අත්දැකීම්වලට නොදෙවෙනිය. පිටස්තරයට පැමිණි ඇබට් පවුලට කෙටි කලකින්ම තවත් කරුණක් අවබෝධ වේ. එනම් ශබ්ද නොනඟා සිටීමෙන් පමණක් මෙම බිහිසුණු සතුන්ගෙන් බේරි සිටීමට නොහැකි බවයි. A Quiet Place  චිත්‍රපටයේ දෙවැන්න දිග හැරෙන්නේ මෙලෙසිනි.

පළමු වැන්නේ සේම ක්‍රසින්ස්කි සහ එමලි බ්ලන්ට් ප්‍රධාන චරිත ද්විත්වයට පණ පොවන අතර මෙහි බිහිරි දියණියගේ චරිතයට පණ පොවන්නේ දාහත් හැවිරිදි අමෙරිකානු යොවුන් නිළියක වන මිලිසන්ට් සිමොන්ඩ්ස් විසිනි. ඇය උපතින්ම බිහිරි අතර චරිතයේ සුවිශේෂත්වය වෙනුවෙන් අධ්‍යක්ෂවරයා බිහිරි නිළියක පමණක්ම සෙවීමේ ප්‍රථිඵලයක් ලෙස මෙම චරිතය ඇයට හිමි විය. වැඩිමහල් පුතු මාකස් ඇබට්ගේ චරිතයට පණ පොවන්නේ නෝවා ජූප්. මෙම චිත්‍රපටය නිර්මාණය වෙනුවෙන් අධ්‍යක්ෂ ක්‍රසින්ස්කි බිහිරි උපදේශකවරුන්ගේද සහය සමඟින් අමෙරිකානු හස්ත සංඥා භාෂාවක් යොදා ගෙන තිබීම විශේෂයි. මෙම චිත්‍රපටයද පළමු වැන්නට නොදෙවෙනි වනු ඇති බව විචාරකයන් දැනටමත් මත පළ කර අවසන්. අද (මාර්තු 19) සිට A Quiet Place  ලොව පුරා තිරගත කිරීමට නියමිතව තිබුණත් කොරෝනා වෛරසය පැතිර යාමේ ආවදානම සමඟ අධ්‍යක්ෂ ක්‍රසින්ස්කි ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ එය කල් දැමීමේ තීරණයට එළැඹී ඇති බවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.