සිනමාකරුවකු අහිමි කර ගත් හැඳුනුම්පත marghe and her mother

මාර්තු 19, 2020
marghe e sud madre (marghe and her mother) direction-mohsen makhmalbaf screenplay-marziyeh meshkiny/mohsen makhmalbaf producer/d.o.p/editor-maysam makhmalbaf ylenia galtieri,margherita pantaleo,raffaella gallo, paolo c. santeramo, danilo acinapura italian/running time 101 mts

ඉරාන  සිනමාව  ලොව පුරා අලුත් සිනමාකරුවන්ට ආස්වාදය ගෙන දෙන්නට පටන්ගත්තේ පසුගිය දශක තුනක පමණ කාලයක සිටය. පැවැති ෂා රජුගේ පාලනය යටතේ ඉරානය පාලනය කළ අවදියේ  ටෙහෙරාන් අන්තර්ජාතික සිනමා උලෙළ මෙයට යම් සානුබලයක් සැපයුවාට කිසිදු සැකයක් නැත. එය හැත්තෑව දශකයේ ලොව ඉහළ පෙළේ සිනමා උලෙළක් ව පැවැතිණ. කෙසේ හෝ ඉරාන සිනමාව පිළිබඳ වඩා ලෝකය දැන ගත්තේ ඉරාන ආගමික විප්ලවයෙන් පසු බිහිවුණ සිනමාකරුවන් හරහාය. ඔවුන්ට ප්‍රංශය ආදී රටවලින් ආධාර ලැබුණ අතර ඉරානයේ දැඩි ආගමික  තහංචි මැද වුව ද ඔවුන්ට ආවේණික සිනමා සන්දර්භයක් බිහි කිරීමට තරම් විශිෂ්ට සිනමාකරුවෝ රැසක් එකල බිහිවිණ. මේ අතරින් ප්‍රම්‍රඛයා වූයේ අබ්බාස් කියරොස්තාමිය.  මෝෂෙන් මක්මල්බාෆ් පිවිසියේ එම සිනමා මඟ ඔස්සේය. 1957 වසරේ මැයි 29 වැනි දින ටෙහෙරානයේ උපත ලද මක්මල්බාෆ් 17 හැවිරිදි වියේ දී ෂා පාලනයට එරෙහිව පොලිස් නිලධාරියකු මරා දැමීම නිසා මරණ දඬුවම නියමවූවෙකි. ඉරාන විප්ලවය සමඟ ඔහු නිදහස ලැබූවේය. ඔහු සිනමාවට පිවිසෙනුයේ තිරනාටක රචකයකු හැටියටය. ඔහුගේ මුල්ම චිත්‍රපටය 1983 වසරේ අධ්‍යක්ෂණය කරන ලද  අතර එය මරණ දණ්ඩනය ලැබූ තරුණයකු පිළිබඳ අත්දැකීමක්විය. එය ඔහුගේම පැරණි අත්දැකීම අනුව තැනුණ සිනමා කෘතියකි. එහි ප්‍රධාන චරිතය රඟපෑවේ පසුකලෙක ඉරාන සිනමාවේ  විශිෂ්ටයකු වූ මජිඩි මජිඩි වීම විශේෂයකි. 

මක්මල්බාෆ් ලොව පුරා ප්‍රචලිත වන්නට පටන්ගත්තේ 1987 වසරේ අධ්‍යක්ෂණය කරන ලද සයික්ලිස්ට් චිත්‍රපටය සමඟය. ගැබා, කාන්දාර්, සලාම් සිනෙමා, ද ප්‍රසිඩන්ට්, ද ගාඩ්නර් ඔහු තැනූ සෙසු චිත්‍රපට අතර වෙයි. වර්තමානයේ මක්මල්බාෆ්ගේ පවුලේ සියල්ලෝම සිනමාකරුවෝය. ඔහුගේ භාර්යාවක වූ මාරිෂේ මෙෂ්කිනි චිත්‍රපට අධ්‍යක්ෂවරියක හා කැමරා අධ්‍යක්ෂවරියක වන්නීය.  ඔහුගේ දියණියන් වූ සමීරා හා හැනා යන දෙදෙනාම සිනමාකාරියන් ලෙස පතළය. පුත් මේෂම් කැමරා අධ්‍යක්ෂවරයෙකි.  මක්මල්බාෆ්  මුලින් විවාහ ව සිටියේ මාරිෂේගේ වැඩිමල් සොහොයුරිය වන ෆාතේමේ සමගය. සමීරා ඇතුළු දරුවන්ගේ මව ඇය වූවාය. ඇය හදිසි රිය අනතුරකින් මිය ගිය පසු මෝෂෙන් ඇගේ නැගණිය වූ මාරිෂේ  විවාහ කර ගත්තේය. සමීරා 17 හැවිරිදි වියේදී නිර්මාණය කරන ලද ඇපල් ඉතා අපූරු සිනමා කෘතියක් විය. හැනා විසින් නිර්මාණය කරන ලද මුල්ම සිනමා කෘතියට පාදක වනුයේ ඇෆ්ගනිස්තානයේ තලිබාන් ත්‍රස්තවාදීන් විසින් බාමියන් බුදු පිළිම විනාශ කිරීමත් එය ආශ්‍රිත දැරියකට දැනුණ අන්දමත්ය. එය බුද්ධා කොලැප්ස්ඩ් අවුට් ඔෆ් ෂේම් නම්වෙයි. ඇය සිනමා කෘතියට පාදක කර ගත්තේ  සිය පියා විසින් එම පිළිම විනාශ කිරීමට එරෙහිව ලියන ලද ග්‍රන්ථයකි. ඇගේ දෙවැනි චිත්‍රපටය වූ ග්‍රීන් ඩේස් චිත්‍රපටය වැනිස් සිනමා උලෙළේ තිර ගත වීමත් සමග ඉරාන බලධාරිහු එයට විරෝධය පළ කළහ. මක්මල්බාෆ් පවුලම ඉරානයෙන් පිටවූයේ මේ අවදියේය.  වර්තමානයේ  ඔවුහු වාසය කරන්නේ ප්‍රංශයේය. මෝෂෙන් මක්මල්බාෆ් නිර්මාණය කරන ලද නවතම සිනමා කෘතිය පාදක කර ගනුයේ ඉතාලියයි. එය මාග්‍රේ ඇන්ඩ් හර් මදර් නම් විය. එහි සම තිරනාටකය මෝෂෙන් සමග රචනා කරනුයේ භාර්යාව මාරිෂේ  වන අතර කැමරා අධ්‍යක්ෂණය සහ සංස්කරණය ද  නිෂ්පාදනය ද පුත්‍රයා වූ මේෂම්ගෙනි. ඉරානයේ ජන ජීවිතය ලෝකයට ගෙන ගිය මක්මල්බාෆ්ට පසුගිය කාලයේ සිදුවූයේ වෙනත් රටවල සිට සිනමාකරණයේ යෙදෙන්නටය. 

මාග්‍රේ ඇන්ඩ් හර් මදර් ඉතාලියේ  පරම්පරා තුනක් නියෝජනය කරන චිත්‍රපටයකි. එහි ප්‍රධාන චරිත මාග්‍රේ හා ඇගේ මව වන ක්ලෝඩියා වටා ගෙතුණ ද එයට පරිබාහිරව ගොඩ නැගෙන වැඩිමහල් චරිත මේ පරම්පරා තුන ගැන අක්මුල් සපයයි. 

ක්ලෝඩියා විසි දෙහැවිරිදි වියේ පමණ තරුණියකි.  බැලූ බැල්මට දෙවරක් ආපසු හැරී බලන්නට සිතෙන ක්ලෝඩියා ඇයගේ සය හැවිරිදි දියණිය වන මාග්‍රට් හෙවත් මාග්‍රේ සමඟ කුඩා නිවහනක ජීවත්වෙයි. යොවුන් වියට එළැඹෙත්ම මවක් වූ ක්ලෝඩියා වෙනත් යොවුන් තරුණියන් මෙන්ම දහසක් සිහින දකින්නියකි.   සිනමා කෘතිය ඇරඹෙනුයේ  ඇගේ අලුත් පෙම්වතා වන ගුස්පේ සමඟ ඇති ප්‍රේම සබන්ධතාව බිඳවැටීම සමගය. ගුස්පේ මාග්‍රට් ගේ පියා වුව ද නොවුණ ද  දැරිය ඇයට බෙහෙවින් ඇලුම් කරන බව පෙනී යන කරුණකි. වෙලඳ සැළක සේවය කරම්න් වුව රියැලිටි ෂෝවලට සහභාගි වෙමින් කීයක් හෝ උපයා ගන්නට වැර දරන ක්ලෝඩියා  සිය මිතුරිය සමඟ චිත්‍රපටයක රඟපෑමේ අවස්ථාව ලබා ගන්නට යයි. එහි ඔවුනට හමුවන තරුණයන් දෙදෙනාම මුලින් පෙනෙන්නේ ධනවතුන් ලෙස වුවත් පසුව ඔවුන් දෙ මේ තරුණියන් දෙදෙනාගේම එනම් රැකියා විරහිත පන්තියේ බැව් පසක් වෙයි. එහෙත් මේ හමුවීම ජීවිතයේ අලුත් පෙදෙසකට ඇය ගෙන යයි. ක්ලෝඩියා පවට බය ස්ත්‍රියකි. ඇය දැඩි දේව භක්තික කාන්තාවකි.  එහෙත් මාග්‍රිටා එතරම් ආගමික නැඹුරුවක් නැත. ඇය පල්ලියේ ඉහළ ඇති ඝාන්ටාරය වෙත ගමන් කරයි. මුළු මහත් නගරයම මළානික ආලෝකයකින් වෙලී ඇත්තේ අතිතය ද අනාගතය ද එක සේ මිශ්‍ර වූ ආකාරයටය.

ක්ලෝඩියා නන්නත්තාර දිවි පෙවතට ඇබ්බැහි වනුයේ සිතා මතා නොවේ. ඇය ඇගේ අලුත් මිතුරන් සමඟ මුදල් ඉපැයීමට අලුත් ක්‍රමයක් සොයා ගනියි. ඒ සුරතල් බල්ලන් සොරකම් කිරීමයි. එය  අපට චැප්ලින්ගේ  ද කිඩ් චිත්‍රපටයේ වීදුරු බිඳීන්නා සිහිපත් කරන්නකි. ක්ලෝඩියා ගේ එක් සගයෙකු බල්ලන් සොරකම් කරන අතර අනිත් අය යන්නේ සතා සොයා ගැනීමේ හැකියාව කියන්නටය. බැලූ බැල්මට තක්කඩිකමක් වූ මේ වංචාව කෙළවර වනුයේ  ඔවුන් පොලිසියට කොටුවීමෙණි. ක්ලෝඩියා හා පෙම්වතා එයින් පළාගිය ද අනික් සගයා වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වෙයි. යෙහෙළිය අත් අඩංගුවට පත්වෙයි.    

පොලිසියෙන් පළා යන ක්ලෝඩියා සිය පෙම්වතා සමග රිංගා ගන්නේ ප්‍රාතිහාර්ය ඇතැයි සැලකෙන බැසිලිකා පල්ලියකටය. එහි සුරුවමේ ඇති රන් ඔටුන්න සොරා ගැනීම පෙම්වතා ගේ  බලාපොරාත්තුවයි. එයට ඇය විරුද්ධය. එහෙත් එය සොරා  ගතහොත් එයින් ජීවිතයේ සියලු අඟහිඟකම්වලින් මිදෙන්නට පුළුවන. ඔටුන්න ගලවා ගත්ත ද පල්ලියෙන් පිටතට යා නොහැක්කේ රාත්‍රියේ දොර අගුළු ලා තිබුණු හෙයින්ය. පාන්දර අප දකිනුයේ සිහි විකල්ව ගිය ක්ලෝඩියාය.  පෙම්වතා පොලිස් අත්අඩංගුවටට පත්වෙයි.  චිත්‍රපටය පුරා දැරියගේ සහ මවගේ චරිත  අන්තර දෙකක ගෙන යන්නට සිනමාකරු සමත්වෙයි. මාග්‍රිටා ගේ අනාගතය ක්ලෝඩියාගේ ම කතාවේ දිගුවක් විය හැකිය.  සිනමා කෘතියට වඩාත් ආලෝකය සපයනුයේ සය හැවිරිදි මාග්‍රිටා ලෙස රඟපාන මාග්‍රිටා පැන්ටාලෝ ගේ අද්වීතිය රංගනයයි. මුල් රූප රාමුවේ සුරූපි ක්ලෝඩියා ලෙස චරිත මවන ය්ලේනියා ගැල්ටියේරි ගේ මුහුණ එහි අවසානයේ සිනමාකරු අපට සිහිපත් කරනුයේ දේවමාතාව පිළිබඳ ඇදුණු රූපයමය. සිනමාකරු චරිත තෝරා ගැනීමේදී වඩාත් සැලකිළිමත් වූ බව එයට හොඳම උදාහරණයකි. 

සිනමාකරු විටෙක ජීවිතය දෝලනය කරනුයේ  ත්‍රාසය හා ආදරයටය. අවිනිශ්චිත අනාගතයටය. විටෙක ඉතාලි නව රැල්ලේ ඩි සිකා ගේ  සිනමාව මෙන්ම ප්‍රංශ නවරැල්ලේ ගොඩාඩ් ගේ සිනමාව ද මක්මල්බාෆ් අපට සිහිපත් කරයි.  ඔහු සිය සුපුරුදු ශෛලියෙන්ම සිනමා  සංගීතය භාවිත කරන්නේ අල්පයකි. පැරණි රෝම ගෘහ නිර්මාණ හා රෝමියෝ ජුලියට් සිහි ගන්වන පටු මාවත් ද නූතන හා පැරණි ගෘහ නිර්මාණයන් ද එකිනෙක බද්ධ කරමින්  දුවන කැමරාව මිනිස් ඉරණම පිළිබඳ කතාවක් කියාපායි. එහෙත් මේ ඉරානයේ දී ඇෆ්ගන් සරණාගතයකු පිළිබඳ කාන්දාර් නමින් මා හැඟි සිනමා කෘතියක් නිර්මාණය කළ සිනමාකරුම ද යන සාධාරණ සැකය මතුවීම වැළැක්විය නොහැකිය. ඔහු එකල කටයුතු කළේද වෘත්තිමය රංගන ශිල්පීන් සමග නොවේ. 

ආගන්තුක රටක දී තම පැරණි සිනමාවේ විශිෂ්ටත්වය හා සිනමාකරුගේ අනන්‍යතාව සොයා ගත හැක්කේ කලාතුරකින්ය.  මේ තම රටින් බැහැරව සිනමා නිර්මාණයේ යෙදුණ සිනමාකරුවකු   අතරංමවූ තවත් අවස්ථාවකි. සිනමාවේ භාෂාව විශ්ව භාෂාවක් වුවත් එහි නියැළෙන්නෝ වෙනත් සංස්කෘතියක මිනිසුන් බවට පරිවර්තනය වද්දී ඔවුන් ද සරණාගතයන්වීම වැළැක්විය නොහැකිය. ජර්මනියේ වර්නර් හර්සොග්,  ඊජිප්තුවේ ඇටෝම් ඉගොයානි, ජර්මනියේ වුල්ෆ්ගැන්ග් පීටර්සන් චීනයේ චෙන් කයිගි, තායිවානයේ  ආංග් ලී වැන්නන් හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වූ පසු දැකගන්නට ලැබුණේ ඔවුන්ගේ පැරණි අනන්‍යතාව නොවේ. අපූරු සිනමාකෘතියක් වුව මක්මල්බාෆ් පවා ඔහුගේ අතීත නිර්මාණ හා සසඳද්දී සරණාගතයකුගේ ලක්ෂණ පෙන්වන බව නම් මාග්‍රේ ඇන්ඩ් හර් මදර් පෙන්වා දෙන බැව් පැහැදිලිය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
16 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.