චිත්‍රපට අද නොවේ හෙට

අප්‍රේල් 30, 2020

මේ වන විට ගෝලීය වශයෙන් උද්ගත වී ඇති වසංගත තත්ත්වය ලොවපුරා සිනමා ක්ෂේත්‍රයට බලපෑම් කරන අයුරු කෙරෙහි පසුගිය සති කිහිපය පුරා අපගේ අවධානය යොමු විය. ඒ අනුව දැවැන්ත සිනමා නිර්මාණ කිහිපයකම තිරගත කිරීමේ ආරම්භක දිනයන් අවලංගු කිරීම සේම නවතම චිත්‍රපට අන්තර්ජාලයෙන් නැරඹීමට නිකුත් කිරීමත් දැක ගැනීමට ලැබුණි. එසේම මේ සතියේ අවධානය යොමු වන්නේ මේ වන විට නිෂ්පාදන මට්ටමේ පැවති ලොව පුරා ප්‍රේක්ෂක අවධානය යොමුවී තිබූ සිනමා නිර්මාණ කිහිපයක් කෙරෙහිය. කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් නිෂ්පාදන අත්හිටුවීමට, කල් දැමීමට පමණක් නොව ඇතැම් නිර්මාණවලට දර්ශන තල පවා වෙනස් කිරීමට සිදු වී තිබේ.

 

Avatar 2 සහ Avatar 3

අත්හිටුවා ඇති චිත්‍රපට අතර ප්‍රධානව ප්‍රවීණ සිනමාවේදී ජේම්ස් කැමරන්ගේ Avatar 2 සහ 3 චිත්‍රපට ද්විත්වය වේ. අධ්‍යක්ෂ විසින් මෙම චිත්‍රපට ඉදිරිපත් කරන බව මුලින්ම ප්‍රකාශ කෙරුණේ 2006 වසරේ

Avatar පළමු චිත්‍රපටය තිරගත වීමටත් වසර තුනකට පෙරදීය. පළමු චිත්‍රපටය 2009 වසරේ තිරගත වී එය අතිශය සාර්ථකත්වයක් ළඟාකර ගෙන එතෙක් ලොව වැඩිම ආදායමක් ලද චිත්‍රපටය බවට පත්වීම සමඟම කැමරන් විසින් 2 සහ 3 චිත්‍රපට 2014 සහ 2015 වසරවලදී තිරගත කරන බවට සහතික කොට තිබුණි. පසුව යම් යම් හේතුන් මත චිත්‍රපට නිෂ්පාදනය පමා වූ අතර පසුව 2020 වසර අවසානයේ Avatar 2 චිත්‍රපටයත් 2021 අවසානයේ Avatar 3 චිත්‍රපටයත් 2024 සහ 2025 වසර වලදී 4 සහ 5 චිත්‍රපටත් තිරගත කිරීමට සැළසුම් කෙරුණි. කෙසේ නමුත් පසුව සඳහන් වූයේ Avatar 2, 2021 අවසානයේදීත් ඒ අනුව අනෙක් චිත්‍රපට තවත් ප්‍රමාද වන බවත්ය. කෙරෝනා වසංගතය සමඟ Avatar 2 සහ 3 චිත්‍රපට නිෂ්පාදන කටයතු අත්හිටුවා ඇති බැවින් ඒ අනුව අනෙකුත් Avatar චිත්‍රපටද තිරගත කිරීම තව තවත් ප්‍රමාද වනු ඇත.

 

The Batman

ඩීසි සිනමා විශ්වයේ චිත්‍රපට මාලාවට අදාළව පැරණි බැට් මෑන් චිත්‍රපට මාලාවේ ප්‍රතිනිර්මාණයක් ලෙස නව බැට් මෑන් චිත්‍රපට මාලාවක් නිෂ්පාදනය වෙමින් තිබූ අතර එහි පළමු වැනි චිත්‍රපටය වන The Batman රූගත කිරීම් 2020 ජනවාරි මාසයේදී ලන්ඩනයේදී ආරම්භ කෙරුණි. මාර්තු මාසය ආරම්භයේදී කොරෝනා වසංගතයත් සමඟ චිත්‍රපට රූගත කිරීම් ලන්ඩනයේ සිට ලිවර්පූල් නගරය කරා ගෙන ගොස් තිබූ අතර ඒ වන විටත් චිත්‍රපටයේ වැඩ අත්හිටුවීමට නිෂ්පාදන ආයතනය වන වෝනර් බ්‍රදර්ස්හට සැළසුමක් නොතිබුණි. මාර්තු 25 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් වෝනර් බ්‍රදර්ස් කියා සිටියේ චිත්‍රපටයේ වැඩකටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇති බවයි. කෙසේ නමුත් 2021 ඔක්තෝබර් පළමු වැනිදා චිත්‍රපට තිරගත කිරීමේ සැළසුමක් මේ වන විට ප්‍රකාශයට පත්කර ඇත. මෙහි අධක්ෂක මැට් රීව්ස් වන අතර බැට් මෑන් හෙවත් බෘෘස් වේන්ගේ චරිතයට පණ පොවන්නේ රොබට් පැටින්සන් විසිනි.

 

Elvis

ඔස්ටින් බට්ලර්, අග්‍රගණ්‍ය සංගීතවේදී එල්විස් ප්‍රෙස්ලිගේ චරිතයට පණ පොවන Elvis චිත්‍රපටය බැස් ලුහර්මන් නම් ඔස්ට්‍රේලියානු ජාතික අධ්‍යක්ෂවරයාගේ අධ්‍යක්ෂණයකි. 2020 ජනවාරි මස ඔස්ට්‍රේලියාවේදී රූගත කිරීම් ආරම්භකර තිබු නමුත් මාර්තු 12 වැනිදා සියලු වැඩ අත්හිටුවීමට තීරණය විය. චිත්‍රපටයේ එල්විස් ප්‍රෙස්ලිගේ කළමනකරු වන කර්නල් ටොම් පකර්ගේ චරිතයට පණ පොවන ප්‍රවීණ නළු ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිය රීටා විල්සන්හට කොරෝනා වෛරසය ආසාදනය වීම සමඟ මෙම තීරණය ගෙන තිබුණි.

 

Jurassic World: Dominion

1993 වසරේ පළමුවරට තිරගත වූ Jurassic Park චිත්‍රපටය සමඟම ආරම්භ වු එම චිත්‍රපට මාලාවේ පස්වැනි චිත්‍රපටය Jurassic World: Fallen Kingdom 2018 වසරේ තිරගත කෙරුණු අතර එය එම වසරේ අතිශය සාර්ථක වූ චිත්‍රපටයක් බවට පත් විය. මේ සමඟ මෙම චිත්‍රපට මාලාවේ අවසන් චිත්‍රපටය වන Jurassic World: Dominion නිර්මාණය කිරීමට කටයුතු යොදා තිබුණි. 2020 පෙබරවාරි මාසයේදී මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ඇරඹුණු අතර මාර්තු 13 වැනිදා වන විට කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වමට ගත් ආරක්ෂිත පියවරක් ලෙස චිත්‍රපටයේ රූගත කිරීම් අත්හිටුවනු ලැබීය. යළි රූගත කිරීම් ඇරඹෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට නියමිතය. එංගලන්තය, යුරෝපය, අමෙරිකා එක්සත් ජනපදය සහ හවායි දූපත්වල මෙහි රූගත කිරීම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

 

The Matrix 4

1999 වසර සහ 2003 වසරේ තිරගත කෙරුණු The Matrix චිත්‍රපට මාලාවේ සිව්වැනි චිත්‍රපටය දශක දෙකකට පමණ පසු නිෂ්පාදනය කිරීමට තීරණය කර තිබූ අතර ප්‍රොජෙක්ට් අයිස්ක්‍රීම් යන සංකේත නාමයෙන් නිෂ්පාදන කටයුතු 2020 පෙබරවාරි මාසයේදී අමෙරිකා එක්සත් ජනපදයේ සැන් ප්‍රැන්සිස්කෝ හිදී ආරම්භ විය. මාර්තු මාසය වන විට කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් මෙහි නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇත. මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයට පණ පෙවූ කීනු රීව්ස්, කේරී ඈන් මොස් මෙම චිත්‍රපටයේ ද ප්‍රධාන චරිත නිරූපණය කරන අතර බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සහ නීල් පැට්‍රික් හැරිස් ඇතුළු පිරිසක් සෙසු චරිත මවති.

 

Mission: Impossible 7

Rogue Nation, Fallout චිත්‍රපට වල සිදුවීම් වලින් පසු ඊතන් හන්ට්හට මුහුණදීමට සිදුවන කළ නොහැකි මෙහෙයුම ගැන කියවෙන ප්‍රවීණ නළු ටොම් කෘෘස් රඟන Mission: Impossible චිත්‍රපට මාලාවේ 7 චිත්‍රපටය 2021 නොවැම්බර් මස තිරගත වීමට නියමිතව තිබුණි. මෙහි රූගත කිරීම් ඉතාලියේ වැනිස් නගරයේ සහ රෝමයේ සිදු කිරීමට නියමිත විය. කෙසේ නමුත් ඉතාලියේ දරුණු ලෙස කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් මෙහි රූගත කිරීම් නවතා දැමීමට තීරණය විය.

 

Fantastic Beasts 3

Fantastic Beasts චිත්‍රපට මාලාවේ නම් නොලත් චිත්‍රපටය 2021 වසරේ තිරගත කිරීමට නියමිතව තිබූ අතර පසුගිය පෙබරවාරි මාසයේදී රූගත කිරීම් ආරම්භකර තිබුණි. වොනර් බ්‍රදර්ස් සමාගම විසින් සිය අනෙකුත් චිත්‍රපට නිෂ්පාදන සේම මෙහිද නිෂ්පාදන කටයුතු දින නියමයක් නොමැතිව නවතා දමන ලදී.

 

Home Alone

2019 අගෝස්තු මස ඩිස්නි සමාගම විසින් ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස් සමාගම පවරා ගැනීම සමඟ ඩිස්නි ප්‍රධාන විධායක නිළධාරි බොබ් ඊගර් විසින් Home Alone (1990) අතිශය ජනප්‍රිය ළමා චිත්‍රපට මාලාවේ ප්‍රතිනිර්මාණයක් සිදුකරන බවට පවසා තිබුණි. එකොළොස් වියැති ආචි යේට්ස් මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන අතර පසුගිය පෙබරවාරි ආරම්භ කළ චිත්‍රපටයේ රූගත කිරීම් මාර්තු මාසයේදී අත්හිටුවන ලදී.

 

Spider-Man: Far From Home 2

2017 වසරේ තිරගත කෙරුණු Spider-Man චිත්‍රපට මාලාව් දෙවැනි සහ තෙවැනි කොටස් පිළිබඳ ඉඟි නිකුත් කෙරුණු අතර එහි දෙවැන්න

Spider-Man: Far From Home 2019 වසරේදී තිරගත කෙරුණි. තවමත් නම් නොකළ තෙවැනි චිත්‍රපටය ස්පයිඩර් මෑන් හෙවත් පීටර් පාකර්ගේ ජීවිතයේ මෙතෙක් හෙළි නොවුණු පැතිකඩක් පිළිබඳ කතාවක් බව සඳහන් වේ. එහි රූගත කිරීම් මේ වසරේදී ආරම්භ කිරිමට සැළසුම් කර තිබුණ ද කොරෝනා වෛරසය පැතිර යාම සමඟින් මෙහි ද නිෂ්පාදන කටයුතු දින නියමයක් නොමැතිව අත්හිටුවා ඇත.