BOLLIWOOD

අප්‍රේල් 30, 2020

කුෂි වෙනුවෙන් කැරට් කේක්

බොලිවුඩ් තරු බොහෝ දෙනෙක් මේ දිනවල ඉවුම් පිහුම් සමඟ අලුත් කෑම වර්ග අත්හදා බැලීමේ නිරතව ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ දැන ගන්නට හැකියි. දීපිකා පදුකෝන්, කත්‍රිනා කයිෆ්, සෝනම් කපුර් වැනි නිළියන් නව කෑම වර්ග අත්හදා බැලීමට කාර්යබහුල වන අතරදී මේ කණ්ඩායමට එක්වන නවතම පුද්ගලයා ජාන්වී කපූර්.

පසුගිය දිනෙක ජාන්වි කපූර් සහෝදරිය වන කුෂි කපූර් වෙනුවෙන් කැරට් කේක් එකක් හදන්න තීරණය කළා. අනතුරුව ඇය කුෂි වෙත කැරට් කේක් පිළිගන්වන වීඩියෝවක් ට්විටර් පිටුවට එක් කළා. එහි ජාන්වී මෙම අතුරුපස කෙසේ දැයි කියාය කුෂිගෙන් විමසා සිටී. අනතුරුව කුෂි එයින් ස්වල්පයක් අනුභව කොට ඒක හොඳ යැයි පැවසුවද තවත් වරක් එය පිළිගන්නා ලෙස පැවසූවිටදී සිනහ මුසු මුහුණින් යුතුව මම එයට කැමැති නැහැ යනුවෙන් පවසන්නීය.

 

විලියම් ශේක්ස්පියර් සමඟ

මේ දිනවල කවුරුන් හෝ මොන දේ ගැන කතා කළත් කොරෝනා වෛරසය ගැනත් නොකියාම බැහැ. මෙම වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාව වසා දමා ඇති කාලයක සිනමා තරු විස්තර සොයා යන ගමනේදි හමු වුනේ නසරුදීන් ෂා. ඔහුගේ ප්‍රිය බිරිය බොලිවුඩ් නිළි රත්නා පතක් ෂා. මේ දෙදෙනාම බොලිවුඩයේ පමණක් නොව ඉන්දීය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේත් ප්‍රවීණයන්.

මේ දිනවල නසරුදීන් ෂා කාලය ගත කරන්නේ තමාට වඩාත්ම කැමති දේ කරමින් කියලයි කියන්නේ. එනම් විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය කෘති කියවමින්. ඔහු පවසන්නේ මේ සමඟින් තමන්ට එකදිගට දින කිහිපයක් වුවද ගෘහස්ථව රැඳී සිටිය හැකි බවයි. ඒ වගේම බිරිය රත්නා පතක් පුදුමයට පත් වෙලා. ශේක්ස්පියර්ගේ නාට්‍ය කෘති කියවීමට අමතරව නසීර් ගෙදර දොරේ වැඩකටයුතු සඳහාත් උපකාර කරන්න පටන් අරන්.

දශක ගණනාවකට පෙර විවාහයෙන් පසු ඔහු කුස්සියට පිවිසීම නතර කර තිබු බව ඇය පවසනවා. මට නිවෙසේ රැඳි සිටින කාලට බොහොම විනෝදයෙන් ගත කරන්න පුළුවන්. චිත්‍රපට නැරඹීම, පොත් කියවීම වගේම මේ දවස්වල කුස්සිය් වැඩටත් උදව් වෙනවා. හැබැයි මම දිගු කාලීනව මුළුතැන්ගෙයි වැඩ කරන්න බලපොරොත්තුවක් නැහැ. මේ දවස්වල ශේක්ෂ්පියර්ගේ නාට්‍ය කියවීමට කාලය වෙන් කළේ පුතා වෙනුවෙන්. පවතින තත්ත්වය හමුවේ ගුණාත්මකව කාලය ගත කිරීමට ලැබීම සතුටක් ඔහු පවසනවා.

අජේ ගෙන් ගීතයක් පුතු යුග් සහය අධ්‍යක්ෂණයට

පවතින වසංගත තත්ත්වය මැඩපැවැත්වීම වෙනුවෙන් ඉන්දීය රජය ක්‍රියාත්මක වන විටදී බොහොමයක් බොලිවුඩ් තරු ද ඒ සම්බන්ධව වගකීමක් ගෙන කටයුතු කරන අයුරු දකින්නට ලැබේ. එහිදී රජයේ වැඩපිළිවෙලට අමතරව බොලිවුඩ් තරු ද මේ අවස්ථාවේ ව්‍යසනය මැඩලීමට මෙන්ම අසරණ වූවන්ට උපකාර කිරීමත් වගකීමක් කරගෙන. අජේ දේව්ගන්ද ඒ වෙනුවෙන් මූල්‍ය පරිත්‍යාගයක් කළ අතර පසුගිය සතියේදී තවත් සුවිශේෂි කටයුත්තක් ඉටු කර තිබුණා. එනම් 'තහාර් ජා' නමින් ගීතයක් නිකුත් කිරීමයි.

එය එසේ මෙසේ ගීතයක් නොව ජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙසත් ඔවුන්ගේ පවුල්වල යහපැවැත්ම උදෙසා නිවසෙන් බාහිරව ඔවුන්ගේ නිතිපතා ක්‍රියාකාරකම් වලින් ඉවත් වන ලෙසත් ඉල්ලා සිටින ගීතයක්. අජේ දේව්ගන් විසින් නිෂ්පාදනය කරන ලද මෙම ගීතය රචනා කර තිබෙන්නේ අනිල් වර්මා විසින්. එය ගායනා කරන්නේ මෙහුල් වියාස්. මෙම ගීතය වෙනුවෙන් රූප රචනාව අජේගේ නිවසේදී සිදුකර ඇති අතර රූපරචනයේ සහය අධ්‍යක්ෂවරයා ලෙසින් කටයුතු කර තිබෙන්නේ ඔහුගේ 9 හැවිරිදි පුත් යුග් දේව්ගන්. යුග් මෙම රූ රචනාවට රංගනයෙන්ද දායක වී තිබේ.

බච්චන් හමුවට පැමිණි අමුත්තා

අමිතාබ් බච්චන් බිරිය ජයා බච්චන් සමඟ නවදිල්ලියේ පිහිටි නිවෙසේ කාලය ගත කරමින් සිටී. ඔහු සෑම දිනකම අන්තර්ජාලය ඔස්සේ ඔහුගේ එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳව රසිකයන් යාවත්කාලීන කරන අතර පැයේ පුවත් ලෙසින් විශේෂ සටහන් තැබීම පුරුද්දක් ලෙස සිදු කරයි. පසුගිය දිනෙක සටහන් කළ විශේෂ පුවතක් හේතුවෙන් බොහෝ දෙනා ඔහුගෙන ඉල්ලා සිටියේ ආරක්ෂාකාරී වන ලෙසයි. අමිතාබ් එම විශේෂ පුවතෙන් සඳහන් කර සිටියේ නිවෙසේ තම කාමරයට වවුලෙක් පැමිණි බවයි.

ලොක්ඩවුන් උපන්දිනේ

කොරෝනා වෛරසය හමුවේ ඉන්දියාව වසා තිබියදී උදා වූ වරුන් ධවාන්ගේ 33 වැනි උපන්දිනය නිවෙසේදී පවුලේ සාමාජිකයන් සමඟ සැමරුවා. පසුගිය 24 වැනිදාට යෙදී තිබූ වරුන්ගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ මිතුරු මිතුරියන් සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් එක් කොට තිබුණි. වරුන්, ඉන්දියානු සිනමා සේවකයින්ගේ සම්මේලනය ඔස්සේ පතින තත්ත්වය සමඟ අසීරුතාවයට පත් වී සිටින දෛනික වැටුප් කම්කරුවන්ට උපකාර කළේය. ඉන්දියානු චිත්‍රපට හා රූපවාහිනී අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සභාපති අශෝක් පණ්ඩිත් ට්විටර් වෙබ් අඩවිය ඔස්සේ වරුන්ට පවසා සිටියේ විවිධ ක්ෂේත්‍ර 32 කට අයත් සිනමා කම්කරුවන් ලක්ෂ 5 කට ආසන්න සංඛ්‍යාවක් ඔහුට සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරන බවයි.

උපන්දිනයේදී පමණක් නොව පසුගිය කාලය පුරා වරුන් කොරෝනා වසංගතය පිළිබඳව දැනුවත් කිරීම සහ නිවසේ රැඳී සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීම සඳහා සිය සමාජ මාධ්‍ය භාවිත කරන අයුරු දක්නට ලැබුණා. ඔහු මීළඟට සාරා අලි ඛාන් සමඟ Coolie No.1 චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයන් හමුවීමට නියමිතයි. මෙම චිත්‍රපටය 1997 වසරේදී එම නමින්ම තිරගත වූ ගෝවින්ද-කරිෂ්මා කපූර් රඟපෑ චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් වන අතර එය අධ්‍යක්ෂණය කර ඇත්තේ වරුන්ගේ පියා ඩේවිඩ් ධවාන් විසිනි.

 

ශ්‍රද්ධාගේ ආහාර පාලනය

ශ්‍රද්ධා කපූර් යනු බොලිවුඩයේ තිරයේ විවිධ චරිත වලට අනුවර්තනය වීමේ හැකියාව පෙන්වන දක්ෂ නිළියක්. පසුගිය ජනවාරි මාසයේදී තිරගත කෙරුණු ස්ට්‍රීට් ඩාන්සර් 3 ඩී හි නර්තනය සමඟ ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගැනීමට සමත් වූවාය. එසේම ක්‍රියාදාමයෙන් පිරුණු බාගී 3 චිත්‍රපටයේදී සටනේ දස්කම් පෑමට සමත්වූවාය. මේ වෙනුවෙන් ඇයගේ ශරීරය පවත්වා ගැනීම සඳහා ඇය ආහාර පාලනය කරන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකුට පැනනැඟුණ ගැටළුවක්.

මෑතකදී, ශ්‍රද්ධා සඟරාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තම ආහාර රටාව ගැන සඳහනක් කළා. මම මගේ ආහාර වේල කෙරෙහි දැඩි වන්නේ නැහැ. මම කෑමට කැමතියි. කොහොම වුණත් මම උත්සාහ කරන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට වගේම ආහාර ගැනීම අතර සමබරතාවයක් පවත්වා ගැනීමටයි ශ්‍රද්ධා එහිදී පැවසුවාය.