පරම්පරා හතරක් බොලිවුඩය දිනූ කපූර් පවුල

මැයි 14, 2020

බොලිවුඩයේ බොහොමයක් තරුවලට තම පවුලෙන්  උරුම වූ ස්ථානයක් ඇත. මේ අතර පවුල් බලයක් නොමැතිව වුවද ඉහළ සාර්ථකත්වයක් ලැබීමට තරම් වාසනාවන්ත වූ තරු ද දැකිය හැකි වේ. කෙසේ නමුත් බොලිවුඩයේ නවකයෙකුහට හොඳ චරිතයක් ලබා ගැනීම තරමක් දුෂ්කර කටයුත්තක් වුවද ජනප්‍රිය බොලිවුඩ් පවුලක සාමාජිකයෙකුහට එය අසීරු කටයුත්තක් නොවේ. පසුගියදා බොලිවුඩ් තරුවක වූ රිෂී කපූර්ගේ සමු ගැනීම සමඟ බොලිවුඩයේ පවුල් පිළිබඳ දැඩි අවධානයක් යොමු විය. බොලිවුඩ් සිනමාවේ ආධිපත්‍ය හිමි ජනප්‍රිය පවුල් කිහිපයක්ම වේ. මේ අතරින් කපූර් පවුල් කිහිපයක්ම ඇති අතර එයින් ඉන්දියාවේ ප්‍රථම සිනමා පවුල ලෙස සැළකෙන්නේ ප්‍රීතිවිරාජ් කපූර්ගෙන් පැවත එන කපූර් පවුලයි.

ප්‍රීතිවිරාජ්ගේ පියා පොලිස් නිලධාරියෙකි. ඔහු බහිෂ්වර්නාත් කපූර් නම් විය. ප්‍රීතිවිරාජ් උපත ලැබුයේ1906 වසරේ නොවැම්බර් 03 වැනිදා ලියාල්පූර්හිදීය.(වර්තමානයේ පාකිස්ථානයේ ෆයිසලාබාද්). පංජාබයේ නීති අංශයෙන් උසස් අධ්‍යාපනය ලද ප්‍රීතිවිරාජ් හට සිනමාවට සම්බන්ධවීමට අවස්ථාව ලැබෙන්නේ 1928 වසරේදී බොම්බායට පැමිණීම සමඟිනි. එහිදී ඔහු මුවිටෝන් චිත්‍රපට සමාගමට එක්ව රංගනයට දායක විය. ඉන්දියාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ අලාම් ආරා, රාජ් රාණි මීරා, දුෂ්මන්,ආවාරා,පර්දේසී ආදී චිත්‍රපට රාශියක ඔහු විශිෂ්ට රංගනයන් ඉදිරිපත් කළේය. ඉන්දීය පුරවැසියෙකුට පිදෙන ඉහළම සම්මානය වූ පද්ම භූෂන් සම්මානයෙන් ඔහු පිදුම් ලැබූයේ 1969 වසරේදීය.

බහිෂ්වර්නාත් කපූර්ගේ දෙවැනි පුතු ත්‍රිලෝක් කපූර් ද බොලිවුඩ් නළුවකු විය. 1933 වසරේ සිට 1988 වසරේ අභාවය සිදුවන තෙක්ම ඔහු රංගනයට දායක විය. 1954 වසරේ විජේ භාත් විසින් අධ්‍යක්ෂණය කළ රාමායණයේ ශිව චරිතයට පණ දුන්නේ ත්‍රිලෝක් විසිනි.බොනී කපූර්, අනිල් කපූර් සහ සන්ජේ කපූර්ගේ පියාසුරින්දර් කපූර් ප්‍රීතිවිරාජ්ගේ දුර ඥාති සහෝදරයකි.1923 දී රාම්සරණි මෙහෙරා සමඟ විවාහ වූ ප්‍රීතිගේපුතුන් වූ රාජ් කපූර්, ශම්මි කපූර් සහ ශෂි කපූර් තිදෙනාම සිනමාවට පිවිස ජනප්‍රිය රංගන තරු බවට පත් වූහ. වැඩිමහල් පුතු වූ රාජ් කපූර් විවාහ වූයේ සුප්‍රකට ඉන්දීය නළු ප්‍රේම්නාත්ගේ සහෝදරිය වූ ක්‍රිෂ්ණා මල්හෝත්‍රා සමඟිනි. මේ යුවළගේ පුතුන් අතරින් රන්දීර් කපූර් සහ රිෂි කපූර් ද ජනප්‍රිය නළුවන් බවට පත් වූහ. බාල පුතු රාජිව් කපූර් සිනමාවට පිවිසිය ද ඔහුට එතරම් සාර්ථකවීමට නොහැකි විය. ඉන්දීය සිනමාව තුළ කපූර් පරම්පරාවේ ඉහළ ජනප්‍රියත්වයක් ලබා ගැනීමට සමත් වූ සාමාජිකයා ලෙස සැළකෙන්නේ රාජ් කපූර්ය. රාජ් කපූර්ගේ වැඩිමහල් පුතු රන්දීර් කපූර් විවාහ වූයේ බොලිවුඩ් නිළියක වූ බබිතා හෙවත් බබිතා හරි ශිවදාසිනි සමඟිනි.

රන්දීර් සහ බබිතාගේ දියණියන් කරිෂ්මා සහ කරීනා ද බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය තාරකාවන්ය. රාජ්ගේ දියණිය රිතු කපූර්ගේ පුත්‍රයා නිඛිල් නන්දා විවාහ වූයේ බොලිවුඩයේ සුපිරි තරුව අමිතාබ් බච්චන්ගේ දියණිය ස්වේතා බච්චන් සමඟිනි. ස්වේතා රංගන ක්ෂේත්‍රයට දායක නොවුන ද අතිශය ජනප්‍රිය පවුල් දෙකක් වූ කපූර් සහ බච්චන් පවුල එක් කළ මෙම විවාහයට ද ඉහළ ජනප්‍රියත්වයක් ලැබිණි. කපූර් බච්චන් පවුල්වල හිතවත්කම තව තවත් වර්ධනය කරමින් අභිෂේක් බච්චන් සහ කරිෂ්මා කපූර් අතර ප්‍රේමයක් ඇති වුව ද විවාහය දක්වා නොගොස් එය බිඳ වැටුණේ කපූර් සහ බච්චන් පවුල් දෙක ද විරසක කරමිනි. රන්දීර්ගේ දෙවැනි දියණිය කරීනා බොලිවුඩ් නළු සයිෆ් අලිඛාන් සමඟින් විවාහ දිවියට පත් වූයේ කපූර් පවුලට ඛාන් කෙනෙකු සම්බන්ධ කරමිනි.

රාජ්ගේ දෙවැනි පුතු රිෂි කපූර් විවාහ වූයේ ද ජනප්‍රිය බොලිවුඩ් නිළියක සමඟිනි. ඇය නිතු සිං ය. ඔවුන්ගේ පුතු රන්බීර් කපූර් ද වර්තමානයේ අතිශය ජනප්‍රිය බොලිවුඩ් නළුවෙකි. ඔහු සන්ජේ ලීලා බන්සාලිගේ සාවරියා චිත්‍රපටයේ රංගනයෙන් සිනමාවට පිවිසියේය. දීපිකා පදුකෝන් සහ කත්‍රිනා කයිෆ්ගේ ආදර කතාවලින් පසු ඔහුගේ ආදරය දිනා සිටින්නේ යොවුන් නිළි ආලියා භාත්ය. රන්බීර් සහ ආලියාගේ ආදර කතාව බොලිවුඩයේ ජනප්‍රිය ආදර කතාවක් බවට පත් වී ඇති අතර ලබන දෙසැම්බර් මාසයේදි ඔවුන්ගේ විවාහය සිදුවනු ඇති බවටද පුවත් පළ විය. එසේ වුව හොත් බොලිවුඩයේ තවත් ජනප්‍රිය පවුලක් වන භාත් පවුලද කපූර් පරම්පරාව සමඟ සම්බන්ධ වනු ඇත. රාජ්ගේ දෙවැනි දියණිය රීමාගේ පුතුන් වන අර්මාන් ජේන් සහ අදාර් ජේන් ද කපූර් පරම්පරාවෙන් බොලිවුඩයට පවුලෙන් බොලිවුඩයට පැමිණි නවතම සාමාජිකයන් වේ.

අර්මාන් ජේන් සිය සිනමා දිවිය ආරම්භ කළේ සහාය අධ්‍යක්ෂණයෙනි. ඒ මයි නේම් ඊස් ඛාන් චිත්‍රපටයෙනි. ඉන් පසුව ස්ටුඩන්ට් ඔෆ් ද ඉයර් සහ ඒක් මේන් ඕර් එක්කු තූ චිත්‍රපට සඳහා සහාය අධ්‍යක්ෂණයෙන් දායක විය. ඔහු සිය කුළුඳුල් රංගනය ඉදිරිපත් කළේ අරිෆ් අලී අධ්‍යක්ෂණය කළ ලෙඛාර් හම් දීවානා දිල් චිත්‍රපටයෙනි. ප්‍රීතිගේ දෙවැනි පුතු වූ ශම්මි කපූර්ගේ ප්‍රථම විවාහය සිදු වූයේ ජනප්‍රිය නිළි ගීතාබාලි සමඟිනි. ඇයගේ අකල් මරණය නිසා දෙවැනි විවාහය නෙයිලා දේවි සමඟින් සිදු විය. ආදිත්‍ය රාජ් කපූර් සහ කන්චනි ඔහුගේ දරුවන්ය. ආදිත්‍ය රංගනයට වඩා චිත්‍රපට නිෂ්පාදනයෙන් සාර්ථක වූයේය. ඔහු සිනමාවට පිවිසියේ රාජ් කපූර් අධ්‍යක්ෂණය කළ බොබී (1973) චිත්‍රපටයට සහය අධ්‍යක්ෂණයෙන් දායක වෙමිනි. පසුව සත්‍යම් ශිවම් සුන්දරම් (1978),සාජන් (1991) වැනි චිත්‍රපට සඳහාද සහය අධ්‍යක්ෂණයෙන් එක් වුණු ආදිත්‍ය ගේ පළමු සිනමා අධ්‍යක්ෂ ණය රිෂී කපූර් රඟ පෑ සම්බර් සල්සා චිත්‍රපටය යි. ඉන්දීය සිනමාවේ රංගන ශිල්පියෙකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදකවරයෙකු ද වූ ශෂි කපූර් ප්‍රීති විරාජ්ගේ තෙවැනි පුත්‍රයායි. බ්‍රිතාන්‍ය ජාතික රංගන ශිල්පිනියක වූ ජෙනිෆර් කෙන්ඩාල් සමඟ විවාහ දිවියට පත් ඔහු ඉන්දීය සිනමාවට කපූර් පවුලෙන් තවත් තරු ත්‍රිත්වයක් දායාද කළේය. කුනාල් කපූර්, කරන් කපූර් පුතුන් දෙනොත් සන්ජනා කපූර් දියණියත් මව්පිය ආභාෂයෙන් කපූර් පරපුරේ තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් සිනමාවට පිවිසියහ. කුනාල් කපූර් තම පියාගේ චිත්‍රපටවල මෙන්ම ඉංග්‍රීසි චිත්‍රපටයක් සඳහා ද දායක වී තිබේ. චිත්‍රපට අධ්‍යක්ෂ රමේෂ් සිප්පිගේ දියණිය ශීනා සිප්පි සමඟින් වූ ඔහුගේ විවාහය මේ වනවිට බිඳී අවසන්ය. කරන් කපූර් ද රංගනයෙන් සේම නිරූපණ ක්ෂේත්‍රය තුළ ද කටයුතු කරන්නේය. සංජනා කපූර් ද රංගනයට දායකව සිට වර්තමානයේදී සිය සීයා වූ ප්‍රීති විරාජ්ගේ බොම්බායේ පිහිටි ප්‍රීත්වි තියටර් පාලන කටයුතු බලා ගනිමින් සිටින්නීය. ශ්‍යාමි බෙනෙගල් අධ්‍යක්ෂණය කළ ජූනූන් චිත්‍රපටයේ (1978) ශෂි කපූර් සහ ජෙනිෆර් සමඟින් කුනාල්, කරන් සහ සන්ජනා ද රංගනයෙන් දායක වූහ.

කපූර් පවුලේ පස් වැනි පරම්පරාව ද සිනමාවට ප්‍රවිෂ්ඨ වනු ඇති බව බොහෝ දෙනා අදහස් පළ කර සිටී. කරිෂ්මාගේ දියණිය සමෙයිරා සහ පුතු කිරාන් මෙන්ම රිෂීගේ දියණියගේ දියණිය සමාරා සාති, ස්වේතාගේ දියණිය නාව්‍යා නවේලි නන්දා සහ පුතු අගස්ත්‍යා නන්දා තවමත් අධ්‍යාපනය හදාරමින් සිටිති. තවමත් තෙහැවිරිදි වියේ පසුවන කරීනා කපූර්ගේ පුතු තයිමූර් අලි ඛාන් පතාවුදි ද අනාගතයේ යම් දිනෙකබොලිවුඩයට පිවිසෙනු ඇත.