ඇවෙන්ජර්ස් තරු අලුත් වැඩකට

මැයි 14, 2020

මේ දිනවල හොලිවුඩයේ චිත්‍රපට නිර්මාණ ගැන නම් අසන්න ලැබෙන්නේ නැහැ. නමුත් සිනමා ලෝකයේ ඉහළ ජනප්‍රියත්වයක් ළඟා කරගෙන සිටින මාවල් සිනමා විශ්වයේ සුපිරි වීරයන් හය දෙනෙක් අලුත් වැඩකට එක් වෙලා. ඇවෙන්ජර්ස් චිත්‍රපට මාලාවේ අයන් මෑන්, කැප්ටන් අමෙරිකා, තෝර්, හල්ක්, හෝකි සහ බ්ලැක් විඩෝ මේ විදියට හමු වන්නේ කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා සෞඛ්‍ය ආයතන වෙත ආධාර ලබාදීම සඳහා වු දිනුම් ඇදීමක් වෙනුවෙන්.

වසර අටක් පුරා කැප්ටන් අමෙරිකා චරිතයට පණ දී එයින් සමු ගත්තද ක්‍රිස් එවන්ස් කැප්ටන් අමෙරිකා ලෙසින් මෙම අවස්ථාවට එක් වීමට නියමිතයි. ඔහු සමගින් අයන් මෑන් - රොබට් ඩවුනි, හල්ක්- මාර්ක් රෆලෝ, තෝර් - ක්‍රිස් හෙම්ස්වර්ත්, හෝකි - ජෙරමි රේනර් සහ බ්ලැක් විඩෝ - ස්කාලට් ජොහැන්සන් මේ වෙනුවෙන් එක් වී සිටිනවා. මේ දිනුම් ඇදීමට එක් වීමට ඩොලර් 10ක ආධාරයක් කළ යුතු අතර ජයග්‍රහකයාට මෙම ඇවෙන්ජර්ස් චරිත සමඟින් සම්මුඛ සාකච්ඡාවක් සහ තරඟ සන්ධ්‍යාවක් පිරිනැමීමට නියමිතයි.