හොලිවුඩ් ගමන

මැයි 21, 2020

සෑම කර්මාන්තයකම පාහේ කලින් කලට වෙනස් වීම් දැකිය හැකියි. ඒ වෙනසට හේතුව තාක්ෂණය විය හැකියි. පාරිභෝගිකයන්ගේ වුවමනා එපාකම්, සිතුම්පැතුම් විය හැකියි. වසංගතයක් වුවද එයට හේතු විය හැකියි. මේ එලෙස හොලිවුඩය අත්දුටු වෙනස්වීම් ගැන කතාකරන ලිපි පෙළක දිගහැරුමයි.

බොහෝ කලකට පෙර බොහෝ හොලිවුඩ් චිත්‍රාගාර සියල්ල පිහිටා තිබුණේ හොලිවුඩ් නම් ප්‍රදේශය ආශ්‍රිතවමය. එහෙත් අද වනවිට බොහොමයක් චිත්‍රාගාර තම මුල්බිම වූ හොලිවුඩය අතහැර ලොස් ඇන්ජලීස් නුවරට සංක්‍රමණය වී ඇති අයුරු දැකිය හැකියි. අද හොලිවුඩ් නගරයේ ඇති එකම ප්‍රධාන චිත්‍රාගාරය පැරාමවුන්ට් චිත්‍රාගාරය පමණයි.

ලොව බොහෝදෙනා ප්‍රියකරන චිත්‍රපට නිර්මාණය වුණු හොලිවුඩය පළමු චිත්‍රාගාරයේ සිටම බොහෝ වෙනස්කම් වලට පාත්‍ර වී තිබෙනු දැකිය හැකියි. වර්තමානයේ හොලිවුඩය නමින් හඳුන්වන ප්‍රදේශය කලක් කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් ලෙස පැවතුණු බවයි කියවෙන්නේ.

ලොස් ඇන්ජලීස් නුවරින් බටහිරට වන්නට පිහිටි විශාල ගොවිපලක අයිතිකරු වන H.හෙන්ඩර්සන් විල්කොක්ස් නමැති ධනපතියාගේ බිරිය ඩෙයිඩා විල්කොක්ස් බෙවරේජ් විසින් 1883 දී එම ප්‍රදේශය හොලිවුඩ් නමින් නම් කර තිබේ. හොලිවුඩයේ උපත මෙයයි. 1911 ද නෙස්ටර් නමැති ආයතනයක් විසින් මෙම ප්‍රදේශයේ මුලින්ම චිත්‍රාගාරයක් බිහිකිරීම හොලිවුඩයේ ඉදිරිගමනේ ප්‍රධානතම මං සලකුණක්. හොලිවුඩයේ ස්වර්ණමය යුගය සටහන් වන්නේ නිහඬ චිත්‍රපට සමඟින්. ද බර්ත් ඔෆ් නේෂන් (1915), ද කිඩ් (1921) වැනි නිර්මාණ මෙම යුගයේ බිහි වූ චිත්‍රපට වේ. චිත්‍රපට සඳහා හඬ ලැබීම මීළඟ ප්‍රධාන මං සලකුණයි. 1930 වන විට හොලිවුඩය අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානම කර්මාන්තයක් බවට පත් වීමත් දැකිය හැකියි. අමෙරිකා එක්සත් ජනපදය ආර්ථිකමය වශයෙන් ප්‍රපාතයක සිටි කාලයේදී පවා මිලියන 80ක් පමණ අමෙරිකානුවන් සෑම සතියකම සිනමාහල් වෙත ඇදී ආ බව කියවේ.

ටෙලිවිශනයේ සම්ප්‍රාප්තියත් සමඟ හොලිවුඩය අභාග්‍යසම්පන්න කාලයකටත් මුහුණ දීම දැකිය හැකියි. සිනමාහල් වලට ගොස් චිත්‍රපට නැරඹීමට වඩා නිවෙසේ සිට සුවපහසුවෙන් ටෙලිවිශනය නැරඹීමට බොහෝ දෙනා ප්‍රිය කිරීම ඊට හේතුවයි. වර්තමානයේ ඇතැම් අවන්හල් ඩ්‍රයිව් තෘ (Drive-thru)හෙවත් වාහනය පදවාගෙන යමින් ආහාර ලබාගන්නා ක්‍රමය භාවිතා කරන්නා මෙන්, එකල හොලිවුඩය මීට දුන් විසඳුම වන්නේ ඩ්‍රයිව් ඉන් (Drive-in) ක්‍රමයයි. බොහෝදුරට තරුණ යුවල ආකර්ෂණය කළ මෙම ක්‍රමයේදී සිය වාහනය විශාල එළිමහන් සිනමා තිරයක් ඉදිරියේ නවතාගෙන චිත්‍රපටය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවස්තාව ලැබුණි. ඒ 1950 කාල වකවානුවේදීයි. කෙසේ නමුත් මෙකල නිර්මාණය වුණු බොහෝ චිත්‍රපට තරුණ තරුණියන්ට ප්‍රිය නොවුණු හෙයින් බොහෝ සිනමාහල් සහ චිත්‍රාගාර අලාභ විඳි බවත් සඳහන්. මේ හේතුවෙන් චිත්‍රපට අධ්‍යක්ෂවරයාට නෞකාවේ කපිතාන් තැන භාර දී පසුපස අසුනකට වී සිටීමට චිත්‍රාගාරවලට සිදුවීය. ඒ අනුව හොලිවුඩ් චිත්‍රාගාර විසින් සිය නිර්මාණකරණය පසෙක ලා නිදහස් නිර්මාණකරුවන්ට තරුණ ප්‍රජාව ආකර්ෂණය කළ හැකි චිත්‍රපට නිර්මාණය කිරීමට ඉඩ සලසා දෙන ලදී.

බොහෝවිට චිත්‍රාගාර විසින් චිත්‍රපට කාණ්ඩ වශයෙන් (Movie Blocks) නිර්මාණය කර සහ මිල නියම කර බෙදාහැරීමට පියවර ගන්නා ලදී. ඒ සෑම කාණ්ඩයකටම එක් ආකර්ෂණීය චිත්‍රපටයකුත් එතරම් ආකර්ෂණීය නොවන තවත් චිත්‍රපට ගණනාවකුත් ඇතුළත් විය. මේ හේතුවෙන් චිත්‍රපට බෙදාහරින්නන් බොහෝ අලාභ විඳි අතර සමකාලීනව හොලිවුඩය මුහුණ දුන් තවත් ප්‍රශ්නයක් වූයේ වඩාත් ආකර්ෂණීය විදෙස් චිත්‍රපට නිර්මාණය වීමයි. ජේම්ස් බොන්ඩ්, ලෝරන්ස් ඔෆ් ඇරබියා වැනි විදෙස් චිත්‍රපට හොලිවුඩ් ප්‍රේක්ෂකයින් ඇදගැනීමට සමත්විය. චිත්‍රපට කාණ්ඩ ක්‍රමය ද එසේ අසාර්ථක වීමෙන් පසු විශිෂ්ට ගණයේ චිත්‍රපට වැඩි වැඩියෙන් නිර්මාණය කිරීමට හොලිවුඩ් චිත්‍රාගාර උනන්දුවක් දක්වා ඇත. බ්ලොක්බස්ටර් (Blockbuster) හෙවත් චිත්‍රපට කාණ්ඩ අතර ආකර්ෂණීය කැපීපෙනෙන යන සංකල්පය පැමිණ ඇත්තේ මේ සමඟිනි.

සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත උසස් ගණයේ කර්මාන්ත ශාලාවක සිදු කෙරෙන නිෂ්පාදන හොඳ තත්ත්වයෙන්ම විය යුතුයි. එවැනි කර්මාන්ත ශාලාවක එකක් පසුපස එකක් ලෙස භාණ්ඩ නිෂ්පාදනය වීම දැකිය හැකියි. එමන්ම 1970 – 80 කාල වකවානුව වන විට චිත්‍රාගාර ද උසස් තත්වයෙන් යුතු නිර්මාණ කිරීමට උත්සුක වූ බව පෙනේ. පරිගණක තාක්ෂණය ද කෙමෙන් වර්ධනය වෙමින් තිබුණු නිසාම චිත්‍රපට නිර්මාණකරණයේදී එම තාක්ෂණය ද ප්‍රයෝජනයට ගැනීමට නිර්මාණකරුවන් පෙළඹෙනු දැකිය හැකි විය. ජෝස් (1975), ඉන්දියානා ජෝන්ස් චිත්‍රපට මාලාව සහ ස්ටාර් වොස් චිත්‍රපට මාලාව මෙම වකවානුවේදී ඇරඹුණු ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් චිත්‍රපට විය. හොලිවුඩ් ගමනේ තවත් කතාවක් ඉදිරියේදී දිගහරිමු.