චිත්‍රපට ඇරඹුම

හොලිවුඩ් ගමන - 2 කොටස
මැයි 28, 2020

හොලිවුඩය අත්දුටු වෙනස්වීම් අතරේ හොලිවුඩ් චිත්‍රපට කාලයත් සමඟ බොහෝ වෙනස්කම් වලට ලක් වී තිබේ. ප්‍රේක්ෂකයන්ගේ රුචිකත්වයන්ද ඊට අනුරූපව චිත්‍රපටද විවිධ වෙනස්වීම් වලට ලක් වී ඇත. එක් කලෙක නිහඬ චිත්‍රපට නැරඹු ප්‍රේක්ෂකයන් සිටිය ද වර්තමාන ප්‍රේක්ෂකයෝ ත්‍රිමාන චිත්‍රපට ප්‍රිය කරති. අතීතයේ ඒ ඒ කාල වකවානුවල චිත්‍රපට රැළි නිර්මාණය කළ ඇතැම් චිත්‍රපට වර්තමානයේ වර්ණවත් ලෙස නවීකරණය වී 3D තාක්ෂණය ඔස්සේ ප්‍රතිනිර්මාණය වන අවස්ථා ද බෙහෙවින් දැකිය හැකි වේ.

1920 දශකය අග වන තෙක් ප්‍රේක්ක්ෂකයන්ට නැරඹීම පිණිස නිර්මාණය වූයේ නිහඬ චිත්‍රපට පමණකි. එහිදී රංගන ශිල්පීන් ත්‍රාසජනක ක්‍රියා සඳහා වෙනත් ආදේශක ශිල්පීන් යොදා නොගත් බව ද සඳහන්. මෙම චිත්‍රපට වල දෙබස් නොතිබුණු නමුත් සංගීතය එක් කර තිබුණි. නිහඬ චිත්‍රපට විෂයයෙහි ප්‍රවීණයෙකු වූ චාලි චැප්ලින්, චිත්‍රපටවල රඟපෑම පමණක් නොව ඒවා සඳහා සංගීතයද නිර්මාණය කර තිබේ. සංගීත තාක්ෂණ ක්‍රමවේද දියුණුව නොතිබුණු එකල වාද්‍ය වෘන්දයන් සෘජුවම යොදාගෙන චිත්‍රපටයට සංගීතය සපයා ගැනුණි. රංගන ශිල්පීන් සිය ශරීර භාෂාවෙන් (BodyLanguage)සහ මුහුණේ ඉරියව් ආශ්‍රයෙන් පමණක් බොහෝ දේ ප්‍රේක්ෂකයන් වෙත දැනුම් දිය යුතු විය., ‘සන්රයිස් : අ සෝන්ග් ඔෆ් ටූ හියුමන්ස්’(1927),‘ද ලොජර්’(1927),‘ද වින්ඩ්’ (1928),‘සිටි ලයිට්ස්’(1927)නිහඬ චිත්‍රපට යුගයේ බිහිවුණු විශිෂ්ට නිර්මාණයන් කිහිපයකි.

චිත්‍රපටවලට සාර්ථකව හඬ මුසු කිරීමත් සමඟ නිහඬ චිත්‍රපට ප්‍රවණතාවය කෙමෙන් අභාවයට යනු දක්නට ලැබිණි. මේ සමඟ නිර්මාණය වුණු චිත්‍රපට විවිධ ප්‍රභේදයන්ට (genre)වෙන් කෙරුණි. චිත්‍රපට රුචිකත්වයන්හි පැහැදිලි වෙනසක් දක්නට ලැබුණු අතර තාත්වික රංගනයන් කෙරෙහි නිර්මාණකරුවන් යොමු වූ බව ද පෙනේ. චිත්‍රගාර සංස්කෘතිය ඉදිරියට පැමිණියේද මේ කාල වකවානුවේදීමය. ලෝකයේ මුල්ම චිත්‍රාගාරය, මහා නිපයුම්කරුවකු ලෙස නමක් දිනාගත් තෝමස් අල්වා එඩිසන් විසින් 1893 තරම් ඈත කාලයක නිර්මාණය වුණු එකක් බවද කිව යුතුය. 1920 වන දශකයේ අවසාන භාගය සමඟ ඉදිරියට පැමිණි චිත්‍රාගාර අතර ‘ට්වෙන්ටියත් සෙන්චරි ෆොක්ස්’(1935 සිට වර්තමානය දක්වා), ‘ආර්. කේ. ඕ.’(1928 – 1959),‘පැරාමවුන්ට්’ (1912 සිට වර්තමානය දක්වා), ‘වෝනර් බ්‍රදර්ස්’(1923 සිට වර්තමානය දක්වා), ‘මෙට්‍රෝ ගෝල්ඩ්වින් මේයර්’- MGM (1924 සිට වර්තමානය දක්වා) චිත්‍රාගාර අතර ඉදිරියෙන් සිටි, ‘බිග් 5’ ලෙස නම් දරූ හොලිවුඩ් චිත්‍රාගාර වෙති. චිත්‍රාගාර චිත්‍රපට නිර්මාණය කිරීම උදෙසා ත්‍රාසජනක ක්‍රියා ශිල්පීන්, නිෂ්පාදකවරුන්, රංගන ශිල්පීන් සහ අනෙකුත් කලාකරුවන් යනාදීන්ගේ සේවය ලබාගත් අතර බොහෝ චිත්‍රාගාර සතුව ඔවුන්ගේම සිනමාහල් ද පැවතුණි. එම සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරුනේ තම චිත්‍රාගාර වල නිර්මාණය කෙරුණු චිත්‍රපට පමණකි.

මෙම යුගයේදී චිත්‍රපටවල නග්නත්වය සහ ලිංගිකත්වයද තිරයට පැමිණි බව පෙනේ. සමාජ අපචාර, ගණිකා වෘත්තීය වැනි මාතෘකාද නිර්මාණකරුවන් විසින් සිය චිත්‍රපට වලට ඇතුළත් කර තිබිණි. ජර්මනිය වැනි විදෙස් ජාතීන් ඇමෙරිකානු චිත්‍රපට ආනයනය කළ අතර අමෙරිකාව මුහුණ දුන් මහා ආර්ථික අවපාතය (1929 – 1941) චිත්‍රපටයන්හි සාකච්ඡාවට ගැනුණු විෂයයන් කෙරෙහි විශාල බලපෑමක් එල්ල කර තිබුණි. අමෙරිකාව එකල මුහුණ දුන් සමාජ අර්බුද චිත්‍රපටයන්හි සාකච්ඡාවට ගැනුණු අතර ‘අපරාධ’ ප්‍රභේදයේ චිත්‍රපට ද බහුල විය. 1933 වසරේ තිරගත වුණු ‘ගේබ්‍රියෙල් ඕවර් ද වයිට් හවුස්’ චිත්‍රපටය එකල රජය කෙරෙහි ආර්ථික පීඩනයෙන් වෙහෙස වුණු ජනතාවගේ අප්‍රසාදය පිළිබිඹු කළ චිත්‍රපටයක් වේ. ‘ද ග්‍රේප්ස් ඔෆ් රැත්’(1940), ‘ගෝල්ඩ් ඩිගර්ස් ඔෆ් 1933’(1933),‘මොඩර්න් ටයිම්ස්’(1936), ‘ලුකින් ෆෝවර්ඩ්’(1933)මහා ආර්ථික අවපාතය අමෙරිකානුවන්ගේ ජීවිත කෙරෙහි එල්ල කල බලපෑම ගැන සංවේදී වූ තවත් චිත්‍රපට කිහිපයකි. 1933 වසරේදීම ජර්මනියේ නාසි ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර් බලයට පත් වුණු අතර අමෙරිකානු ස්වාධීන නිර්මාණකරුවන් විසින් ඔහුට විරුද්ධව ද වැඩි වැඩියෙන් චිත්‍රපට නිර්මාණය කරන ලදී.