කොරෝනා බොලිවුඩය දෙදරවයි.

මහා පරිමාණ චිත්‍රපට අතරමග
මැයි 28, 2020

පාඩුව ඩොලර් මිලියන 330

මේ වන විට ලොව ඇතැම් රටවල් කොරෝනා වෛරසයේ බලපෑම යම් යම් මට්ටමෙන් පාලනය කරගනිමින් සිටින අතර ඉන්දියාවද එහි දැඩි බලපෑමට මුහුණ දෙමින් සිටියි. එපමණක් නොව ලොව සශ්‍රීක සිනමා කර්මාන්තයක් ලෙස සැළකෙන ඉන්දීය සිනමා කර්මාන්තය, ගීත හා නර්තන කණ්ඩායම් ඇතුළුව රැකියා දස දහස් ගණනක් අවදානමට ලක් කර අවසන්ය. සියලු සිනමාහල් වසා දමා ඇත. නිෂ්පාදන සමාගම් රූගත කිරීම් අත්හිටුවවා ඇති අතර චිත්‍රපට නිකුත් කිරීම ප්‍රමාද කර ඇත.

ඉහළ පිරිවැයක් දරා නිමවුණු රෝහිත් ෂෙට්ටිගේ සූරියන්වන්ෂි මාර්තු අග තිරගත කිරීමට නියමිත වුවත් වසංගත තත්ත්වය හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. 1983 ඉන්දීය ලෝක කුසලාන ජයග්‍රහණයේ කතාව ගෙන එන 83 චිත්‍රපටය ද ඉදිරියට ගෙන යන බව නිවේදනය කෙරිණි. බාගී 3 චිත්‍රපටය එහි දෙවන සතිය තුළ සුළු ආදායමක් වාර්තා කළ අතර ඉර්ෆාන් ඛාන්ගේ රංගනයෙන් හැඩවුණු ඇන්ග්‍රෙසි මීඩියම් චිත්‍රපටය සිනමාහල් වලින් ඉවත් කිරීමට සිදුවිය. බොහෝ දෙනා බලා සිටි රන්බීර් කපූර් සහ ආලියා භාත් රංගනයෙන් දායක වන බ්‍රහ්මස්ත‍්‍රා චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නවතා දැමීය. මේ වසරේ දෙසැම්බර් 4 වැනිදා තිරගත කිරීමට නියමිතව තිබූ මෙම චිත්‍රපටය මේ වන විට අවිනිශ්චිත අනාගතයක් දෙස බලා සිටින බව පෙනේ. තවද තෙළිඟු චිත්‍රපටයක ප්‍රතිනිර්මාණයක් වන ෂහිඩ් කපූර්ගේ ජර්සි චිත්‍රපටය එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රූගත කිරීම් අත්හිටුවා තිබේ. මනීෂා කොයිරාළ රඟන මස්කා, කියාරා අද්වානිගේ ගිල්ටි සහ ජැක්ලයින් ෆර්නැන්ඩ්ස් සහ මනෝජ් බජ්පායේ රඟන මිසිස් සීරියල් කිලර් චිත්‍රපට නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් කෙරිණි.

හින්දි සිනමා කර්මාන්තයේ නිජබිම වන මුම්බායිහි වෛරස් ආසාදනය ඉහළ මට්ටමක පැවතීම බොලිවුඩයට වසර ගණනාවක දැඩි පසුබෑමක් ඇතිවිය හැකි බවට සිනමාවේ ප්‍රවීණයන් අනතුරු අඟවා සිටී. මේ අනුව කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් ඉන්දීය සිනමාව මූල්‍යමය වශයෙන් යථා තත්ත්වයට පත්වීමට අවම වශයෙන් වසර දෙකක පමණ කාලයක් ගතවනු ඇති බව සිනමා විශ්ලේෂකයන්ගේ අදහසයි. කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දීය සිනමාවට සිදු වු බලපෑම හා එයට පිළියම් සම්බන්ධයෙන් කතිකා කිරීම වෙනුවෙන් චිත්‍රපට නිෂ්පාදකයින්, බෙදාහරින්නන් සහ නළු නිළියන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය සතියේ වීඩියෝ සම්මන්ත්‍රණයක් පැවැත්විණි. එහිදී බොහොමයන් නිෂ්පාදනයන් පවසා සිටියේ, ඉදිරියේදී චිත්‍රපට සඳහා දුෂ්කර කාලයක් පැමිණෙනු ඇති බවයි. කොරෝනා වෛරස් ව්‍යාප්තිය වෙනුවෙන් නිකුත් කළ නියෝග ඉවත් කිරීමෙන් පසුව වුවද සිනමා ශාලාවලට පැමිණෙන ලෙස ජනතාවගෙන් අයැදීමට සිදුවනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ඉන්දීය සිනමා සංඛ්‍යාලේඛණ වලට අනුව සාමාන්‍ය වර්ෂයක ඉන්දියානු චිත්‍රපට 1200 ක් පමණ නිපදවන නමුත් බොක්ස් ඔෆිස් ආදායම පහත වැටීම සමඟ නිෂ්පාදන ආයතන මූල්‍ය අර්බුදයකට එරෙහිව සටන් වදින බැවින් විශාල පිරිවැයක් දැරූ චිත්‍රපට ඉදිරි වර්ෂයට ගෙන යාම ද සිදු විය හැකිය. මේ අනුව සිනමාහල් නැවත විවෘත කිරීමෙන් පසුව කුඩා චිත්‍රපට පමණක් නිකුත් කිරීමට ඉඩ ඇති අතර එමඟින් ප්‍රේක්ෂකයන්ගේ පැමිණීම කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම තවත් අදහසකි. අනාගතයේ දී ගනුදෙනුකරුවන්ගේ නම් සහ ලිපිනයන් ලේඛණ ගත කිරීම, උෂ්ණත්වය පරීක්ෂා කිරීම, සනීපාරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය සහතික කිරීම සිනමාවට තර්ජනයක් වනු ඇතැයි ද සිනමාහල් හිමියන්ගේ අදහසයි. තවද මෙම කටයුතු පිරිවැය ඉහළ නංවන අතර ප්‍රේක්ෂක අත්දැකීම් පහත හෙලනු ඇති බව ඔවුන් පවසා සිටී.

වසංගත තත්ත්වය හේතුවෙන් ඉන්දියාවේ වසා දැමුණු සිනමාහල් සංඛ්‍යාව 9500 ක් පමණ වේ. ඉන්දීය ආයෝජන සමාගමක්වන එලාරා කැපිටල් වෙනුවෙන් විශ්ලේෂක කරන් ටෝරානි සඳහන් කර සිටින්නේ, ඉන්දියානු මට්ටමින් ජුනි මැද භාගයට පෙර සිනමාහල් විවෘත නොවිය හැකි අතර සාමාන්‍ය ජන ජීවිතය අගෝස්තු වන තෙක් නැවත නොපැමිණෙනු ඇති බවයි. ඉන්දීය සිනමා කර්මාන්තයට මේ වන විටත් බොක්ස් ඔෆිස් ආදායම ඩොලර් මිලියන 330 ක් පමණ අහිමි වී ඇත.

පවතින තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී ඉන්දීය සිනමා කර්මාන්තයේ බොහෝ වෙනස්කම් සිදුවනු ඇති බව පෙනේ. ඒ අනුව විශාල අයවැය චිත්‍රපට පිළිබඳ තීරණ යම් තරමකට වෙනස්වනු ඇති සේම අධික මිල ගෙවා විදෙස් රටවල සිදු කෙරෙන රූගත කිරීම් ද යම් තරමකට සීමා කිරීමට සිදුවනු ඇත. තවද සිනමා ප්‍රේක්ෂකයන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් විශේෂ මිල අඩු කිරීම් ද පිරිනමනු ඇත.