කඩවසම් ඝාතකයා

ජුනි 11, 2020

Extremely Wicked

Shockingly Evil and Vile
 

අපරාධ විද්‍යාවේ පුද්ගලයන් තිදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් අනුක්‍රමික්‍රව ඝාතනය කළ පුද්ගලයකු serial killer  හෙවත් අනුක්‍රමික ඝාතකයකු ලෙස හැඳීන්වේ. ලොව අනුක්‍රමික ඝාතකයන් බොහෝ ගණනක් අදටත් ජීවත්ව සිටින අතර වැඩිම අනුක්‍රමික ඝාතන සංඛ්‍යාවක් සිදුකළ පුද්ගලයා ලෙස කොලොම්බියාවේ ලුවිස් ගැරවිටෝ ඉතිහාසගත වී ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ වැඩිම අනුක්‍රමික ඝාතන සංඛ්‍යාවක් සිදු කළ පුද්ගලයා ලෙස ඉතිහාස ගත වී සිටින්නේ සැමුවෙල් ලිටිල් නැමැත්තායි.

ඉතිහාසයේ එසේ සටහන් වුවත් අමෙරිකාවේ ජීවත් වු එක්තරා අනුක්‍රමික ඝාතකයකු එරට විශේෂ ප්‍රසිද්ධියක් පමණක් නොව ජනප්‍රියත්වයක්ද ඉසිලීය. එනම් දළ වශයෙන් 1974 වසරේ සිට 1978 වසර දක්වා කාලයේ ඝාතන 30ට වැඩි සංඛ්‍යාවක් සිදු කළ බවට වරදකරු වූ ටෙඩ් බන්ඩි නැමැත්තායි. ටෙඩ් බන්ඩි විසින් ඝාතනය කළ සියල්ලන්ම තරුණියන් විය. තරුණියන් 30 දෙනෙකු තමා විසින් පැහැර ගෙන ගොස් දුෂණය කර මරා දැමූ බවට 1989 වසරේදී ටෙඩ් බන්ඩි පාපොච්චාරණය කර ඇති අතර වරදකරු වූ ඔහු 1989 ජනවාරි 24 වැනිදා විදුලි පුටුවේදී මරණ දඬුවමට ලක් කෙරුණි.

තරුණ, කඩවසම් මෙන්ම කාන්තාවන්ගේ සිත් ඇදගන්නා සුලු කතාවෙහි දක්ෂයකු ලෙස සැලකෙන ටෙඩ් බන්ඩි කාන්තාවන් ගොදුරු කර ගැනීමට තමා සතු මෙම ලක්ෂණ යොදා ගත් බව සඳහන් වේ. මෙම ඝාතකයා ගැන හොලිවුඩය බෙහෙවින්ම උනන්දු වී ඇති බව ඔහුගේ චරිතය ඇසුරින් නිර්මාණය කෙරුණු චිත්‍රපට සංඛ්‍යාවෙන් පෙනේ. 1980 වසරේදී ටෙඩ් බන්ඩි පාදක කරගත් The Deliberate Stranger චිත්‍රපටය නිර්මාණය වූයේ ඔහු සිදු කළ ඝාතන පිළිබඳ පාපොච්චාරණය කිරීමටද පෙරදීයි.  Bundy: An American Icon (2008), The Riverman (2004), Ted Bundy (2002),The Capture of the Green River Killer (2008) ටෙඩ්ගේ චරිතය ඇසුරින් නිර්මාණය වු තවත් චිත්‍රපට කිහිපයකි.

මේ අතර මෙම කෲරතර ඝාතකයා සම්බන්ධවෙන් නිර්මාණය වූ නවතම සිනමා නිර්මාණ  Extremely Wicked, Shockingly Evil and Vile පසුගිය වසරේදි නිකුත් වූ අතර නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් බෙදාහරිනු ලැබීය. ටෙඩ් බන්ඩිගේ කතා පුවත ඔහුගේ පැරණි පෙම්වතිය වන එළිසබෙත් කෙන්ඩාල්ගේ දෘෂ්ටි කෝණයෙන් විග්‍රහ කෙරෙන මෙම චිත්‍රපටය ඇය විසින් රචිත The Phantom Prince: My Life with Ted Bundy(අද්භූත කුමරා : බන්ඩි සමඟ ගෙවූ ජීවිතය) නම් චරිත කතාව පාදක කර ගෙන නිර්මාණය වී ඇත.

සත්‍ය අපරාධ වාර්තාකරණයේ ප්‍රවීණයකු වන ජෝ බර්ලින්ගර් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය මයිකල් කොස්ටිනන්, නිකලස් චාටියර් ඇතුළු පස් දෙනෙකුගේ නිෂ්පාදනයකි. High School Musical(2006–2008),17 Again(2009),Scoob!(2020) චිත්‍රපටයන්හි රංගනයේ යෙදුණු අමෙරිකානු නළු සැක් එෆර්න් විසින් මිනීමරු ටෙඩ් බන්ඩිගේ චරිතයට පණ පොවන අතර අමෙරිකානු නිළි ලිලී කොලින්ස් විසින් එළිසබෙත් කොන්ඩාල්ගේ චරිතයට පණ පොවනු ලැබේ. වාර්තා චිත්‍රපටයක් නොවුණද සැක් එෆර්න්ගේ වාර්තාකරණ ප්‍රතිභාව මෙම චිත්‍රපටයට සීමාවන් පනවා ඇති බව රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරය පවසයි.