වේදිකාවෙන් සිනමාවට The King

ජුනි 25, 2020

අප මව්බිමේ ඉතිහාස කතාව වෙනස් කළ නොඑසේ නම් සංස්කරණය කළ ප්‍රධානම රටවල් අතුරින් මහා බ්‍රිතාන්‍යය දෙවැනි වන්නේ දඹදිවට හෙවත් භූගොලීයව වත්මන් ඉන්දියාවට පමණක් බව පැහැදිලියි. 1815 උඩරට ගිවිසුමෙන් මෙරට රාජ්‍ය බලය අත්පත් කරගත් බ්‍රිතාන්‍යයන් 1948 වන තෙක්ම අප මවුබිම පාලනය කළ බව අපි දනිමු. අප පමණක් නොව ලොව පැවති රටවල් රාශියක් බ්‍රිතාන්‍යයේ අණසකට යටත්ව පැවති අතර විසිවන ශතවර්ෂයේ මුල් කාර්තුව අවසන් වන විට ලෝකයේ මුළු ජනගහනයෙන් පහෙන් පංගුවකට වඩා බ්‍රිතාන්‍යයේ යටත් වැසියන් වූ බව සඳහන්. මෙය එවකට බ්‍රිතාන්‍යයේ සිටි මුළු ජනගහනයෙන් දස ගුණයකටත් වඩා වැඩි සංඛ්‍යාවකි. ලොව පුරා පැතිරී ගිය මෙවන් බලයක් බ්‍රිතාන්‍යයට හිමිකරගත හැකි වූයේ කෙසේද?

ඊට පිළිතුර ඔවුන්ගේ දේශපාලන ශූරභාවය නොහොත් සටකපටභාවය ලෙස ඇතැම් දේශපාලන විචාරකයින් පෙන්වා දෙන අතර, තවත් අයෙක් එය බ්‍රිතාන්‍යය සතු වුණු හමුදා හෙවත් යුද බලයට ඌණනය කරති. බ්‍රිතාන්‍ය ඉතිහාසඥයන්ට අනුව මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධානම රාජ්‍ය වන එංගලන්තය 16 වන සියවස වන විට යුරෝපය තුළ විශිෂ්ට යුද බලයක් හිමිකර ගෙන සිටියේය.

එම බලයට හේතු වුණු කාරණා බොහොමයක් ඇතත් එක් ප්‍රධාන හේතුවක් වන්නේ 15 වන සියවසේ එංගලන්තයේ රජ කළ තරුණ රජෙකු බව එරට ඉතිහාසය සඳහන් කරයි. මහා ගත්කරු විලියම් ශේක්ස්පියර්ගේ ‘හෙන්රිඩ්’ නම් ඉතිහාස නාට්‍ය මාලාවේ මහා වීරවරයකු ලෙස නම් කෙරෙන මොහු පස් වන හෙන්රි රජු වේ.

කෙටි කලක් රාජ්‍ය පාලනය කළ ද (1413 – 1422) වසර සියයකට වැඩි කලක් එංගලන්තය සහ ප්‍රංශය අතර පැවතුණු යුද්ධයේදී බරපතළ යුධ ජයග්‍රහණ හිමිකරගත් දක්ෂ රණකාමියකු ලෙස පස් වන හෙන්රි රජු ඉතිහාස ගත වී ඇත.

The King, ගත්කතුවර ශේක්ස්පියර්ගේ හෙන්රිඩ් ෆයිව් නාටකය පාදක කරගෙන පස් වන හෙන්රි රජුගේ ජීවිත කතාව නිර්මාණය වුණු චිත්‍රපටයකි. 2019 සැප්තැම්බර් මස තිරගත වීම ඇරඹි මෙම චිත්‍රපටය ඩේවිඩ් මිචෝගේ අධ්‍යෂණයක් වන අතර ප්‍රවීණ නළු බ්‍රැඩ් පිට් ඇතුළු සය දෙනෙකුගේ නිෂ්පාදනයකි.

රාජ්‍ය බලය අප්‍රිය කරමින් කාලය ගත කළ ‘හල්’ කුමරු ජනතාව සහ ඔහුගේ මිතුරන් ඇසුර ප්‍රිය කරමින් කල් ගෙවූ ගැටවරයෙකු වන අතර ඔහුගේ පියා සහ වැඩිමහල් සොහොයුරාගේ අනපේක්ෂිත වියෝවෙන් පස් වන හෙන්රි නමින් 27 වන වියේදී එංගලන්තයේ රජු බවට පත් වේ. ඒ අනුව තමා ප්‍රතික්ෂේප කළ ජීවිතය වැළඳ ගැනීමට හල්ට සිදුවේ.

සෙල්ලක්කාර ජීවිතය, තරුණ හැගීම්, පසෙකලා සටකපට දේශපාලනයත් සිය පියා ඉතිරි කර ගිය අවසන් නොවුණු යුද්ධයත් යන සියල්ලේම බර ඔටුන්නත් සමඟම හෙන්රිගේ හිස මත පැටවේ. හෙන්රිට විශ්වාසී එකම මිතුරා වන්නේ බේබදු නයිට්වරයෙකු වන ජෝන් ඵල්ස්ටාෆ් පමණකි. චිත්‍රපටයේ කතාව දිගහැරෙන්නේ එලෙසිනි.

තරුණ රංගන ශිල්පියකු වන තිමෝති චලමෙට් හෙන්රි රජුගේ චරිතයට පණ පොවන අතර ජොඑල් එඩ්ගර්ටන්, ෂෝන් හැරිස්, ලිලී රෝස් ඩෙප්, රොබට් පැටින්සන් ඇතුළු නළු නිළියන් රැසක් මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙති. නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් බෙදාහැරුණු මෙම චිත්‍රපටය එතරම් වාණිජ සාර්ථකත්වයක් නොලැබුවද විචාරකයින් විසින් පැසසුම් ලත් චිත්‍රපටයකි.

රොට්න් ටෝමැටෝස් අඩවියේ පොදු විචාරයේ අදහස නම්, එහි ශක්තිමත් පසුබිමත්, දක්ෂ රංගනයත් එය නැරඹිය යුතු චිත්‍රපටයක් බවට පත් කර ඇති බවයි. ඔස්ට්‍රේලියානු AACTA සම්මාන 14 කට නාමයෝජනා වුණු මෙම චිත්‍රපටය එයින් සම්මාන 4ක් අත්පත් කර ගත්තේය.