වර්ෂ 2024 ක්වූ March 19 වැනිදා Tuesday
බ්‍රිතාන්‍යයේ ප්‍රථම කාන්තා ආරක්ෂක නිලධාරිනියගේ කතාව
CLOSE
වැදගත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයකු රැගෙන යාම මෙන්ම ආරක්ෂා කිරීම සඳහා සේවයේ යොදවා ඇති පුද්ගලයකු සමීප ආරක්ෂක නිලධාරියෙකු (බොඩිගාඩ්) ලෙස හැඳීන්වේ. මෙහිදී සමීප ආරක්ෂක නිලධාරියෙකු හෝ කණ්ඩායමක් ලෙසද සේවයේ යෙදෙවේ. රාජ්‍ය නායකයන්, රජයේ ප්‍රධානීන්, ආණ්ඩුකාරවරුන්, ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්, ධනවත් පුද්ගලයන් මෙන්ම කීර්තිමත් පුද්ගලයන් අනතුරුවලින් ආරක්ෂා කිරීම මෙම ආරක්ෂක නිලධාරියාට නියම වේ.
බ්‍රිතාන්‍ය ජාතික ජැකී ඩේවිස් සිය ජීවිකාව වෙනුවෙන් තෝරා ගත්තේ පෞද්ගලික ආරක්ෂක සේවයි. එක්සත් රාජධානියේ පෞද්ගලික ආරක්ෂකයකු බවට පත්වූ පළමු කාන්තාව වන්නේද ඇයයි. දශක තුනක සිය වෘත්තීය ජීවිතයේදී රාජකීයයන් සහ කීර්තිමත් පුද්ගලයන් ආරක්ෂා කිරීම පමණක් නොව භයානක ප්‍රාණ ඇපකරුවන්ගෙන් ළමයින් බේරාගැනීමටද ඇය කටයුතු කර ඇත. එහිදී ඇය ලද පිහි ඇණුම්, ස්නයිපර් වෙඩි පහරට ලක්වීම් ද අඩුවක් නැත. වරක් ඇය තෙල් කම්කරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේ කොටසක් ලෙස බුර්කාවකින් වෙස්වලාගෙන ඉරාකයේ වීදිවල හිඟමනට වැටී සිටියාය. වෘත්තීය ලෙස පළමුවෙන් පොලිසියට බැඳුණු ජැකී 1980 දී පුද්ගල ආරක්ෂාවට යාමට තීරණය කර තිබෙන්නේ එය ඇයගේ ජීවිතයට විවිධත්වයක් ලබා දෙනු ඇතැයි සිතූ බැවිනි. "මට සමීප රැකවරණයක් කිරීමට අවශ්‍ය වුණා. එපමණක් නොව සෝදිසිය, පරීක්ෂණ කිරීම විශේෂ වුණා" ඇය පවසන්නීය.
ජැකී පෞද්ගලික ආරක්ෂක සේවයට පැමිණෙන විට එය පිරිමින්ට විශේෂ වූ වෘත්තියක් ලෙස සැලකූ බව පවසන්නීය. "තම වෘත්තිය තුළ තරු පන්තියේ හෝටල්වල නවාතැන් ගනිමින් ලොව වටා සංචාරය කළ ද පැය 12 සිට 16 දක්වා සිට ගෙන සිටින පාද ගැන සිතීමෙන් පසු එය චමත්කාරජනක නොවේ. එපමණක් නොව ඔබට සති අටක් හෝ 10 ක් පමණ වුවත් නිවෙසට යාමට අවස්ථාව නොලැබෙනු ඇත" ඇය සිය වෘත්තිය පිළිබඳ සඳහන් කරන්නේ මෙලෙසිනි. ජේ. කේ රෝලින්ග්, නිකොලේ කිඩ්මෑන්, ජස්ටින් බීබර් මෙන්ම බියට්‍රිස් සහ ඉයුජින් වැනි බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ කුමරියන් හටද පෞද්ගලික ආරක්ෂාව සැලසූ ජැකී ඩේවිස් සිය වෘත්තිය ගැන පසු වන්නේ දැඩි අභිමානයකනි. "පෞද්ගලික රැකවරණයෙහි කටයුතු කරන ඕනෑම අයෙකු තම සේවාදායකයාගේ මිතුරා නොවන බව මතක තබා ගත යුතුය. සෑමවිටම ඔබ එම සුළු දුර ප්‍රමාණය පවත්වා ගත යුතු වේ. එවිට ඔවුන්ට අවශ්‍ය අවස්ථාවේදී ඔබට එහි සිටිය හැකි අතර ඔවුන්ට අවශ්‍ය නොවන විට පසුපසින් සිටිය හැකියි" යනුවෙන් ඇය පවසයි.
පසුගිය වසරේ එළිදැක්වුණු නෙට්ෆ්ලික්ස් චිත්‍රපටයක් වන ක්ලෝස් හි මාතෘකාව වූයේ ද ඇයයි. බ්‍රිතාන්‍ය අධ්යක්ෂවරියක වන විකී ජිව්සන් විසින් අධ්‍යක්ෂණය කළ එහි ජැකී ඩේවිස්ගේ චරිතයට පණ පොවන්නේ ස්වීඩන ජාතික නිළියක වන නූමි රැපේස් විසිනි. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන ක්ලෝස්හි සොෆී නීල්සෙ, ඉන්ද්‍රා වර්මා, ඉයොන් මැකේන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. චිත්‍රපටයේ ක්‍රියාදාම දර්ශන සඳහා සත්‍යතාවක් ගෙන ඒමට ජැකී විසින් ලබා දුන් සහයට ද අධ්‍යක්ෂවරිය ප්‍රශංසා කර තිබේ. එරික් ටනර් නම් කෝටිපති ව්‍යාපාරිකයා සිය මරණයෙන් පසු බිලියන ගණනාවක් වටිනා ව්‍යාපාරයේ කොටස් තම දියණිය සෝ ටනර් වෙත පැවරීමත් සමඟ සෑම් කාර්ල්සන් නම් කාන්තාව හට ඇයගේ ආරක්ෂාව පැවරේ. මෙහිදී සෑම් විසින් සිය වෘත්තීය නිපුණත්වය මෙහෙයවා සෝ ආරක්ෂා කරන අයුරු ක්ලෝස් චිත්‍රපටයෙන් ගෙනහැර දැක්වේ. ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයකට කාන්තා චරිතයක් ප්‍රධාන කර නිර්මාණය කිරීම බොහෝ දෙනාගේ පැසසුමට ලක් වුවද ක්ලෝස්, විචාරක පැසසීම්වලට ලක් නොවූ චිත්‍රපටයක් බවට පත් විය.