INVICTUS

ජූලි 16, 2020

 

ම සුදු ආධිපත්‍යයට විරුද්ධව සටන් කළෙමි. කළු ආධිපත්‍යයට විරුද්ධවද සටන් කළෙමි. ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස් සමාජය වෙනුවෙන් පෙනී සිටිමි. මතු දිනෙක, සියලු ජනයා සම අයිතීන් භුක්ති විඳීමින් සමගියෙන් සිටිනු දැකීම මගේ අරමුණයි. ඒ අරමුණ වෙනුවෙන් මියැදීමට වුවද මා සූදානම් ය.

1962 වසරේදී අත්අඩංගුවට ගැනුණු නෙල්සන් මැන්ඩෙලා නම් අග්‍රගණ්‍ය නායකයා සිය නඩු විභාගයේදී එසේ පැවසීය. සිරගත කෙරුණු මැන්ඩෙලා එයින් වසර 27කට පසුව 1990 පෙබරවාරි මස 11 වනදා නිදහස ලැබූ අතර අනතුරුව තවත් වසර 4 කට පසුව දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපති බවට පත්විය. දුගී දුප්පත්කමත්, අපරාධත් ඉහ වහා ගොස් තිබුණු එරට සුදු සහ කළු ජාතීන් අතර බරපතල බෙදීමක් තිබුණු අතර එයම බොහෝ අපරාධයන්ට මුල් වුණු බව මැන්ඩෙලා දැන සිටියේය. ජාතීන් අතර ඇති වෛරය, අනවබෝධය සහ අවිශ්වාසය සිය සුදු සහ කළු ආරක්ෂකන් අතර පවා ගැටුම් ඇති කළේය. දකුණු අප්‍රිකාවේ දී ම, එරට සුදු ජාතිකයන් අණසක පැතිර වූ ‘ස්පින්ග්බොක්ස්’ කණ්ඩායමත් එංගලන්ත කණ්ඩායමත් අතර පැවැත්වුණු රග්බි තරගයක් නරඹන ජනපති දුටුවේ අමුත්තකි. දකුණු අප්‍රිකානු සුදු ජාතික වැසියන් ස්පින්ග්බොක්ස් කණ්ඩායමට ඔල්වරසන් දුන් අතර එරටම කළු ජාතික වැසියන් එංගලන්ත කණ්ඩායමට ඔල්වරසන් දුනි. රට පුරා මුල් ඇද ඇති ජාති භේදය විනාශ නොකරන තා සිය රටට ඉදිරිගමනක් නැති බව මැන්ඩෙලා අවබෝධ කර ගත්තේය.

තවත් වසරකින්, එනම් 1995 දී රග්බි ලෝක කුසලානය සිය රටෙහි පැවැත්වෙන බව දත් ජනපතිට ගණදෙවි නුවණ පහළ විය. කළු ජාතිකයන් බලවත් වුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩා සංගමයේත් සහයෝගය දිනූ ජනපති එක්දිනක ස්පින්බොක්ස් රග්බි කණ්ඩායමේ නායක සුදු ජාතික ෆ්‍රන්සුවා පිඑනාර් තමා වෙත ගෙන්වා ගනී. අපේ රට එක්සත් කිරීමට නම් අප අපේ උපරිමය අභිබවා යා යුතු බවත් සුදු, කළු ජාතීන් දෙපළම ක්‍රීඩා කරන සිය ජාතික කණ්ඩායම වන ස්පින්බොක්ස් මෙවර ලෝක කුසලානය දිනුවොත් ජාතීන් අතර සමඟියට එයම හේතු විය හැකි බවත් ඔහු කියයි. එක්තරා වික්ටෝරියානු කවියක් තමා තම ආදර්ශය කර ගන්නා බවත් ඔහු කියයි. ජනපති ගේ නොමඳ සහයෝගය ඇතිව ෆ්‍රන්සුවා සිය සුදු-කළු ක්‍රීඩකයින් පුහුණු කරන්නේ ලෝක කුසලානය සිය එකම අරමුණ කර ගනිමිනි. මේ සමගිය දකින ජනතාව එයින් අමන්දානන්දයට පත්වන අතර ලෝක කුසලානය අතරතුර මුළු හදින්ම සිය කණ්ඩායමට සහයෝගය දක්වති. රටම සමඟි කළ තරඟය ස්පින්බොක්ස් කණ්ඩායම ජය ගත්තේය.

සත්‍ය සිදුවීම් ඇසුරු කර ගනිමින්, ජෝන් කාලිං නම් ලේඛකයා විසින් රචිත,‘Playing the Enemy: Nelson Mandela and the Game that Made a Nation’  නම් කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය වුණු Invictus ( (අපරාජිත) නම් චිත්‍රපටයේ කතා සාරාංශය මෙය වෙයි. 2009 වසරේ තිරගත වුණු මෙම චිත්‍රපටය අග්‍රගණ්‍ය සිනමාවේදී ක්ලින්ට් ඊස්ට්වුඩ් ගේ අධ්‍යක්ෂණයක් වන අතර ඔහු හා තවත් තිදෙනෙකුගේ නිෂ්පාදනයකි. ප්‍රවීන රංගන ශිල්පී මෝගන් ෆ්‍රීමාන් ජනපති නෙල්සන් මන්ඩෙලාගේ චරිතයට පණ පොවන අතර මැට් ඩේමන් ක්‍රීඩා කණ්ඩායමේ නායක ෆ්‍රන්සුවාගේ චරිතය රඟ දක්වයි. අමෙරිකානු ඩොලර් මිලියන 60 ක වියදමකින් නිර්මාණය වුණු මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 122 ක ආදායමකින් වාණිජ සාර්ථකත්වයක් ලැබූවකි. විචාරකයන්ගේ පැසසුමට ලක්වූ  Invictus,  රොට්න් ටෝමැටෝස් අඩවියට අනුව දක්ෂ රංගනයන්ගෙන් සමන්විත, ආත්මයට ආමන්ත්‍රණය කරන චිත්‍රපටයකි. 20 වැනි සියවසේ බිහිවූ ශ්‍රේෂ්ඨ නායකයෙක් ලෙස බුහුමන් ලබන නෙල්සන් මැන්ඩෙලා ෆ්‍රන්සුවාට කියූ වික්ටෝරියානු කවියේ අවසානය මෙලෙස ලියවී ඇත. මාගේ ඉරණමේ ස්වාමියා මම වෙමි. මාගේ ආත්මයේ නියමුවාද මම වෙමි.”