ක්ලින්ට් ඊස්ට්වුඩ්ගේ නවතම සිනමා කෘතිය

Richard Jewell
නීතිය රැකීමට කැප වූ රිචඩ්ගේ ඛේදණීය ඉරණම
ජූලි 23, 2020

 

රිචඩ් ජිවෙල් නීතිය ආරක්ෂා කරන නිලධාරියකු වීමේ අරමුණෙන් පසු වන්නෙකි. එසේ වුවත් ඔහු කුඩා මහජන නීති ආයතනයක කාර්යාල සැපයුම් ලිපිකරුවෙකු ලෙස සේවයේ යෙදෙන්නෙකි. පොලිස් ෂෙරීෆ්වරයකු බවට පත් වීමේ අදිටනින් කටයුතු කළත් නියෝජ්‍ය ෂෙරීෆ්වරයකු ලෙසින් සේවයෙන් ඉවත්වීමට රිචඩ් හට සිදු වේ. 1996 වසර වන විට රිචඩ් පීඩ්මොන්ට් විදුහලේ ආරක්ෂක අංශ නිලධාරියකු ලෙසින් කටයුතු කළේය. ඔහුට එරෙහිව පැමිණි පැමිණිලි හේතුවෙන් ඔහු එම රැකියාවෙන් නෙරපා හරිනු ලබයි. රැකියාව අහිමි රිචඩ් සිය මෑණියන් සමඟ ඇට්ලන්ටා වෙත පැමිණේ.

1996 වසරේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. එය පැවැත්වීමට නියමිත ඇට්ලන්ටාහි සෙන්ටෙනියල්

ක්‍රීඩාංගණයේ ආරක්ෂක අංශ නිලධාරියකු ලෙසින් සේවයට එක්වීමට රිචඩ්හට අවස්ථාවක් උදා වේ. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආරම්භ වී ඇත. එහි ආසන පෙළක් යට තිබී රිචඩ්හට සැක කටයුතු පාර්සලයක් හමු වේ. එෆ්බීඅයි ඇතුළු ආරක්ෂක අංශ සහයෙන් එය බෝම්බයක් බවට හඳුනා ගැනේ. වහාම නරඹන්නන් එම ස්ථානයෙන් ඉවත් කිරීමේ අසීරු කටයුත්තට එෆ්බීඅයි නිලධාරි ෂෝන් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ සහයද රිචඩ්හට ලැබේ. ඒ අතරතුර බෝම්බය පිපිරීමට ලක්වීම වළක්වා ගැනීමට ඔවුන්හට නොහැකි වේ. කෙසේ නමුත් මෙම සිදුවීම අවසානයේ රිචඩ් ඒ වෙනුවෙන් කළ මැදිහත්වීම මාධ්‍ය විසින් පෙන්වා දෙන්නේ ඔහු වීරයකු බවට පත් කරමිනි.

එෆ්බීඅයි නිලධාරී ෂෝන්ගේ සිතෙහි උපදින සැකයක් අනුව රිචඩ් මීට පෙර සේවය කළ පීඩ්මොන්ට් විදුහලේ විදුහල්පතිතුමාගෙන් තොරතුරු විමසා සිටී. මෙම බෝම්බ ප්‍රහාරය සිදු කරන්නට ඇතැයි සැක කරන පුද්ගලයා පිළිබඳ පොලිසිය විසින් අනුමානයෙන් නිර්මාණය කරන චරිත ලක්ෂණ සමඟ රිචඩ්ගේ චරිත ලක්ෂණද ගැළපෙන්නට පටන් ගනී. මේ ඔස්සේ යමින් අන් සියලු වැඩ පසෙක ලා එෆ්බීඅයි නිලධාරිහු රිචඩ් පසුපස හඹායාම ආරම්භ කරති. ඔහුගේ නිවෙස පරීක්ෂාවට ලක් කරන පොලිස් නිලධාරින්හට හමු වන්නේ රිචඩ් විසින් කියවා ඇති සත්‍ය අපරාධ පිළිබඳ ලියැවුණු පොත් ගොන්නකි. මේ සමඟ පොලිස් නිලධාරින් රිචඩ් සම්බන්ධ පරීක්ෂණ අරඹන්නේ, තම තමනට අවැසි පරිදි නීතිය හසුරවමිනි. ඒ සමඟ නීතිය රකිමින් සේවය කිරීමේ අදිටනින් පසු වු රිචඩ් ශාරීරිකව මෙන්ම මානසිකවද දැඩි සේ ඇදවැටීමට ලක් වීමට පටන්ගනී.

දින සති ගණන් ගෙවී ගිය පසු රිචඩ්හට ලිපියක් ලැබේ. සෙන්ටෙනියල් ක්‍රීඩාංගනයේ සිදු වූ බෝම්බ ප්‍රහාරයට ඔහු සම්බන්ධ නොමැති බවට එහි සඳහන් විය. රිචඩ්ගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කළ සිදුවීම සරල ලෙස මෙසේ නිමාවට පත් විය. 2005 වසරේදී එරික් රුඩොල්ෆ් නම් පුද්ගලයකු විසින් එම අපරාධය සිදු කළ බවට පාපොච්ඡාරණය කළේය. අනතුරුව දෙවසරකට පසුව එනම් 2007 වසරේදී වයස අවුරුදු 44ක්ව තිබියදී රිචඩ් මෙලොව හැර යන්නේ දියවැඩියාවෙන් පීඩා විඳ හෘදයාබාධයක් හේතුවෙනි. නීතිය සුරැකීමේ අරමුණෙන් පසු වී නොකළ වරදක් වෙනුවෙන් කාලයක් පුරා චෝදනා ලැබ වේදනා විඳ අකාලයේ සමුගත් රිචඩ් ජිවෙල්ගේ ජීවිත කතාව පසුගිය වසරේදී ඔහුගේ නමින්ම රිදී තිරයට නැගුණේ ජනප්‍රිය නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන ක්ලින්ට් ඊස්ට්වුඩ් විසිනි.

රිචඩ් ජිවෙල් නම් සිනමා නිර්මාණය විචාරක පැසසුමට ලක් වූවකි. රොට්න් ටොමැටෝස් අඩවියේ එයට හිමි වී ඇති විචාරක මනාපය 76%කි. එහි ප්‍රමුඛ විචාරය පවසා සිටින්නේ, 1996 ඔලිම්පික් උලළේදී බෝම්බ හෙලීමේ ප්‍රධාන සැකකරුවකු බවට පත්වූ ඇට්ලන්ටා ආරක්ෂක නිලධාරියාගේ සත්‍ය කතාව බොහොම සරල අයුරින් නංවා තිබීමෙන් ක්ලින්ට් ඊස්ට්වුඩ් යනු ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂවරයකු බව යළිත් ඔප්පුකර ඇති බවයි. මෙම චිත්‍රපටයේ පෝල් වෝල්ටර් හෝසර් රිචඩ් ජිවෙල්ගේ චරිතයට පණ පොවන අතර සෑම් රොක්වෙල්, කැතී බේට්ස්, ජෝන් හැම් සහ ඔලිවියා වයිල්ඩ් ද රංගනයෙන් දායක වෙති.