Can you ever forgive me?

ජූලි 30, 2020

 

1991 වසරේදී අමෙරිකාවේ රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ ඉහළින් වැජඹුණු එස්ටීන් ලෝඩර්ගේ චරිත කතාව ලද විවේචන සේම වාණිජමය අසාර්ථකත්වය සමඟ ලී ඊශ්‍රායල්ගේ ජීවිතයට උදා වන්නේ සතුටුදායක නොවූ කාලයකි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය දැඩි සේ මත් පැන් පානයට යොමු වේ. එය ඇයගේ කෘති රචනයට දැඩි ලෙස හානි පමුණුවන්නේ නව කෘතියක් රචනා කිරීමට තරම් වූ මානසික්තවය පවා විනාශ කර දමමිනි. කෙසේ නමුත් ඇයගේ අභිප්‍රාය තවත් කෘතියක් රචනා කිරීමය. එය ජනප්‍රිය අමෙරිකානු හාස්‍ය රංගන ශිල්පිනියක, ගායිකාවන වන ෆැනී බ්‍රයිස්ගේ චරිතාපදානයයි. ඊශ්‍රායල්ගේ ප්‍රකාශන ආයතනය විසින් බ්‍රයිස්ගේ චරිතාපදානය ප්‍රතික්ෂේප කර සිටින්නේ පවතින මානසික තත්ත්වය සමඟ තවත් අසාර්ථක කෘතියක් බිහි කිරීමට නොහැකි බව පෙන්වා දෙමිනි.

ඊශ්‍රායල් දැන් ජීවන අරගලයකය. ඇය සිය වියදම් ජීවන වියදම් පියවා ගැනීම සඳහා නිවෙසේ ඇති ඇතැම් භාණ්ඩ විකිණීමට පටන් ගනී. මේ අතර ඇයට හමුවන්නේ ලිපියකි. එය ජනප්‍රිය හොලිවුඩ් නිළි කැතරින් හෙප්බර්න්ගේ පුද්ගලික ලිපියකි. ඊශ්‍රායල් විසින් එය පාවිච්චි කළ පොත් සාප්පු වෙළෙන්දෙකුට විකුණා දමයි. ඊශ්‍රායල් මේ වන විට වැඩි කාලයක් ගත කරන්නේ මෑන්හැටන් පුස්තකාලයේය. ඒ ෆැනී බ්‍රයිස් පිළිබඳ කෘතිය වෙනුවෙන් පර්යේෂණ කටයුතු සඳහාය. එහි විශේෂ එකතු කිරීම් අංශයට ගිය ඊශ්‍රායල්හට මියගිය බ්‍රයිස් විසින් යතුරු ලියනය කරන ලද ලිපි දෙකක් හමු වේ. ඇය ඒවායින් එකක් පුස්තකාලයෙන් ගෙනවිත් යතුරු ලියනය භාවිතා කරමින් තවත් වාක්‍ය කිහිපයක් එකතු කළාය. දශක කිහිපයකට පෙර ෆැනී බ්‍රයිස් විසින් රචිත ලිපියට පරණ පොත් අලෙවිසැලෙන් ඩොලර් 350ක මුදලක් ඊශ්‍රායල්හට ලැබිණි.

එයින් ඇය අලුත් ආදායම් මර්ගයක් සාදා ගෙන අවසන්ය. එනම් පුස්තකාල සහ ලේඛනාගාර වලින් අව්‍යාජ ලිපි සොරකම් කර ඒවා වෙනුවට ව්‍යාජ අනුපිටපත් ආදේශ කිරීමයි. ඇය මියගිය කීර්තිමත් පුද්ගලයින්ගේ ලිපි සොරා ගෙන ව්‍යාජ ලෙස වාක්‍ය එකතු කොට විකිණීම ආරම්භ කරයි. එම වාක්‍ය බොහොමයක් ලිංගිකත්වය සහ රහස් සබඳතා පිළිබඳ ඒවා විය. මේ අතර, ලී පැරණි මිතුරෙකු වූ ජැක් හොක් සමඟ මිත්‍රත්වය ද අලුත්කර ගනිමින් ඔහුගේ සහයද ඒ වෙනුවෙන් ලබා ගනී. ඉංග්‍රීසි ජාතික නළුවකු, අධ්‍යක්ෂවරයකු වන ශ්‍රීමත් නොයෙල් කොවර්ඩ්ගේ ලිපියකට ලිංගිකත්වය මුසු වාක්‍ය එක් කිරීම සමඟ ඇය පිළිබඳ සැක මතු වූ ලිපි ගැනුම්කරුවෙක් ඇය ප්‍රතික්ෂේප කරන්නට විය. යළිත් ආදායම් මඟ ඇහිරෙණු දුටු ඊශ්‍රායල් තම නම වෙනුවට ජැක්ගේ නමින් තම වංචා කටයුතු කරගෙන යාම අරඹන්නේ ඔහුගේ සහයද ඇතිවය.

නමුත් දිනෙක ජැක් එෆ්බීඅයි අත්අඩංගුවට පත්වීම සමඟ සියල්ල හෙළි වීමෙන් ඊශ්‍රායල්හට උසාවි කැඳවීමක් ලැබේ. උසාවියේදී ඇය පවසා සිටින්නේ, තමා ව්‍යාජ වංචා නිර්මාණය කිරීමෙන් සතුටක් ලැබූ බවත් ඒ ගැන කිසිදු පසුතැවීමක් ද නොමැති බවයි. ඇයට පස් වසරක පරිවාස කාලයක් හා මාස හයක නිවාස අඩස්සියක් නියම වේ. 2008 වසරේදී ඊශ්‍රායල් විසින් ඇයගේ ජීවිත කතාවේ මෙම කොටස රචනා කිරීමට තීරණය කරන්නේ ජැක්ගේ අවසරය පරිදි ඔහුගේ චරිතයද ඇතුළත් කරමිනි. එය "කැන් යූ එවර් ෆොගිව් මී ?" (ඔබට කවදා හෝ මට සමාව දිය හැකිද?) නම් විය. එම කෘතිය, ඇද වැටී තිබු ඊශ්‍රායල්ගේ ජීවිතයට යළි සාර්ථකත්වයක් ගෙන ආ කෘතියක් විය.

2018 වසරේදී "කැන් යූ එවර් ෆොගිව් මී ?" කෘතිය එනමින්ම රිදී තිරයට ගෙන එන්නේ අමෙරිකානු අධ්‍යක්ෂවරියක වන මෙරයිල් හෙලර් විසිනි. එහි ලී ඊශ්‍රායල්ගේ චරිතයට පණ පෙවූයේ මෙලීසා මැකාර්ති විසිනි. රිචඩ් ඊ. ග්‍රාන්ට් ජැක් වූයේය. "කැන් යූ එවර් ෆොගිව් මී ?" චිත්‍රපටය විචාරක ප්‍රශංසා ලද සිනමා නිර්මාණයක් විය. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ ලකුණු 98%ක් එයට හිමි වී ඇත. එහි පොදු විචාරය පවසා සිටින්නේ, මෙම කතා පුවත තුළ ගැඹුරක් මැනවින් පෙන්නුම් කර ඇති බවත් මෙලීසා සහ රිචඩ්ගේ රංගනයන් එයට මහත් රුකුලක් වී ඇති බවයි. නැෂනල් බෝර්ඩ් ඔෆ් රිවීව්ස් විසින් එය 2018 වසරේ හොඳම චිත්‍රපට දහයට තෝරා ගන්නා ලදී. 91 වැනි ඔස්කාර් සම්මාන උලෙළ, 76 ගෝල්ඩන් ග්ලෝබ් සහ 72 වැනි බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන උලෙළවලදී මෙලීසා හොඳම නිළියට හිමි සම්මානය වෙනුවෙන් හා රිචඩ් හොඳම සහය නළුවාට හිමි සම්මානය වෙනුවෙන් නාමයෝජනා ලැබූහ.

ලියනෝර් කැරොල් හෙවත් ලී ඊශ්‍රායල් ඇමරිකානු ලේඛිකාවකි. නිව් යෝර්ක්හි බෘක්ලින්හි යුදෙව් පවුලක උපත ලැබූ ඊශ්‍රායල් මිඩ්වුඩ් උසස් පාසලෙන් සහ 1961 දී බෘක්ලින් විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තාය.

ඊශ්‍රායල් 1960 ගණන්වලදී නිදහස් ලේඛිකාවක ලෙස වෘත්තිය ආරම්භ කළාය. 1970 සහ 1980 දශක වලදී ඇය තලූලා බෑන්ක්හෙඩ් නම් නිළියගේ චරිතාපදානය ප්‍රකාශයට පත් කළාය. අමෙරිකානු මාධ්‍යවේදිනියක වන ඩොරති කිල්ගාලන්ගේ ජීවිත කතාව 1979 දී ප්‍රකාශයට පත් කිරීමෙන් හොඳ ප්‍රතිචාරයක් ලැබූ අතර එය නිව් යෝර්ක් ටයිම්ස්හි හොඳම විකුණුම් ලැයිස්තුවේ පළ විය. 1992 වන විට පොත් සහ සඟරා ලිපි රචකයෙකු ලෙස ඊශ්‍රායල්ගේ වෘත්තිය අවසන් විය. මුදල් ඉපැයීම සඳහා, මියගිය ලේඛකයින් සහ නළු නිළියන්ගේ පැරණි ලිපි ව්‍යාජ ලෙස සකස් කිරීමට පටන් ගත් ඇය පුස්තකාලවලින් සහ ලේඛනාගාරවලින් ලබාගත් සත්‍ය ලිපි සහ ස්වයංක්‍රීය ලිපි ලේඛන සොරකම් කිරීමට පටන් ගත්තාය. එෆ්බීඅයි නිලධාරින් විසින් මැන්හැටන් පදික වේදිකාවක දී ඊශ‍්‍රායල්ගෙන් ප‍‍්‍රශ්න කරන තෙක් මෙය වසරක් පුරා පැවතුණි. ලී ඊශ්‍රායල් 2014 දෙසැම්බර් 24 වන දින නිව් යෝර්ක් නගරයේ දී ප්ලාස්මා සෛල පිළිකාවකට ගොඳුරුව මිය ගියාය. ඇය තනිව ජීවත් වූ අතර ඇයගේ පවුලේ අය ගැන වූ මතක සටහනක මෙසේ ලියා තිබුණි. "මට සහෝදරයෙක් හිටියා. "