ත්‍රාසයෙන් පිරි දිවියක බලාපොරොත්තුව

American Animals
අගෝස්තු 13, 2020

 

2003 දී අමෙරිකා එක්සක් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ ලේක්සින්ග්ටන්හි කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය ලත් සිසුවකු වන ස්පෙන්සර් රීන්හාඩ් කලකිරීමකින් පසුවෙයි. ඒ සිය දිවිය එතරම් උද්වේගකර එකක් නොවීම හේතුවෙනි. අවසානය ඛේදවාචකයක් වුවද ඔහුගේ ජීවිතය මීට වඩා ත්‍රාසයෙන් පිරි එකක් විය යුතු බව ස්පෙන්සර්ගේ හැඟිමයි. දෙමාපියන්ගේ බලකිරීමට අධ්‍යාපනය ලබන ස්පෙන්සර්ගේ මිතුරු වොරන් ලිප්කා ද ස්පෙන්සර් වැනිම සිසුවෙකි. ලේක්සින්ටන්හි ට්‍රැන්සිල්වෙනියා සරසවියේ පුස්තකාලයේ චාරිකාවක නිරතවන ස්පෙන්සර්ට එහි ඇති පැරණි ගත්කතුවරුන් විසින් ලියවුණු කෘතීන් කිහිපයක් සොරකම් කිරීමට සිත් පහළ වෙයි. මෙම කෘති විකුණා ඩොලර් මිලියන ගණනක ආදායමක් ලැබිය හැකි බව මිතුරෝ දැනගනිති.

සොරකම සඳහා එරික් සහ චැස් නම් තවත් මිතුරන් දෙදෙනකු එකතුකර ගන්නා මොවුන් සොරකම සැලසුම් කිරීමේදී දැනගන්නේ මෙම ග්‍රන්ථයන්හි ආරක්ෂාව සඳහා සිටින්නේ පුස්තකාලයාධිපතිනි බෙටී නම් කාන්තාව පමණක් බවයි. සොරකම සිදුකිරීමට ප්‍රයත්න දරන පළමුවැනි දිනයේ අසාර්ථක වුවත් දෙවැනි දිනයේ තරුණ සොරමුල පුස්තකාලයාධිපතිනියද බැඳ දමා අගනා කෘතීන් කිහිපයක් සොරකම් කරගනිති. එහෙත් සැලසුම් කෙරුණු වටිනාම කෘතිය වන ජෝන් ජේම්ස් ඔදුබන්ගේ ‘Birds of America’ සහ තවත් කෘතියක් ඔවුන් අතින් ගිලිහී යයි.

සත්‍ය සිද්ධියක් ඇසුරින් බාට් ලේටන් විසින් අධ්‍යක්ෂණය කෙරුණු American Animals චිත්‍රපටය දිගහැරෙන්නේ මෙලෙසිනි. ඩෙරින් ශ්ලේසින්ගර් ඇතුළු සිවු දෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙය 2018 වසරේ තිරගත වූවක් වන අතර අධක්ෂ ලේටන් විසින්ම රචනා වූවකි. එවන් පීටර්ස්, බැරී කිඔගන්, බ්ලේක් ජෙනර් සහ ජරෙඩ් අබ්රනහන්සෝන් ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රඟ දක්වන මෙම චිත්‍රපටය AIFilms සහ තවත් ආයතන තුනක් එක්ව නිෂ්පාදිතය.

චිත්‍රපටයේ සොරකම සිදුකිරීමෙන් පසුව පෙන්වන සිද්ධි දාමයේ දිස්වන්නේ තමා කළ සොරකම හේතුවෙන් මිතුරන් සිව්දෙනා විඳීන්නා වූ තැතිගැන්මත් ඒ හේතුවෙන් ඔවුන් මුහුණ දෙන්නා වූ විවිධාකාර ගැටලුය. වොරන් වෙළෙඳ සැලකින් භාණ්ඩ සොරා ගැනීමට තැත්කර හසුවන අතර ස්පෙන්සර් හදිසි අනතුරකට මුහුණ පායි. එරික් අවන්හලක ගැටුමකට පැටලෙයි. එෆ්බීඅයි ආයතනය විසින් කොටුකර ගන්නා මිතුරන් වසර 7 බැගින් සිරගත කෙරේ. කතාව අවසන් වන්නේ සිර දඬුවම් අවසන්ව පැමිණි සත්‍ය චරිත සතර ගැන වත්මන් විස්තරයක්ද සහිතවයි. එරික් ගත්කතුවරයෙක් වී කැලිෆෝනියාවේ වෙසෙන අතර, චැස් කායවර්ධන පුහුණුකරුවෙක්ව ලොස් ඇන්ජලීස්හි සේවය කරයි.

 වොරන් චිත්‍රපටකරණය පිළිබඳ උපාධියක් සඳහා අධ්‍යනයනය කරන අතර, ස්පෙන්සර් පක්ෂීන් සිතුවම්කරණයේ ප්‍රවීණයෙකු වී ඇත. පුස්තකාලයාධිපතිනි බෙටී තවමත් ට්‍රැන්සිල්වෙනියා පුස්තකාලයේ සේවයේ නිරත වන්නීය. විචාරකයින්ගේ අතිශය පැසසුමට ලක්වී ඇති මෙම චිත්‍රපටය රෝට්න් ටෝමැටෝස් වෙබ් අඩවි දර්ශකයේ ලකුණු 88%ක් සටහන් කරයි. එහි පොදු විචාරයට අනුව මෙය බොහෝ ගැඹුරු තේමාවන් ඔස්සේ දිවෙන චිත්‍රපටයක් වන අතරම සත්‍ය අපරාධ චිත්‍රපටයක තිබිය යුතු ත්‍රාසයද නොඅඩුව සපයයි.