කොරෝනා අර්බුදය හමුවේ

අගෝස්තු 13, 2020

පසුගිය මාර්තු මාසයේ සිට ගෝලීය වශයෙන් උද්ගත වී ඇති වසංගත තත්ත්වය  ලොව පුරා සිනමා ක්ෂේත්‍රයට සිදුකළ බලපෑම සුළුපටු නොවේ. මේ හේතුවෙන් ලොව පුරා සිනමාශාලා වසා දැමීමට සිදු වූ අතර චිත්‍රපට මංගල දර්ශන රැසක් අවලංගු කෙරිණි. සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වෙනුවෙන් තාවකාලිකව මෙම පියවර අනුගමනය කළ ද තම නිවහනේ සිට ආරක්ෂිතව කලාව රසවිඳීමට චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායම් සහ බෙදාහරින්නන් පියවර ගත් අතර සිනමාහල්වල තිබූ ඇතැම් චිත්‍රපට සේම නිකුත් කිරීමට නියමිතව තිබූ චිත්‍රපටද අන්තර්ජාලය ඔස්සේ ගෘහස්ථව නැරඹීමේ පහසුකම් සලසා දීමට කටයුතු යෙදීනි. 

අගෝස්තු මාසය උදා වන විටත් එක්සත් ජනපදයේ සිනමා ශාලා වසා දමා ඇති අතර විදේශයන්හි බොහෝ සිනමාහල් නැවත විවෘත වෙමින් පවතින බව වාර්තා වේ. කොරෝනා වෛරස් අර්බුදය මධ්‍යයේ ලොව පුරා චිත්‍රපට කර්මාන්තය අකර්මණ්‍ය වී තිබුණද ඒ පිළිබඳ සුබදායි ආරංචි ගෙන එන්නේ දකුණු කොරියාවෙනි. කොරෝනා වෛරස් අවදානම සම්පූර්ණයෙන් පහව ගොස් නැති වුවද දකුණු කොරියානු අධ්‍යක්ෂ යොන් සාං හෝ විසින් අධ්‍යක්ෂණය කළ Peninsula චිත්‍රපටය පසුගිය සති අන්තය වන විට ඩොලර් මිලියන 28ක් වාර්තා කරන්නට සමත් වී ඇත. 92 වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී හොඳම චිත්‍රපටය බවට පත් වෙමින් බොන් ජූන්-හෝ අධ්‍යක්ෂණය කළ ර්‍ථචපචඵඪබඥ චිත්‍රපටය ද දකුණු කොරියානු සිනමාව ලෝක අවධානයට ලක් කිරීමට සමත් විය. 

ත්‍රාසජනක ක්‍රියාදාම චිත්‍රපටයක් වන Peninsula මේ වසරේ කාන් සිනමා උලෙළේදී මංගල දර්ශනය පවත්වන්නට නියමිතව තිබුණ ද කාන් උලෙළ අවලංගු වීම සමඟින් Peninsula චිත්‍රපටය පසුගිය ජූලි 15 වැනිදා  සිනමාහල් වෙත මුදා හැරීමට නිෂ්පාදන කණ්ඩායම විසින් තීරණය කරන ලදී. සමාජ දුරස්ථභාවයට ප්‍රමුඛස්ථානය දෙමින් සනීපාරක්ෂක පියවර අනුගමනය කරමින් දකුණු කොරියාව ඇතුළුව තවත් ආසියානු රටවල් හතරක චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ විය. ඒ අනුව තායිවානයේදී ඩොලර් මිලියන 4.7ක්, වියට්නාමයේදී ඩොලර් මිලියන 1.2ක් ද මැලේසියාවේදී ඩොලර් 955ක් සහ සිංගප්පූරුවේදී ඩොලර් 795ක් ද ලෙසින් වාර්තා කළේය. දකුණු කොරියාවේ පළමු දින පහ ඇතුළත ඩොලර් මිලියන 13.2ක් වාර්තා කළ අතර ගෝලීය ආදායම ඩොලර් මිලියන 20.8ක් විය.

Peninsula චිත්‍රපටය 2016 වසරේ තිරගත  කෙරුණු  Train to Busan චිත්‍රපටයේ පසු විපරමකි.  Train to Busan චිත්‍රපටයේ ගෝලීය දළ ආදායම ඩොලර් මිලියන 140 ක් විය. මුල් චිත්‍රපටයෙන් වසර හතරකට පසු සකස් කරන ලද මෙම චිත්‍රපටය ව්‍යසනයෙන් විනාශ වූ භූමියෙන් බේරීමට සටන් කරන මිනිසුන් පිළිබඳ පශ්චාත් කාලීන චිත්‍රපටයක් ලෙස දිග හැරේ. දියණියක තම පියා සමඟින් ඔවුන් ගෙන් වෙන් වී බූසාන්හි ජීවත් වන මව බැලීමට යන ගමනක් අතර දුම්රියේ මුහුණ දෙන අතිශය බිහිසුණු සිදුවීම් මාලාවක්  Train to Busan චිත්‍රපටය ඔස්සේ දිග හැරුණි. සොම්බි බවට පත් කාන්තාවක් දුම්රියට ගොඩවීමත් අනතුරුව සිදුවන පහරදීමකින් පසු මුළු දුම්රිය පුරාම සොම්බි තත්ත්වය පැතිර යන්නේ දුම්රිය මගීින් එකිනෙකා ද සොම්බින් බවට පත් වෙමිනි. ඒ වන විටත් නගර කිහිපයක හැර අනෙකුත් සියලු නගරවල මිනිසුන් සොම්බි බවට පත් වෙමින් පවතී. මෙවැනි පසුබිමක දියණියද සමඟින් පියා මෙම සොම්බි උවදුරින් බේරි බුසාන් වෙත යාමට දරන පරිශ්‍රමය   Train to Busan චිත්‍රපටයේ දැක්විණි. ධ්ර්ච්ඡ දර්ශකයේ 7.6/10ක් ලබා ගත් එය විචාරක පැසසුම් ලබමින් රොට්න් ටොමැටෝස් අඩවියේ ලකුණු 94%ක් වාර්තා කළේය. සිව් වසරකට ඉහතදී ඇති වූ සොම්බි ප්‍රහාරයෙන් පසුව දකුණු කොරියාව බේරා ගැනීමට නිලධාරියකු ගන්නා ප්‍රයත්නය Peninsula චිත්‍රපටය ඔස්සේ දැකගත හැකිය.

මේ සමඟ හොලිවුඩ් සිනමා නිර්මාණ ද සිනමාහල් වෙත පැමිණෙන පුවත් වාර්තා වේ. ඩෙරික් බොර්ට් විසින් අධ්‍යක්ෂණය කළ Unhinged චිත්‍රපටය ජුලි 16 වැනිදා ජර්මනියේ තිරගත කිරීම ආරම්භ වූ අතර අගෝස්තු 21 අමෙරිකා එක්සත් ජනපදයේ තිරගත කිරීමට නියමිතව ඇත. ක්‍රිස්ටෝපර් නොලන්ගේ Tenet  අගෝස්තු 12 වැනිදා ද නිකී කැරෝගේ Mulan  සැප්තැම්බර් 04 වැනිදාත් තිරගත කිරීමට සූදානම් වෙමින් සිටින එක්සත් ජනපදයේ සිනමාහල් නැවත විවෘත කිරීමට බලාපොරොත්තු  වුවද නිව්යෝර්ක් සහ කැලිෆෝනියා ඇතුළු ප්‍රධාන බොක්ස් ඔෆිස් වෙළඳපොලවල තත්ත්වය යහපත් නොවන බව වාර්තා වේ. තවමත් ප්‍රාන්ත ගණනාවක කොරෝනා වෛරස් රෝගීන්ගේ වැඩිවීම එම සැලැස්ම අසීරු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඒ අනුව Tenet  තිරගත කිරීමේ දිනය යළි වෙනස් වීමට ඉඩ ඇති බවද වාර්තා වේ.