කොවිඩ් 19 ට පසු ලොව හොල්ලන චීන රණ ශූරිය... Mulan

අගෝස්තු 27, 2020

චීනය උතුරු ආක්‍රමණිකයන්ගේ ප්‍රචණ්ඩත්වයෙන් තැති ගනිද්දී චීන අධිරාජයා විසින් සියලු රටවැසියන්ට අණ කරනු ලබන්නේ සෑම පවුලකින්ම එක් පිරිමියකු බැගින් හමුදාවට බැඳීය යුතු බවටයි. ‘හුවා’ නම් රණවිරු පවුලෙන් සිය වියපත් පියා වෙනුවෙන් හමුදාවට බැඳීමට වැඩිමහල් දියණිය මුලාන් තීරණය කරන අතර ඇය ‘ජුන්’ නමින් පිරිමි දරුවකු ලෙස වෙස් වලාගෙන හමුදා පුහුණුවීම් වල යෙදෙයි. තරුණියක වන මූලාන්ගේ සහජ දක්ෂතා ඇය තබන සෑම පියවරේදීම පරීක්ෂණයට භාජනය වන අතර අවසානයේ ඇය ජාතියම ගරු කරන්නා වූ රණශූරියක බවට පත් වේ.

ක්‍රි. ව. 400 – 600 අතරතුර විසූ බවට ජනප්‍රවාදයේ සඳහන් වන ‘හුආ මුලාන්’ නම් රණශූරියකගේ චරිතය ආශ්‍රයෙන් නිර්මාණය කෙරුණු ‘මුලාන්’ චිත්‍රපටයේ කතාව එසේ දිගහැරේ. වෝල්ට් ඩිස්නි සමාගම 1998 වසරේ නිෂ්පාදනය කළ මුලාන් කාටූන් චිත්‍රපටයේ සජීවී ප්‍රතිනිර්මාණය ලෙස මෙය හඳුන්වාදිය හැකිය. 1998 වසරේ දී කාටූන් චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 90ක පිරිවැයකින් නිර්මාණය වී ඩොලර් මිලියන 300 කට වැඩි ආදායමක් සනිටුහන් කර වාණිජමය වශයෙන් ඉහළ සාර්ථකත්වයක් ඉසිළුවක් වන අතර විචාරකයන්ගේද ඉහළ පැසසුමට භාජනය වූවකි.

නව මුලාන් චිත්‍රපටයේ  මංගල දර්ශනය පසුගිය මාර්තු මස හොලිවුඩ් හිදි පැවැත්වූවද කොවිඩ් වසංගතය හේතුවෙන් එහි වාණිජ තිරගතවීම් බොහෝ දුරට කල් දැමීමට ඩිස්නි සමාගමට සිදුවිය. ඩිස්නි සමාගම දැනුම් දී ඇති ආකාරයට සැප්තැම්බර් 4 වැනිදා සිට මුලාන් ලොව පුරා සිනමාහල්වල තිරගතවනු ඇත. 

සම්මානනීය නවසීලන්ත අධ්‍යක්ෂවරියක වන නිකි කාරෝ ගේ නිර්මාණයක් වන මෙම චිත්‍රපටය ක්‍රිස් බෙන්ඩර් ඇතුළු සිවු දෙනෙකුගේ නිෂ්පාදනයකි. චීනයේ උපත ලද අමෙරිකානු රංගන ශිල්පිනියක, ගායිකාවක සහ නිරූපණ ශිල්පිනියක වන ලියු යිෆී විසින් මුලාන්ගේ චරිතයට පණ පොවන අතර තවත් ජනප්‍රිය නළු නිළියන් විසින් සෙසු චරිත පණගන්වනු ලබයි. ලෝක වුෂු ශූරයෙකු ලෙස ප්‍රකට චීන රංගන ශිල්පියකු වන ඩොනී යෙන් මුලාන්ගේ පුහුණුකරු ලෙස රඟ දක්වන අතර 1993 වසරේ තිරගත වුණු බෲස් ලී චිත්‍රපටයේ බෲස් ලී ගේ චරිතය රංග දැක්වූ ජේසන් ස්කොට් ලී තවත් රණවිරුවකුගේ චරිතයක් නිරූපණය කරයි.

තවත් වුෂු ශූරයකු ලෙස ප්‍රකට රංගන ශිල්පියකු වන ජෙට් ලී චීන අධිරාජ්‍යයාගේ චරිතයට පණ පොවන අතර චීනයේ දක්ෂතම නිළිය ලෙස සැලකෙන ගොන්ග් ලී සතුරු මන්තරකාරියකගේ චරිතය නිරූපණය කරයි. ප්‍රවීණ සංගීතඥයකු වන හැරී ග්‍රෙග්සන් විලියම්ස් විසින් සංගීතය සපයා ඇති මුලාන් විනාඩි 115 ක් පුරා දිග හැරේ. අමෙරිකානු ඩොලර් 200 ක පිරිවැයකින් තනා නිමකොට ඇති එය, ඉහළම පිරිවැයක් දරා අධ්‍යක්ෂවරියක විසින් නිර්මාණය කළ ලොව පළමු චිත්‍රපටය ලෙසින් වාර්තා අතරට එක්වේ.