විශිෂ්ට සිනමා කරුවකුගේ නවතම සිනමා අත්දැකීම

Tenet ශික්ෂාව
සැප්තැම්බර් 3, 2020

රුසියාවේ බුද්ධි මෙහෙයුමක නිරත වන අමෙරිකානු නිලධාරියෙකි. කියෙව් නගරයේ ඔපෙරාවක දියත් වන ත්‍රස්තවාදී මෙහෙයුමක් අතරතුර එක්තරා ‘හඳුනා නොගත් පියාසර වස්තුවක්’ සොරකම් කිරීම ඔහුට භාරව ඇත. තම කාර්යභාරය නිම කරන නිලධාරියා සිය රුසියානු සගයින් සමඟ එක්වන අතර ඔවුන් ඔහුට සතුරු බව නිලධාරියාට පසක් වේ.

රුසියානුවන් ඔහුගේ අමෙරිකානු සගයින්ද මරා දමා පියාඹන වස්තුව සොරකම් කරති. පසුව මේ නිලධාරියාව තවත් රහස් සංවිධානයකට බඳවා ගැනේ. අනාගතයේදී කාලය හරහා අතීතයට ගමන් කළ හැකි තාක්ෂණයක් බිහිකර ඇති බව ඔහු එහිදී උගනියි.

‘ශික්ෂාව’ යන තේරුම දෙන ‘ටෙනට්’ නම් එකම වචනයෙන් පමණක් සන්නද්ධ වන ඔහු සතු එකම කාර්යභාරයකි. එනම්, ‘ඇන්ඩෘ  සාටර්’ නම් පුද්ගලයා විසින් තෙවන ලෝක යුද්ධය ඇති කිරීම වැළැක්වීමයි. ඒ සඳහා මෙම නිලධාරියා ‘කාල ප්‍රතිලෝමනය’ නම් ශිල්පය ප්‍රගුණ කළ යුතුව ඇත. 

වචනයකින් පමණක් සන්නද්ධව ලෝකය බේරාගැනීම සඳහා සටන් වදින පුද්ගලයෙකු කාලය අබිබවා යන සංකීර්ණ වූත් ත්‍රාසජනක වූත් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක නිරතවන කතාවක් පසුබිම් කරගත් ‘ටෙනට්’ චිත්‍රපටය මෙලෙස දිගහැරේ. පසුගිය 26 වැනිදා එක්සත් රාජධානියේදී තිරගත වීම ඇරඹුණු මෙම චිත්‍රපටය අද (සැප්තැම්බර් 3) සිට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා තිරගත වීම ඇරඹීමට නියමිතව ඇත. 

‘ටෙනට්’ අග්‍රගණ්‍ය අධ්‍යක්ෂකවරයකු වන ක්‍රිස්ටෝපර් නොලන් විසින් රචනා කර අධ්‍යක්ෂණය කර සම නිෂ්පාදනය කර ඇත. නොලන් මෙම කතාවට විෂයභූත වන සංකල්පය ගොඩනැඟීමට වසර දහයක් කල්ගත කළ බව කියවෙන අතර තිර රචනය සඳහා තවත් වසර 5 ක කාලයක් වැය කළ බව කියවේ.

සුවිශේෂ සංකල්ප ඔස්සේ නිර්මාණ කිරීමෙහි ලා ප්‍රකට නොලන්ගේ චිත්‍රපට ඔස්කාර් සම්මාන 34 කට නාමයෝජනා වුණු අතර ඉන් සම්මාන 10ක් දිනා ගැනීමට සමත් වී ඇත. ඉන්සෙප්ෂන් (2010), බැට්මෑන් - ඩාක් නයිට් චිත්‍රපට මාලාව, ඩන්කර්ක් (2017), ඉන්ටර්ස්ටෙලර් (2014), මෙමෙන්ටෝ (2000), ද ප්‍රෙස්ටීජ් (2006), සහ ඉන්සොම්නියා (2006) නොලන් ගේ ප්‍රකට නිර්මාණයන්ය. 

ටෙනට් චිත්‍රපටයේ නිෂ්පාදනය එමා තෝමස් සහ නොලන් විසින් වන අතර, ජෝන් ඩේවිඩ් වොෂින්ටන්, රොබර්ට් පැටින්සන්, එලිසබත් ඩේබිකි, බොලිවුඩ් නිළි ඩිම්පල් කපාඩියා, මයිකල් කේන්, ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපටයේ රඟ දක්වති. විනාඩි 150ක දිගු ධාවන කාලයකින් සමන්විත ටෙනට් අමෙරිකානු ඩොලර් මිලියන 200 කට වැඩි පිරිවැයකින් තනා නිමකර ඇත.

‘ටෙනට්’ රෝට්න් ටෝමැටෝස් අඩවියේ ලකුණු 83% ක් සටහන් කරන අතර එහි පොදු විචාරයට අනුව මෙය ‘නොලන්ගේ අධ්‍යක්ෂණයකින් අපේක්ෂා කළ හැකි සියලුම අංගයන්ගෙන් සමන්විත වූ චිත්‍රපට රසිකයන් අමන්දානන්දයට පත් කළ හැකි දෘශ්‍ය චාරිකාවක්’ වේ. මෙටාක්‍රිටික් අඩවියේ මෙම චිත්‍රපටය ලකුණු 71%ක් සටහන් කරන අතර IMDB  දර්ශකයේ 8.3 / 10 ක් සටහන් කර ඇත.