BAD BOYS FOR LIFE

මිනීමැරුම් දාමයක සුලමුල සොයා...
සැප්තැම්බර් 10, 2020

Buddy Movies ලෙසින් හැඳීන්වෙන බොහෝ විට සගයින් දෙදෙනෙකු වටා ගෙතුණු කතා රැගත් චිත්‍රපට මාලා අතර 1995 සහ 2003 යන වසර වල තිරගත වුණු ‘Bad Boys’ චිත්‍රපට ද්විත්වයද සුවිශේෂී ප්‍රසිද්ධියක් අත්පත් කරගත් චිත්‍රපට මාලාවක් වේ. ප්‍රවීණ අධ්‍යක්ෂකවරයකු වන මයිකල් බේගේ ප්‍රථම අධ්‍යක්ෂණය වුණු ‘Bad Boys’ චිත්‍රපටයේ එන සගයින් දෙදෙනා වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ අංශයක නිලධාරීන් වූ පරීක්ෂක මාක්ස් බර්නට් සහ පරීක්ෂක මයිකල් ඉයුජීන් යන අයයි. ත්‍රාසයටත් සෙල්ලක්කාරකමටත් එකසේ ළැදිමේ තරුණ නිලධාරීන් ගේ චරිතයන්ට පණ පොවන ලද්දේ ප්‍රවීන නළුවන් දෙදෙනකු වන මාර්ටින් ලෝරන්ස් (මාකස්) සහ විල් ස්මිත් විසිනි.

අමෙරිකානු ඩොලර් මිලියන 100 කට තක්සේරු වූ අත්අඩංගුවට ගැනුණු හෙරොයින් තොගයක් සොරකම් කිරීමට අදාළ පරීක්ෂණයක් වටා ගෙතුණු පළමු චිත්‍රපටයත් මියාමි නගරයට සංක්‍රමණය වුණු විශේෂිත මත්ද්‍රව්‍යයක් සෙවීමේ පරීක්ෂණයක් ගැන කියැවුණු දෙවන චිත්‍රපටයත් වාණිජ වශයෙන් ඉහළ සාර්ථකත්වයක් ලද චිත්‍රපට වේ.

මින් පළමුවැන්න අමෙරිකානු ඩොලර් මිලියන 19 ක පිරිවැයක් දරා මිලියන 141 ක ඉහල ආදායමක් ලැබූ අතර දෙවැන්න මිලියන 130 ක පිරිවැයක් දරා මිලියන 273 ක ආදායමක් ලැබූ බව වාර්තා වේ. හාස්‍ය, ත්‍රාසය මෙන්ම අශිෂ්ට දෙබස් වලින්ද සමන්විත චිත්‍රපට මාලාවක් වුණු ‘Bad Boys’ චිත්‍රපට ද්විත්වයම මයිකල් බේගේ අධ්‍යක්ෂණයන් වුණු අතර ජෙරී බ්‍රක්හීමාර් ගේ නිෂ්පාදනයන් විය.

වසර 13 ක දිගු කලකට පසුව ‘Bad Boys’ චිත්‍රපට මාලාව නැවත පණ ගැන්වුණු අතර 2020 ජනවාරි 17 වැනිදා සිට ලොව පුරා තිරගත වීම ඇරඹි එහි තෙවන චිත්‍රපටය ‘Bad Boys For Life’ ලෙස නම් විය. බෙල්ජියම් ජාතික එදිල් එල් අර්බි සහ බිලාල් ෆලා නම් අධ්‍යක්ෂවරුන්ගේ අධ්‍යක්ෂණයක් වුණු මෙම චිත්‍රපටය ජෙරී බ්‍රක්හීමර්, විල් ස්මිත් සහ ඩග් බෙල්ග්රාඩ්ගේ නිෂ්පාදනයකි. විල් ස්මිත් සහ මාර්ටින් ලෝරන්ස් සිය පැරණි චරිතයන්ට පණ පොවන මෙම චිත්‍රපටය කොලොම්බියා පික්චර්ස් ඇතුළු චිත්‍රපට නිෂ්පාදන ආයතන සතරක නිෂ්පාදනයකි.

අමෙරිකානු ඩොලර් මිලියන 90 ක පිරිවැයකින් තනා නිමැවුණු මෙයද සිය පැරණි චිත්‍රපටයන්ට දෙවැනි නොවී මිලියන 424 ක ආදායම සනිටුහන් කර තිබේ. මිනීමැරුම් දාමයක සුලමුල සොයා යන කතා තේමාවක් රැගත් ‘Bad Boys For Life’ හි පළමු චිත්‍රපටයන්හි තරුණයින් වන සගයින් විශ්‍රාම දිවියට ලංව සිටින අතර චිත්‍රපටයේ දිගහැරෙන කතාව ඔවුන්ගේ අවසන් වික්‍රමය වනු ඇති බව බොහෝවිට කියවේ. රොට්න් ටෝමැටෝස් වෙබ් අඩවියට අනුව මෙම චිත්‍රපටය 77%ක ලකුණු සංඛ්‍යාවක් ලබා ඇති අතර මෙටාක්‍රිටික් අඩවියේ එය 59%ක් ලෙස සටහන් කරයි. රොට්න් ටෝමැටෝස් හි විචාරයට අනුව මෙය “වික්‍රමයන්ගෙන් සංතෘප්ත වුණු, දිගු කලක් නිද්‍රාගතව සිටි පැරණි චිත්‍රපටයන් ගේ විශිෂ්ටත්වය නොමැකෙන චිත්‍රපටයකි”.