සාහිත්‍ය රසය නැවත සිනමාවට

සැප්තැම්බර් 17, 2020

ඉංග්‍රීසි නවකතා කතුවරයකු වූ චාල්ස් ජෝන් හෆම් ඩිකන්ස් හෙවත් චාල්ස් ඩිකන්ස් සැලකෙන්නේ වික්ටෝරියානු යුගයේ ශ්‍රේෂ්ඨතම නවකතාකරුවා ලෙසයි. ඔහු අතින් රචනා වූ අටවැනි නවකතාව ‍වන්නේ The Personal History of David Copperfield  කෘතියයි. චාල්ස් ඩිකන්ස්ගේ හොඳම නවකතාව ලෙස බොහෝ දෙනා සලකන්නේ ද මෙම කෘතියයි.  

ලොව ඉහළ ප්‍රසිද්ධියක් ලද මෙම කෘතිය උත්තම පුරුෂයෙන් රචනා වූවකි. මෙහි සිදුවීම් බොහොමයක් ඩිකන්ස්ගේ සැබෑ ජීවිතයේ සිදුවීම් වලට සමාන වන අතර එය ඩිකන්ස්ගේ ස්වයංචරිතාපදානයකට ඉතා ආසන්න කෘතියක් ලෙසද සැලකේ. මෙහි ජීවිත කතාව දිගහැරෙන්නේ මැදිවිය දක්වා ඔහුගේ ජීවිතය පිළිබඳ විස්තරයක් ලෙස, ඔහුගේම වික්‍රමාන්විතයන් සහ ඔහු හමු වන මිතුරන් හා සතුරන් රාශියක් සමඟිනි.

ළදරු වියේ සිට වැඩිහිටි වියට පත්වීම දක්වා ඔහුගේ වෙනස්වීම හා වර්ධනය පිළිබඳ ගමන එයයි. මිනිසුන් ඔහුගේ ජීවිතයට ඇතුළු වී පිටව යන අතර ඔහු ඔහුගේ සංවර්ධනයේ අවධීන් පසු කරයි. මිතුරු මිතුරියන්, සතුරන්, ත්‍රාසජනක ක්‍රියා එහි ඇතුළත්ය. ඔහුගේ සිතුවිලි, ආකල්ප වෙනස් වු අයුරු මෙහි මැනවින් නිරූපිතය. 1867 සංස්කරණයේ පෙරවදනෙහි ඩිකන්ස් මෙසේ ලිවීය: "බොහෝ ආදරණීය දෙමව්පියන්ගේ මෙන්, මගේ හදවතේ ප්‍රියතම දරුවෙකු ඇත. ඔහුගේ නම ඩේවිඩ් කොපර්ෆීල්ඩ් ය."

1850 වසරේ රචිත මෙම නවකතාව 1911 නිහඬ චිත්‍රපට යුගයේ සිට 2000 දක්වා අවස්ථා රැසක චිත්‍රපට හා රූපවාහිනි නාට්‍ය ලෙස නිර්මාණය වී තිබේ. එහි නවතම සිනමා රූප රචනය වන්නේ ස්කොට්ලන්ත අධ්‍යක්ෂ අමැන්ඩෝ යුනිචි විසින් අධ්‍යක්ෂණය කෙරුණු චිත්‍රපටයයි.

මේ වසරේ ජනවාරි මාසයේදී මහා බ්‍රිතාන්‍යයේ තිරගත වීම ඇරඹි එය පසුගිය අගෝස්තු 28 වැනිදා සිට අමෙරිකා එක්සත් ජනපදය ඇතුළු ලොවපුරා තිරගත කිරීම ඇරඹුණි. හාස්‍ය පිරි චිත්‍රපටයක් ලෙසින් නිර්මාණය වූ එය කෘතියේ කතාවෙන් යම් යම් වෙනස්කම් සහිතව නිර්මාණය කර තිබේ. ඇතැමුන් එය ඩේවිඩ් කොපර්ෆීල්ඩ් චරිතයේ ප්‍රතිනිර්මාණයක් ලෙසද සඳහන් කර ඇත.

ඔහුගේ ජීවිතය කතාව සියලු දෙනාගේම වඩාත්ම සිත් ඇදගන්නා සුලු කතාවයි.  වරෙක ඔහු සිය මව හමුවීමට පැමිණෙන විටදී ඇය වෙනත් කසාදයක් සිදුකර ගෙන ඇත. නපුරු සුළු පියා හේතුවෙන් ඩිකන්ස්හට බොහෝ දුර පිහිටි කර්මාන්ත ශාලාවක සේවයේ නිරත වීමට සිදු වේ. මේ අතරතුර ඔහුට ආරංචි වන්නේ මවගේ මරණයයි. 

මිනිත්තු 119ක් පුරා දිවෙන මෙහි ඩේවිඩ් කොපර්ෆීල්ඩ් චරිතයට පණ පොවන්නේ බ්‍රිතාන්‍ය නළු දේව් පටෙල් විසිනි. පීටර් කැපල්ඩි, ඇනියුරින් බනාඩ්, සර්ෆ්‍රිඩ් ක්ලාක්, ඩේසි මේ කූපර්, රොසල්න්ඩ් එලීසා  ඇතුලු පිරිසක් ද රංගනයෙන් දායක වෙති.

The Personal History of David Copperfield  චිත්‍රපටය විචාරක අවධානය ඉහින්ම දිනා ගැනීමට සමත් වූ චිත්‍රපටයකි. රොට්න් ටොමැටෝස් වෙබ් අඩවියේ ලකුණු 93%ක් එයට හිමි වී ඇති අතර එහි පොදු විචරය පවසා සිටින්නේ, ඩේවිඩ් කොපර්ෆීල්ඩ්ගේ පෞද්ගලික ඉතිහාසය හාස්‍ය කැටිව නවමු ලෙස මෙන්ම සිත්ගන්නා සුලු අකාරයෙන් නිර්මාණය කර ඇති බවයි.