අවදි වූ ගුප්ත බලවේගයක හඹා ඒම...

The Devil All The Time
ඔක්තෝබර් 15, 2020

ඒ දෙවන ලෝක සංග්‍රාම සමයයි. ස්ථානය සොලමන් දූපත්. විලාර්ඩ් රසල් නම් මැරීන් සොල්දාදුවා විසින් පණ අදින සාජන්ට් මිලර් ජෝන්ස් සොයා ගනු ලබන්නේ සතුරු ජපන් ජාතිකයින් විසින් කුරුසියක් මත මිලර්ට දස වධ දී ඇණ ගසා තිබියදීයි. ජීවත් කළ නොහැකි මිලර්ගේ වේදනාව අවසන් කිරීම සඳහා විලාර්ඩ් විසින් මිලර්ට වෙඩි තබා මරා දමනු ලබයි.

යුද්ධය අවසන්ව, බටහිර වර්ජිනියාවේ කෝල් ක්‍රීක් වෙත යන විලාර්ඩ්, චාලට් නම් යුවතිය හා විවාහ වී අර්වින් නම් දරුවෙක් ලබයි. 1950 දී හෙලන් නම් කාන්තාව රෝයි නම් පූජකයකු සමඟ විවාහ වී සිටියි. රෝයි විශ්වාස කරන්නේ මළවුන්ව නැවත නැඟිටුවීමේ හැකියාව තමාට ඇති බවයි. ඔහු හෙලන්ව කැලෑවට ගෙන ගොස් මරා දමයි, ඇයව නැවත නැඟිටුවීමට උත්සාහ කළද රෝයිට එය කළ නොහැකි වේ. අනතුරුව රෝයි මඟ ගමන් කරන වාහනයකට ගොඩ වෙයි. වාහනය පදවන විවාහක මිනීමරු යුවළක් වන හෙන්ඩර්සන් හා සැන්ඩි රෝයිව මරා දමති. නැවතත්, 1957 දී විලාර්ඩ් ගේ බිරිඳ වන චාර්ලට් පිළිකාවකින් පෙළෙනු ලැබේ. චාර්ලට් බේරා ගැනීම උදෙසා සිය පුතු අරවින්ගේ බළලා බිළි දෙමින් යාග හෝම පැවැත්වුවද චාර්ලට් මියයයි. මරණ එකිනෙක ගොඩගැසෙමින් විලාර්ඩ් පසු පස මේ හඹා එන්නේ එදා සොලමන් දූපතකදී සිය මිතුරු සෙබළකු මරා දමමින් අවදි කළ ගුප්ත බලවේගයක් බව විලාර්ඩ් නොදනී.

භයංකර ගුප්ත බවක් මුළු කතාව පුරාම විහිදුවාලමින් ඉහත දිගහැරුණේ 2020 සැප්තැම්බර් මාසයේ සිට තිරගත වීම ඇරඹි ‘ද ඩෙවිල් ඕල් ද ටයිම්’ චිත්‍රපටයේ කතාවයි. ඩොනල්ඩ් රේ පොලොක් නම් ලේඛකයා විසින් 2011 දී රචනා කෙරුණු එම නමින්ම යුතු නවකතාව පදනම් කරගෙන නිර්මාණය වූ මේ චිත්‍රපටයේ ඇතැම් චරිත අතර සම්බන්ධතා නොමැති වුවද සියලු චරිත ‘මැස්මක’ මෙන් සබඳ වී ඇති බව කියවේ. ඇන්ටෝනියෝ කැම්පෝස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටයේ ටොම් හොලන්ඩ්, බිල් ස්කාර්ස්ගාඩ්, රොබට් පැටින්සන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වන අතර මෙය ප්‍රවීණ රංගන ශිල්පී ජේක් ගිලන්හාල් ඇතුළු සිවු දෙනෙකුගේ නිෂ්පාදනයක් වේ. නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් බෙදා හැරුණු මෙම චිත්‍රපටයට මිශ්‍ර විචාරක පැසසුම් ලැබී ඇත. ලකුණු 64% ක් අත්පත්කරගත් රොට්න් ටෝමැටෝස් අඩවියේ පොදු විචාරයේ මෙලෙස සටහන් වී ඇත. ‘චිත්‍රපටයේ අන්තර්ගතය සහ කතාවේ එතරම් සිත්ගන්නා සුලු බවක් ප්‍රකට නොවූවද, දක්ෂ නළු නිළි කැල විසින් එම පසු බෑම මැඩ පවත්වා ඇත’