800 නවතී?

ඔක්තෝබර් 22, 2020

'විජේ සේතුපති 800 චිත්‍රපටයේ රංගනයෙන් ඉල්ලා අස්වී ඇත'. මේ වන විට දකුණු ඉන්දීය මාධ්‍ය ඇතුළු බොහොමයක් මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ මෙයයි. සේතුපති මෙම චරිතයෙන් ඉවත් වී තිබෙන්නේ මුත්තයියා මුරලිදරන්ගේ ඉල්ලීම පරිදිය. 800 යනු ලොව අන්තර්ජාතික ටෙස්‌ට්‌ සහ එක්‌දින ක්‍රිකට්‌ ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා ලෙස ලෝක වාර්තාව සතු කරගත් මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වීමට නියමිත චිත්‍රපටයයි. එහි මුරලිදරන්ගේ චරිතය නිරූපණයට ආරාධනා ලැබූයේ දකුණු ඉන්දීය නළු විජේ සේතුපතිය.

පසුගියදා එහි යෝජිත ජංගම ප්‍රචාරය පටය නිකුත් කිරීම සමඟ තමිල්නාඩුවේ විශාල ආන්දෝලනයක් ඇති විය. චරිතාපදානයේ ප්‍රධාන චරිතය රඟපෑම සම්බන්ධයෙන් සේතුපතිහට විශාල විරෝධයක් එල්ල වු අතර ජනතාව, දේශපාලනඥයන් සහ දෙමළ සිනමා කර්මාන්තයේ ප්‍රවීණයන් පවා සේතුපති විවේචනය කරමින් චිත්‍රපටයෙන් ඉවත් වන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියහ. අනාගතයේ දී මෙම වැරදි චෝදනාවන් ඔහුගේ වෘත්තීය ජීවිතය කෙරෙහි ඇති විය හැකි බලපෑම පෙන්වා දෙමින් 800 චිත්‍රපටයේ මුරලි චරිතයෙන් ඉල්ලා අස්වන ලෙස පසුගිය 19 වැනිදා මුරලිදරන් විසින් විජේ සේතුපති වෙත ලිපියකින් දන්වා සිටියේය. මුරලිගේ ලිපිය තම ට්විටර් ගිණුමේ පළ කරමින් සේතුපති තමා 800 චිත්‍රපටයෙන් ඉවත්වීමට තීරණය කළ බව නිවේදනය කලේය.

පසුගිය වසරේ පැවති ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලාංකිකයන්හට එතරම් ප්‍රීති දායක නොවූවත් ක්‍රිකට් සම්බන්ධ තවත් සුබදායක පුවතක් අසන්නට ලැබුණේ සිනමා තොරතුරක් ලෙසිනි. ඒ අනුව මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව ඇසුරෙන් දකුණු ඉන්දීයාවේදී චිත්‍රපටයක් නිර්මාණය වන බවට නිවේදනය විය. මුරලි ගැන කියන චිත්‍රපටයේ මුරලි චරිතය විජේ සේතුපති විසින් නිරූපණය කිරීමට නියමිත අතර 800 ලෙසින් නම් ලද එය එම්.එස්. ශ්‍රීපති විසින් එය අධ්‍යක්ෂණය කෙරෙනු ඇති බවත් පැවසුණි. තත්ත්වය එසේ වන විටදී ද ඇතැම් ඉන්දීය දේශපාලන සංවිධාන මෙම චිත්‍රපටයට අප්‍රසාදය පළ කර ඇති බව ද එම පුවත් වාර්තා අතර විය.

මුත්තයියා මුරලිදරන්ගේ චරිතාපදානය ගෙන එන 800 හි චලන පෝස්ටරය නිකුත් කෙරුණේ එම පුවතෙන් වසරකට පමණ පසුව පසුගිය සතියේදීය. එහි කුඩා වියේදී වේග පන්දු යවන්නකු වූ මුරලි දඟ පන්දු යවන්නකු බවට පත් වූ අයුරුත් ඔහුගේ කුඩා කල ජීවිතය, එල්.ටී.ටී. ත‍‍්‍රස්තවාදය සහ ශ‍්‍රී ලංකාවේ පැවති භීෂණ සමයේදී ඔහු ලද අත්දැකීම්, ඩැරල් හෙයාර්ගේ නිපන්දුව, ලාහෝර් නුවරදී ශ‍ී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එල්ල වූ බෝම්බ ප‍‍්‍රහාරය ඇතුළු සිදුවීම් කිහිපයක් ඇතුළත් කර ඇත. රජීෂා විජයන් 800 චිත්‍රපටයේ මුරලිගේ බිරිය මදිමලර් ලෙස චරිත නිරූපණයට තෝරා ගෙන ඇත.ට්‍රේන් මෝෂන් පික්චර් සහ ඩාර් මෝෂන් පික්චර්ස් විසින් නිෂ්පාදනය කෙරෙන එය දෙමළ භාෂාවෙන් නිපදවන අතර දකුණු ඉන්දියානු භාෂා මෙන්ම හින්දි, බෙංගාලි සහ සිංහල යන භාෂාවලින් ද නිකුත් කිරීමට නියමිතය. ලබන 2021 වසරේදී එය ශ්‍රී ලංකාව, ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ඕස්ට්‍රේලියාවේදී රූගත කෙරෙනු ඇත. මෙම චිත‍්‍රපටය සම රචනා කර තිබෙන්නේ අධ්‍යක්ෂ එම්.එස්. ශ‍ී‍්‍රරීපති සමග චයිනාමන් : ද ලෙජන්ඩ් ඔෆ් ප්‍රදීප් මැතිව් කෘතිය රචනා කළ ෂෙහාන් කරුණාතිලක විසිනි.

චිත්‍රපටය නිවේදනය කළ අවස්ථාවේ ඇති වූ විරෝධය පෝස්ටරය එළිදැක්වූ දා සිට යළිත් වර්ධනය වී නැඟි එන්නට විය. 800 චිත්‍රපටය සම්බන්ධව මේ වන විට තමිල්නාඩුවේ මහත් ආන්දෝලනයක් ඇති වී තිබෙන අතර දෙමළ හිතවාදී කණ්ඩායම් සමාජ මාධ්‍ය වේදිකාවල විවිධ අදහස් දක්වන්නට පටන් ගෙන ඇත.

සේතුපති විසින් ශ්‍රී ලංකා ධජය සහිත ජර්සිය හැඳ සිටිනු දැකීම පවා ඇතැමුන් ප්‍රතික්ෂේප කර සිටිති. පසුගිය වසරේදී ඇතැම් පුවත් වාර්තා කර සිටියේ සේතුපති, මුරලි චරිතයෙන් ඉවත් වී ඇති බවයි. ඔස්ට්‍රේලියාව් පැවති සිනමා සම්මාන උලෙළකදී හොඳම නළුවා ලෙස සම්මාන ලබමින් විජේ සේතුපති කියා සිටියේ, තමන් මුරලි චරිතය අත්නොහළ බවයි. මුරලි යනු ලොව අතිදක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු බවත් ඔහුගේ චරිතයට පණ පෙවීම විශාල අභියෝගයක් බවත් සේතුපති එහිදී පැවසීය. මෙම චරිතය භාර ගනිමින් සිටියදී ද සේතුපති පවසා සිටියේ රසිකයන් පිටියේ තරඟවලදී මුරලි දැක ඇති නමුත් පිටියෙන් බැහැරව ඔහුගේ පෞරුෂය දැක ඇත්තේ ඉතා සුළු පිරිසක් බවයි. ආදරණීය හා සුන්දර පුද්ගලයෙක් වන ඔහුගේ කතාව පැවසිය යුතු බවයි.

විජේ සේතුපති යනු මේ වන විට දෙමළ සිනමාවේ ජනප්‍රිය චිත්‍රපට තරුවක් බවට පත් වී සිටින්නෙකි. කොලිවුඩයේ අංක එකේ සිනමා තරුව රැජනිකාන්ත්, විජේ සහ අජිත් ගෙන් පසුව වයස් පරතරය වැඩි රසික ප්‍රජාවත් ලබන්නට ඔහු ද සමත් වී සිටී. වෘත්තියෙන් ගණකාධිකාරිවරයකු ලෙස කටයුතු කළ සේතුපති පසු කාලීනව රංගනයට පිවිස සාර්ථක චිත්‍රපට ගණනාවකම ප්‍රධාන චරිත නිරූපණය කළේය. එම චිත්‍රපට බොහොමයක් වාණිජ සාර්ථකත්වය ලබමින් ඉහළ විචාරක පැසසුම් ලබන්නට ද සමත් විය.

මෙම තත්වයන් යටතේ ට්‍රේන් මෝෂන් පික්චර් සහ ඩාර් මෝෂන් පික්චර්ස් විසින් නිවේදනය කර සිටින්නේ 800 චිත්‍රපටය ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පිළිබඳව වන ක්‍රීඩා චරිතාපදානයක් පමණක්ම බවයි. ටයිම්ස් ඔෆ් ඉන්දියා විසින් පසුගියදා මේ සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් කළ නිල ප්‍රකාශයක් පළ කළ අතර තමා දෙමළ ජනතාවට විරුද්ධ යැයි කියමින් අනවශ්‍ය මතභේදයක් නිර්මාණය කර එමඟින් චිත්‍රපටයට දේශපාලනය සම්බන්ධ කර ඇති බවට එහි ඔහු ප්‍රකාශ කර සිටියේය. මුලදී චිත්‍රපටය වෙනුවෙන් අවසර දීමට තමා තරමක් මැළි වූ බවත් දෙමව්පියන්, පුහුණුකරුවන් සහ ගුරුවරුන්ගේ දායකත්වය ඇතුළු තම සාර්ථක ගමනේ කොටසක් වූ සියලු දෙනා ඉස්මතු කරනු ඇති බවට වන විශ්වාසය මත එකඟත්වය පළ කළ බවත් එහි දැක්වේ. නිෂ්පාදකයන් කියා සිටින්නේ චිත්‍රපටය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ප්‍රකාශයක් නොකරන බවයි. දෙමළ සංක්‍රමණික ප්‍රජාවෙන් පැවත එන, මෙතෙක් වැඩිම කඩුලු ලබා ගත් ක්‍රීඩකයෙකු බවට පත්වීමේ ගමන දැක්වෙන මෙම චිත්‍රපටය කිසිදු ප්‍රජාවකට වාසිදායක දේශපාලන ප්‍රකාශයක් නොකරන අතර තරුණ පරම්පරාවට තම ගමනේ දී ඇති වන දුෂ්කරතා නොසලකා සිහින සැබෑ කර ගැනීමට ආස්වාදයක් වනු ඇති බවත් ඔවුන් සඳහන් කර සිටී.