කවද හරි ලෝකේ විනාශ වෙන දවසට

ඔක්තෝබර් 29, 2020

"අපි හැමෝම දැනගෙන හිටිය කවද හරි ලෝකේ විනාශ වෙන විත්තිය. ඔන්න එකත් සිද්ධ වුණා. සිද්ධ වුණු විදිහ තමයි වැදගත්. ඔව්. උල්කාපාතයක්. උල්කාපාතයක් පෘථිවිය දෙසට ඇදී ආවා. මිනිස්සු ඔක්කොම එකතු වුණා.

අපි උල්කාපාතෙ විනාශ කරන්න රොකට් යැවුවා. ඒ අපිට හොඳටම පුළුවන් දේ නෙව. උල්කාපාතේ විනාශ වුණා. මරේ මරු! ම්... එහෙමමත් නෑ. විනාශකාරී රොකට්ටුවල තිබුණු රසායනික ආපහු පොළොවට කඩාපාත් වුණා.

හැමදේම වෙනස් වුණා. හැමදේම කිව්වේ ලේ පිපාසිත නපුරු සතුන් ගැන. වෙනස් වුණා කියල කියන්නේ විකෘති වුණා. උන් අපිව මරාගෙන කන්න පටන් ගත්තා. කූඹි, කටුස්සෝ, කැරපොත්තෝ, කිඹුල්ලු. එකී මෙකී නොකී සියලුම උන්. එක ළමයෙක් සැණකෙලියකදී දිනාගත්තු ගෝල්ඩ් ෆිෂ් මාලුවෙක් ඒ ළමයව නිදාගෙන ඉඳීද්දී රාත්‍රී ආහාරයට අරගෙන තිබුණා.

ඇයි අර පූසා.. ඒක තවත් කතාවක්. අපිට කැරපොත්තෙක් මරන්න ඕනේ වුණොත් ගන්නේ මොකක්ද? මුළු මනුෂ්‍ය ඉතිහාසේ පුරාවටම අපි ගත්තේ සපත්තුව නේ. දැන් ගන්නේ කානු දෙකේ තුවක්කුව.

යුද්ධ ටැංකියක් වුණත් තියාගන්න එක වැඩි වෙන්නෙ නැහැ. කොහොමෙන් කොහොම හරි ලෝක ජනගහණයෙන් සියයට 95ක්ම නැති බංගස්ථාන වෙච්චි. ඉතුරු වෙච්ච අපි කිහිප දෙනා පොළොව යට බංකර් හදාගෙන තමයි ජීවත් වුණේ. පහුගිය අවුරුදු හත තිස්සේ මමත් ඉන්නේ ඒ වගේ බංකරේක..."

මයිකල් මැතිව්ස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු, ෂෝන් ලෙවි සහ ඩෑන් කොහෙන් විසින් නිෂ්පාදනය කරන ලද, ලෝක විනාශයෙන් පසු කාලීනව සිදුවන සිදුවීම් පෙළක් ආශ්‍රයෙන් නිර්මාණය වුණු, මේ මස 16 වනදා සිට තිරගත වන Love and Monsters චිත්‍රපටය ඇරඹෙන්නේ චිත්‍රපටයේ කතා නායක වන ජොඑල් ඩෝසන් නම් තරුණයා විසින් සිය අතීතය ගැන තබන ඉහත සටහනත් සමඟිනි.

අප දන්නා ලෝකය විනාශ වී කුඩා කෘමි සතුන් මිනිසුන් දඩයම් කරන කුරිරු මෘගයින් වී ඇති සමයක, සිය පාසල් පෙම්වතිය සොයා වික්‍රමාන්විත ගමනක නිරත වන ජොඑල්ගේ කතාව මෙම චිත්‍රපටයෙන් විදහා දැක්වේ.

2020 අප්‍රේල් 20 තිරගත වීමට නියමිතව තිබුණු මෙම චිත්‍රපටය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කල් ගොස් අවසානයේ සීමිත සිනමාහල් කිහිපයක සහ වීඩියෝ-ඔන්-ඩිමාන්ඩ් ක්‍රමය, රූපවාහිනිය හරහාත් විකාශය ඇරඹුණු බව සඳහන්. ඩිලන් ඕ බ්‍රයන්, මයිකල් රූකර්, අරියානා ග්‍රීන්බ්ලැට් සහ ජෙසිකා හෙන්වික් ඇතුළු පිරිස රංගනයෙන් දායක වන Love and Monsters පැරාමවුන්ට් බෙදාහැරීමකි.

එය අමෙරිකානු ඩොලර් මිලියන 30ක පිරිවැයකින් තනා නිමකළ බව ද වාර්තා වේ. IMDB අඩවියේ 7.1/10ක ඉහළ ලකුණු ප්‍රමාණයක් වාර්තා කරන මෙය රොට්න් ටෝමැටෝස් දර්ශකයේ 91% ක ලකුණු ප්‍රමාණයක් වාර්තා කර විශිෂ්ට විචාරක පැසසුම් ලබා තිබේ. රොට්න් ටෝමැටෝස් පොදු විචාරයට අනුව මෙම චිත්‍රපටයේ ජොඑල්ගේ චරිතයට පණ පොවන ඩිලන් විශිෂ්ට රංගනයක යෙදෙන අතර ලෝක විනාශය මඳ ගැඹුරු හැඟුම්බර ලෝකයකට අපව කැඳවාගෙන යයි.