අපකීර්තිමත් සිදුවීමක් ගැන කීර්තිමත් චිත්‍රපටයක් The Trial of the Chicago 7

නොවැම්බර් 19, 2020

පසුගියදා පැවති අමෙරිකානු ජනපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක ජෝ බයිඩන් මහතා අමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය. ඒ මහතා ජනාධිපති ලෙස තේරී පත්වීමට මාස කිහිපයකට පෙර (2020 අගෝස්තු) ඩිමොක්‍රටික් පක්ෂයේ ජාතික සම්මේලනයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස නාමයෝජනා වී සම්මත විය. මෙය සිය ජනපති සහ උප ජනපති අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා වසර ගණනාවක් තිස්සේ ඩිමොක්‍රටික් පක්ෂය විසින් පැවැත්වෙන නිල සමුළුවක් වන අතර මීට වසර 52 කට පෙර 1968 වසරේ අගෝස්තු මාසයේද චිකාගෝහිදී මෙවැනිම සමුළුවක් එම පක්ෂය විසින් සංවිධානය කර තිබිණි.

ඩිමොක්‍රටික් පක්ෂය එවකට පැවති අමෙරිකානු-වියට්නාම යුද්ධයට පක්ෂපාතී ස්ථාවරත්වයක් දැරූ අතර රට පුරා ඇවිළුණු විරෝධතාවයන්ගේ දිගුවක් ලෙස මෙම සමුළුව ඉදිරිපිට ඊට විරෝධතාවය දැක්වීමට ඇබී හොෆ්මන්, ජෙරී රූබින්, ටොම් හේඩන්, රෙනී ඩේවිස්, ඩේවිඩ් ඩෙලින්ජර්, ලී වයිනර්, ජෝන් ෆ්‍රොයින්ස් සහ බොබී සීල් යන පුද්ගලයෝ සූදානම් වූහ. සමුළුවෙන් මාස පහකට පසු ඔවුන් අටදෙනා අත්අඩංගුවට ගැනුණු අතර අදාළ සමුළුවේදී කැරළි කෝලාහල ඇති කිරීමේ අරමුණින් කුමන්ත්‍රණය කිරීම සහ රාජ්‍ය සීමාවන් තරණය කිරීම ඔවුන්ට විරුද්ධ චෝදනා විය.

පසුගිය සැප්තැම්බර් 25 වැනිදා සිට තිරගත වීම ඇරඹි ආරොන් සෝකින් විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද 'ද ට්‍රයල් ඔෆ් ද චිකාගෝ 7' මෙම සිද්ධි දාමය අලළා නිමැවුණු චිත්‍රපටයකි.

ජනප්‍රිය රංගන ශිල්පීන් රාශියක් මෙහි චරිත නිරූපණය කරන අතර යාහියා අබ්දුල්-මාටීන් (දෙවන), ඩැනියෙල් ෆ්ලහර්ට්, සාචා බාරොන් කොහෙන්, මයිකල් කීටන්, ජෝන් කැරොල් ලින්ච්, ජෝශප් ගෝර්ඩන්-ලෙවිට්, ෆ්‍රෑන්ක් ලැන්ගෙල්ලා, එඩී රෙඩ්මයින්, නෝවා රොබින්ස්, මාක් රයිලන්ස්, ඇලෙක්ස් ෂාප් සහ ජෙරමි ස්ට්‍රෝන් එම රංගන ශිල්පීහු වෙති.

අමෙරිකානු රජය අපකීර්තිමත් කළ නඩු විභාගයක් ලෙස ඉතිහාස ගත වන මෙම සිද්ධිය අවසානයේ විත්තිකරුවන් 7 දෙනෙකුගෙන් 5 දෙනෙකුට පමණක් කැරලි ඇති කිරීම සම්බන්ධයෙන් දඬුවම් පැමිණ විණි. කෙසේ නමුත් පසුව පැවති නඩු විභාගයන් හිදී එම දඬුවම්ද අවලංගු වුණු අතර බොහෝ චෝදනාකරුවන්ටත් ඔවුන්ගේ නීතීඥයන්ටත් නඩු විභාගය අතරතුරේදී උසාවියට අපහාස වන අන්දමින් ක්‍රියා කිරීම යන චෝදනාව යටතේ දිගු සහ කෙටි කාලීන දඬුවම් පමණක් පැමිණවිණි.

නෙට්ෆ්ලික්ස් විසින් බෙදාහරිනු ලබන අමෙරිකානු ඩොලර් මිලියන 35 ක පිරිවැයක් යොදා නිමැවුණු මෙම චිත්‍රපටය කොවිඩ් 19 වසංගතය නිසා වාණිජමය වශයෙන් ඉතා දුර්වල ආදායමකට හිමිකම් කියන බව සඳහන්ය. ඒ කෙසේ නමුත් විචාරක ප්‍රතිචාර අතින් ඉහළින්ම වැජඹෙන චිත්‍රපටයක් වන මෙය රොට්න් ටෝමැටෝස් අඩවියේ ලකුණු 91% ක් සහ මෙටාක්‍රිටික් හි ලකුණු 76% ක් වාර්තා කොට ඇත. රොට්න් ටෝමැටෝස් හි පොදු විචාරය පවසන ආකාරයට මෙහි චරිත මැවූ රංගන ශිල්පීන් මෙම ඉතිහාසගත කතාව ජීවමාන කරන ලද අතර අධ්‍යක්ෂවරයාගේ දක්ෂතාවයක් විදහා දැක්වීමටද හොඳ තෝතැන්නක් වී ඇත.