SHIRLEY

ෂර්ලි
නොවැම්බර් 26, 2020

ෂර්ලි හාඩි ජැක්සන් 20 වන සියවසේ මැද භාගයේ විසූ ජනප්‍රිය ඇමරිකානු ලේඛිකාවක් වන අතර ඇයගේ බොහෝ කෘති භීෂණ සහ අභිරහස් තේමා කරගත් ඒවා විය. දශක දෙකකට වැඩි කාලයක් පුරා පැවති ඇගේ ලේඛන කාලය තුළ ඇය නවකතා හයක්, මතක සටහන් (memoirs)දෙකක් සහ කෙටිකතා 200 කට වැඩි ප්‍රමාණයක් රචනා කළාය. 2014 වසරේ පළවුණු සුසාන් ස්කාර්ෆ් මෙරෙල් විසින් රචිත ‘ෂර්ලි’නම් නවකතාව උක්ත ෂර්ලි ජැක්සන්ගේ ජීවිතය පදනම් කරගත් අතීශයින් ප්‍රබන්ධිත කතාවකි. 2020 ජනවාරි මස තිරගත වීම ඇරඹි, ජොසෆින් ඩෙකර් විසින් අධ්‍යක්ෂණය කෙරුණු ‘ෂර්ලි’ නම් වූ චිත්‍රපටය මෙම නවකතාව පාදක කරගෙන නිර්මාණය වී ඇති අතර බෙහෙවින් විචාරක පැසසුම් දිනාගත් එකක්ද වේ.

චිත්‍රපටය ඇරඹෙන්නේ ෆ්‍රෙඩ් සහ රෝසි නෙම්සර් යුවළ ස්ටැන්ලි හයිමන් සහ ෂර්ලි ජැක්සන් යුවළ සමඟ එක් නිවසක විසීමට පටන් ගැනීමෙනි. මෑතකදී බෙනින්ටන් සරසවියෙන් අතුරුදන් වූ තරුණියකගේ කතාව නවකතාවක් ලෙස ලිවීමට ෂර්ලි අරමුණු කරගනියි. එනමුත් මෙකල ෂර්ලි යම් මානසික රෝගයකින් සහ “Writer’s block” ලෙස හැඳීන්වෙන කෘති ලිවීමේ අවහිරතාවයෙන් පසුවේ. ස්ටැන්ලි - ෂර්ලි යුවළ මීට පිළියම් වශයෙන් ෂර්ලිගේ මනස ක්‍රියාකාරී කිරීමට යොදා ගන්නේ කුරිරු උපක්‍රමයකි.

එනම් නෙම්සර්ස් යුවළට නොදැනෙන පරිදි විවිධ උපක්‍රම යොදා ගනිමින් ඔවුන්ගේ විවාහ දිවියට බාධා පැමිණවීමයි. මානසික පීඩනය යටතේ නෙම්සර්ස් යුවළගේ ජීවිතය කෙමෙන් ඉරිතලා යද්දී ෂර්ලි වැඩි වැඩියෙන් අදහස් උකහාගෙන සිය නවකතාව විශිෂ්ට අයුරින් සම්පූර්ණ කරයි. චිත්‍රපටයේ අවසන් ජවනිකාවේ පෙන්වන්නේ නෙම්සර්ස් පවුල විනාශ කිරීම ගැන ෂර්ලිට කෙටි කනගාටුවක් ඇති වුවත් එය ඉක්මනින් අමතක කර ස්ටැන්ලි සමඟ ප්‍රීතියෙන් නටන ෂර්ලි ය.

ජෙෆ්රි සෝරෝස් ඇතුළු සත් දෙනෙකුගේ නිෂ්පාදනයක් වූ මෙම චිත්‍රපටය ‘කිලර් ෆිල්ම්ස්’ නම් නිෂ්පාදන ආයතනයේ නිෂ්පාදනයක් සහ ‘නියෝන්’ නම් ආයතනයේ බෙදාහැරීමකි. ප්‍රයිම්ටයිම් එමි සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ලාභිනියක වන එලිසබෙත් මොස් - ෂර්ලි ජැක්සන් ලෙස මෙම චිත්‍රපටයේ රඟ දක්වන අතර, මයිකල් ස්ටුල්බර්ග්- ස්ටැන්ලි එඩ්ගර් හිමාන් ලෙසත් ඔඩෙස්සා යන්ග් - රෝස් නෙම්සර් ලෙසත් ලෝගන් ලර්මන්- ෆ්‍රෙඩ් නෙම්සර් ලෙසත් රංගනයෙන් දායක වෙති.

රොට්න් ටොමැටෝස් අඩවියේ විචාරකයන්ගෙන් 88%ක් අනුමත කර ඇති මෙම චිත්‍රපටයට 7.49/10 ක දර්ශක අගයක් ලැබී ඇත. රොට්න් ටොමැටෝස්හි පොදු විචාරයට අනුව මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට එලිසබත් මොස් ගේ රංගනය බෙහෙවින් හේතුපාදක වී ඇති අතරම චිත්‍රපටයද ලේඛිකාවකට ගරු කෙරෙන සාමාන්‍ය ක්‍රමය අබිබවා ගොස් ෂර්ලි ජැක්සන් විසින් නවකතාවට කළ සේවය ඇගයීමට ලක් කරයි.