ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට

නොවැම්බර් 26, 2020

මේ දවස්වල සිනමා ශාලා වහලා. සිනමා ශාලා වැහුවාට සිනමාව වැහිලා තියෙන්නේ ලංකාවේ විතරයි. හැබැයි මෙරට වුණත් සිනමා ශාලාවලට නොගිහින් චිත්‍රපට නරඹන ඇත්තන්ට නම් ඒ ගැන වගේ වගක් නැහැ. හැම ටෙලිවිෂන් නාළිකාවක්ම චිත්‍රපට පෙන්වනවා. ඒ වගේම අන්තර්ජාල ක්‍රම මඟිනුත් චිත්‍රපට නරඹන අය දැන් වැඩියි. ඉතින් අපේ කල්පනාව මේ දවස්වල ඔබට නරඹන්නට සිතෙන ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ගැන කියන්න.
 

IRON MAN


අනූව දශකයේ සිනමා වීරයන් වුණ ජැකී චෑන් සහ ආනෝල්ඩ් ෂ්වසෙනගර් දෙදෙනා එකම චිත්‍රපටයක දකින්න තිබෙනවා නම් කොහොමද?
සිනමා ශාලාවේ නැතත් දැන් ගෙදර ඉඳන්ම මේ චිත්‍රපටය බලන්න පුළුවන්. ජර්නි ටු චයිනා 2 හෙවත් අයන් මෑන් චිත්‍රපටය එයට හොඳ අවස්ථාවක්. මේ චිත්‍රපටයට පාදක වනුයේ නම් රුසියානු මහා ලේඛකයකු වන නිකොලයි ගොගෝල් ගේ වියි නම් කථාන්තරයයි. රුසියාවත් චීනයත් එක් වී තැනුණ මේ චිතපටය සෙසු චරිත චාල්ස් ඩාන්ස්, ජේසන් ෆ්ලෙමිං ආදින් මෙන්ම පසුගිය කාලයේ මෙලොව හැර ගිය රට්ගර් හවර් විසින් ද නිරූපිතයි. අධ්‍යක්ෂණය කරන ලද්දේ ඔලෙග් ස්ටෙප්චෙන්කෝ

THE TRIAL OF THE CHICAGO 7


1969 වසරේ චිකාගෝ නගරයේ සිදුවන දේශපාලන විරෝධතාවක් මැද අත් අඩංගුවට පත්වන විරෝධතා කරුවන් හත් දෙනෙකු වටා ගෙතුණු මේ චිත්‍රපටය වසරේ විචාරකයන්ගේ විශාල අවධානයක් දිනා ගත්ත චිත්‍රපටයක්. එමෙන්ම එයට පාදක වනුයේ සත්‍ය සිදුවීමක්. ආරෝන් සර්කින් විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටයේ එඩී රෙඩ්මේන්, ඇලෙක්ස් ෂාර්ප්, සාචා බැරන් කොහේන්, ජෙරමි ස්ට්‍රෝංග් ආදි නළු නිළියන් රුසක් චරිත නිරූපණය කරනවා.

JUST MERCY


අමෙරිකාවේ කළු ජාතිකයන් විඳීන දුක් ගැහැට ගැන තැනුණ සිනමා කෘතින් ඕනෑ තරම් තිබෙනවා. හැබැයි ජස්ට් මර්සි එහෙම චිත්‍රපටයක් පමණක් නොවේ. නිකරුණේ සිරගත ව යුක්තිය අහිමි වන මිනිසුන් පිළිබඳ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයත් සැබෑ සිදුවීමක් පාදක කර ගත් චිත්‍රපටයක්. බ්‍රයන් ස්ටීවන්සන් නම් තරුණ කළු ජාතික නීතිඥවරයා විසින් යුක්තිය වෙනුවෙන් කරන අධිකරණයේ කරන අරගලය හා වර්ගවාදය සහ දිළිඳු බව හේතුවෙන් යුක්තිය අහිමි වන මිනිසුන් පිළිබඳ තැනුණු මේ චිත්‍රපටයේ මයිකල් බී.ජෝර්දාන්, ජැමී ෆොක්ස්, රොබ් මෝර්ගන්, බ්‍රී ලාසන් වැනි නළු නිළියන් චරිත නිරූපණය කරන අතර අධ්‍යක්ෂණය ඩෙස්ටින් ඩැනියෙල් ක්‍රෙටන් ගෙන්.

ANJAAM PATHIRAA


මලයාලම් චිත්‍රපට බලන්න කැමැති අපේ කට්ටියට චිත්‍රපටයක් හඳුන්වාදෙන්නයි මේ වෑයම. චිත්‍රපටය අන්ජාම් පතිරා. පස්වැනි මැදියම් රැය යන අර්ථය ඇති මේ චිත්‍රපටය ත්‍රාසජනක චිත්‍රපට ගොන්නට අයත්. කොහොමටත් මෑත කාලයේ මලයාලම් චිත්‍රපට ඉන්දියාවේ සෙසු ප්‍රාන්ත චිත්‍රපට අභිබවා ඉතා හොඳ නිර්මාණ බව අමුතුවෙන් කියන්නට දෙයක් නැහැ. කුන්චුකෝ බෝබන්, ශරෆ් ඩීන්, ජිනු ජෝශප් ආදින් චරිත මවන මෙහි අධ්‍යක්ෂණය මිදුන් මැනුවෙල් තෝමස්ගෙනි. මේ චිත්‍රපටය ඉතා උපාය ශිලි මිනීමැරුමක් පසුපස හඹායන පොලිස් නිළධාරින් පෙළක් වටා ගෙතුණක්.