ධීරවීර ඉත්තෑවා

දෙසැම්බර් 3, 2020

"මම ආවේ ඉතාම සුන්දර දිවයිනකින්. රන්වන් වැලි පිරුණු වෙරළ, කඩා හැලෙන දිය ඇලි, එහි සුලබ දේ. මම ඉපදුණේ විශේෂ බලයක් සමඟ. ඒ තමයි මගේ වේගය. මට මගේ විශාල දිවයින වටේ දිවීම තත්පර 2 ක් වගේ සුළු කාලයකින් නිම කරන්න පුළුවන්. කුඩා කල මට වැඩිහිටියන් අවවාද කළා මගේ හැකියාවන් රහසිගතව තබාගන්නා ලෙස. ඒත් හැම දරුවෙක්ම වගේ මම කළෙත් හරියටම ඊට ප්‍රතිවිරුද්ධ දේ.

මම බිය නැතුව මගේ බලයන් ප්‍රදර්ශනය කළා. හැම බලයක් පසුපසම බලලෝභී දුෂ්ටයන් රජකරනවා. ඒ වගේ මගේ බලය සොරකම් කිරීමටත් මා පිටුපස ඒ බලලෝභී දුෂ්ටයන් ලුහුබැන්දා. මගේ භාරකාරීත්වය සතු වුණු 'ලෝන්ග් කලෝ' මාව ඒ බලලෝභීන්ගෙන් බේරා ගත්තා. ඔහු සතුව තිබුණු මැජික් මුදුවකින් මාව වෙනත් ලොවකට පිටත් කර හැරියා. ඒ ලෝකය තමයි පෘථිවිය".

2020 ජනවාරි මස තිරගත වීම ඇරඹි සොනික් ද හෙජ්හොග් ක්‍රියාදාම, වික්‍රමාන්විත, ප්‍රහසන සජීවකරණ චිත්‍රපටය ඇරඹෙන්නේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන සොනික් විසින් සිය පසුබිම ගැන කරන ඉහත විස්තරය සමඟිනි. ඉතාම වේගයෙන් දිවීමේ හැකියාවක් ඇති සොනික් නම් ඉත්තෑවකු පාදක වුණු 'සොනික් ද හෙජ්හොග්' දශක තුනක් තිස්සේ වීඩියෝ සහ පරිගණක ක්‍රීඩා ලොලීන්ට අලුත් නාමයක් නොවේ. 

1991 පළමුවරට ජපානයේ 'සේගා' ආයතනය විසින් නිර්මාණය වුණු සොනික් ද හෙජ්ගොග් වීඩියෝ ක්‍රීඩාව පසුව විවිධ ආකාරයන්ගෙන් නිකුත් වුණු අතර චිත්‍රකතා කාටූන් සහ චිත්‍රපට ගණනාවක් ලෙසින්ද නිර්මාණය විය.

ජෙෆ් ෆෝලර් ගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වන මෙහි රචනය පැට් කේසි සහ ජොෂ් මිලර් විසිනි. සොනික් ගේ හඬ ලබා දෙන්නේ බෙන ෂ්වාට්ස් විසින් වන අතර වෛද්‍ය රොබෝට්නික් ලෙස ප්‍රවීණ නළු ජිම් කේරී රංගනයෙන් දායක වෙයි. ජේම්ස් මාස්ඩන්, ටිකා සාම්පර්, නටාෂා රොත්වෙල්, ඇඩම් පාලි සහ නීල් මැක්ඩොනොග් සෙසු චරිතයන්ට රංගනයෙන් දායක වෙති. නීල් එච්. මොරිට්ස්

ඇතුළු සිවු දෙනෙකුගේ නිෂ්පාදනයක් වන මෙය සේගා සැමී ගෘප් ඇතුළු නිෂ්පාදන ආයතන හතරක නිර්මාණයකි. පැරාමවුන්ට් පික්චර්ස් බෙදා හැරීමකි. සිය මිතුරු ෂෙරිෆ් ටොම් වචොව්ස්කි සමඟ එකතු වී ඔහුගේ නැතිවූ මුදු සොයාගෙන වෛද්‍ය රොබෝට්නික්ගෙන් බේරී යන සොනික්, චිත්‍රපටයේ ප්‍රධාන තේමාව වේ.

රොට්න් ටොමැටෝස් හි විචාරක සමාලෝචන 237 ක් මත පදනම්ව මෙම චිත්‍රපටය 63% ක් විසින් අනුමත කර ඇති අතර ඇති අතර දර්ශකයේ අගය 5.80 / 10 කි. රොට්න් ටොමැටෝස් හි පොදු විචාරයට අනුව මෙය, “දිගින් දිගටම විනෝදාස්වාදය සපයන මුළු පවුලටම සතුටු විය හැකි චිත්‍රපටයක් වන අතර අතර ජිම් කේරීට සිය සහජ දක්ෂතා නැවත වරක් පෙන්වාලීමට හැකි වුණු අවස්ථාවකි”.