නරඹන්නට සිතෙන ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට

දෙසැම්බර් 17, 2020

මේ දවස්වල සිනමා ශාලා වහලා. සිනමා ශාලා වැහුවාට සිනමාව වැහිලා තියෙන්නේ ලංකාවේ විතරයි. හැබැයි මෙරට වුණත් සිනමා ශාලාවලට නොගිහින් චිත්‍රපට නරඹන ඇත්තන්ට නම් ඒ ගැන වගේ වගක් නැහැ. හැම ටෙලිවිෂන් නාළිකාවක්ම චිත්‍රපට පෙන්වනවා. ඒ වගේම අන්තර්ජාල ක්‍රම මඟිනුත් චිත්‍රපට නරඹන අය දැන් වැඩියි. ඉතින් අපේ කල්පනාව මේ දවස්වල ඔබට නරඹන්නට සිතෙන ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ගැන කියන්න.

Bheeshma

භීෂ්මා යනු පෙබරවාරි 21 වැනිදා නිකුත් වූ තෙළිඟු චිත්‍රපටයකි. වෙන්කි විසින් අධ්‍යක්ෂණය කළ එහි නිතින්, රශ්මිකා මන්දනා, නරේෂ් සහ සම්පත් රාජ් රංගනයෙන් දායක වී ඇත. නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීමේ පහසුකම් ඇති එහි කතාව සදාකාලිකවම තනිකඩව සිටීමට කැමති, දක්ෂ නිර්මාණකරුවෙකු වටා ගෙතී ඇත.

 

Kaali Khuhi

කාලි කුහි යනු ටෙරී සමුන්ද්‍ර විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි චිත්‍රපටයකි. පසුගිය ඔක්තෝබර් 30 වැනිදා නිකුත් වූ එහි ෂබානා අස්මි, ලීලා සැම්සන්, සංජීදා ෂෙයික් සහ සත්‍යදීප් මිස්රා රංගනයෙන් දායක වෙති. නෙට්ෆ්ලික්ස් ඔස්සේ ගෙන එන මෙහි කතාවට අනුව කුඩා බිළිඳීයන්ගේ ඝාතන පිළිබඳ කුරිරු ඉතිහාසයත් සමඟ පන්ජාබයේ ගම්මානයක අද්භූත මරණ සිදුවන විටදී ශිවන්ගි නම් අවුරුදු 10 ක දැරිය තම පවුල සහ ගම බිහිසුණු අතීතයේ නොසන්සුන් අවතාරවලින් බේරා ගත යුතුය.

 

Rebecca

රෙබෙකා යනු 2020 දී බෙන් වීට්ලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ලිලී ජේම්ස්, ආමි හැම්මර්, ක්‍රිස්ටින් ස්කොට් තෝමස් සහ ටොම් ගුඩ්මන්-හිල් රංගනයෙන් දායක වූ ප්‍රේමණීය ඉංග්‍රීසි චිත්‍රපටයකි. පසුගිය ඔක්තෝබර් මාසයේදී නිකුත් වූ එය නෙට්ෆ්ලික්ස් ඔස්සේ නැරඹීමේ පහසුකම් ඇත. අලුත විවාහ වූ තරුණියක් තම ස්වාමිපුරුෂයාගේ පවුලේ වතුයායට පැමිණීමත් සමඟ ඔහුගේ පළමු බිරිඳ වන රෙබෙකාගේ ආත්මය සමඟ ගනුදෙනු කරන අයුරු මෙහි දැක්වේ.

 

Putham Pudhu Kaalai

පුතම් පුදු කාලෙයි යනු දෙමළ කෙටි චිත්‍රපට පහක එකතුවකි. බලාපොරොත්තුව හා නව ආරම්භයන් පිළිබඳ කථා ඇතුළත් එය පවුලේ චිත්‍රපටයකි. සුදා කොන්ගරා, ගෞතම් මෙනන්, සුහසිනි මනිරත්නම්, රජීව් මෙනන් සහ කාර්තික් සුබරාජ් විසින් අධ්‍යක්ෂණය කරන ලද චිත්‍රපට මෙහි ඇතුළත් අතර ශෘති හසන්, ඇන්ඩ්‍රියා ජෙරමියා, ජයරාම්, බොබී සිම්හා වැනි නළු නිළියන් රංගනයෙන් දායක වෙති. පුතම් පුදු කාලෙයි ප්‍රයිම්වීඩියෝ ඔස්සේ නැරඹිය හැකිය.