නරඹන්නට සිතෙන ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක්

දෙසැම්බර් 24, 2020

මේ දවස්වල සිනමා ශාලා වහලා. සිනමා ශාලා වැහුවාට සිනමාව වැහිලා තියෙන්නේ ලංකාවේ විතරයි. හැබැයි මෙරට වුණත් සිනමා ශාලාවලට නොගිහින් චිත්‍රපට නරඹන ඇත්තන්ට නම් ඒ ගැන වගේ වගක් නැහැ. හැම ටෙලිවිෂන් නාළිකාවක්ම චිත්‍රපට පෙන්වනවා. ඒ වගේම අන්තර්ජාල ක්‍රම මඟිනුත් චිත්‍රපට නරඹන අය දැන් වැඩියි. ඉතින් අපේ කල්පනාව මේ දවස්වල ඔබට නරඹන්නට සිතෙන ලෝකයේ ජනප්‍රිය චිත්‍රපට කිහිපයක් ගැන කියන්න.

 

Penguin

ත්‍රාසජනක, මනෝවිද්‍යාත්මක දෙමළ චිත්‍රපටයක් වන පෙන්ගුයින් පසුගිය ජුනි 19 වැනිදා නිකුත් විය. ප්‍රයිම්වීඩියෝ ඔස්සේ නැරඹිය හැකි එය ඊෂ්වර් කාර්තික් විසින් අධ්‍යක්ෂණය කරන ලද අතර කීර්ති සුරේෂ්, ලින්ගා, මාධම්පට්ටි රංගරාජ් සහ මාස්ටර් අද්වයිත් රංගනයෙන් දායක වී ඇත. අභිරහසක් හෙළිදරව් කිරීමට සහ සිය ආදරණීයයන් බේරා ගැනීමට භයානක මෙහෙයුමක් දියත් කරන ගැබිණි මවකගේ කතාවක් එහි ඇතුළත්ය.

Gunjan Saxena: The Kargil Girl

ගුන්ජන් සක්සේනා: ද කාර්ගිල් ගර්ල් යුද කලාපයකට ඇතුළු වූ ඉන්දියාවේ ප්‍රථම ගුවන් හමුදා නිලධාරිනිය වන ගුන්ජන් සක්සේනාගේ චරිතාපදානය ගෙන එන හින්දි චිත්‍රපටයකි. පසුගිය අගෝස්තු 12 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ නිකුත් වූ එහි ජාන්වී කපූර්, පන්කජ් ත්‍රිපාති, අංගද් බෙඩි සහ විනීත් කුමාර් සිං රංගනයෙන් දායක වෙති.

Evil Eye

ඊවිල් අයි ඔක්තෝබර් 13 වැනිදා සිට තිරගත වූ අභිරහස්, ත්‍රාසජනක, මනෝවිද්‍යාත්මක ඉංග්‍රීසි චිත්‍රපටයකි. රජීව් දේසානි සහ එලන් දේසානි විසින් අධ්‍යක්ෂණය කළ එහි‍ සාරිතා චෞද්‍රි, සුනීතා මනි, ඕමාර් මස්කති සහ බර්නාඩ් වයිට් රංගනයෙන් දායක වී ඇත. ප්‍රයිම් වීඩියෝ ඔස්සේ නැරඹිය හැකි එහි කතාව මවක තම දියණියගේ නව පෙම්වතා වසර 30 කට පෙර ඇයව ඝාතනය කිරීමට උත්සාහ කළ මිනිසෙකුගේ පුනරුත්පත්තිය බවට වන විශ්වාසය සමඟ දිගහැරේ.

Sarileru Neekevvaru

අනිල් රවිපුඩි විසින් අධ්‍යක්ෂණය කරන ලද මහේෂ් බාබු, රශ්මිකා මන්දනා, රාජේන්ද්‍ර ප්‍රසාද් සහ විජයශාන්ති රංගනයෙන් දායක වන සාරිලෙරු නීකෙවාරු තෙළිඟු චිත්‍රපටය ජනවාරි 11 වැනිදා නිකුත් විය. ප්‍රයිම් වීඩියෝ ඔස්සේ නැරඹිය හැකි මෙහි කතාව ගෙන තිබෙන්නේ බාහිර තර්ජන වලින් රට ආරක්ෂා කර ගැනීමේ මෙහෙයුමක් පැවරෙන මේජර්වරයකු වටාය.