2020 එහෙත් එහෙමයි

දෙසැම්බර් 31, 2020

2020 මාර්තු 4 වැනිදා, ඩැනියෙල් ක්‍රෙග් රඟන පස්වැනි සහ අවසාන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය, නෝ ටයිම් ටු ඩයි (ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලාවේ විසිපස්වැනි චිත්‍රපටය) තිරගත වන දිනය අප්‍රේල් සිට නොවැම්බර් දක්වා ගෙන යන බව නිවේදනය කරන ලදී. ඉන් සති දෙකකට පසු, එක්සත් ජනපදය පුරා සිනමාහල් වසා දැමුණි. කොවිඩ්-19 වෛරස් වසංගතය මේ වසරේ හොලිවුඩයට මරු පහරක් වූයේ එලෙසිනි.

ගෙවී යන 2020 වසර නිසැකවම අමෙරිකානු සිනමා කර්මාන්තයට මහඟු වසරක් නොවීය. ලොවපුරා සිනමාහල් දින නියමයක් නොමැතිව වසා දමා ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලින් ඈත් කරනු ලැබුණු අතර චිත්‍රපට නිෂ්පාදකයෝ නිර්මාණකරණය නතර කළහ. හොලිවුඩයේ පතාක යෝධයෝ ද ඩොලර් බිලියන ගණනින් පාඩු වින්දහ. වසර ගණනාවක් තිස්සේ ක්‍රම ක්‍රමයෙන් සිදුවනු ඇති බවට අපේක්ෂා කළ චිත්‍රපට විකාශය අන්තර්ජාල ස්ට්‍රීමින් සේවාවට මාරුවීම වැනි වූ තාක්ෂණික පරිණාමයන් විප්ලවාකාරයෙන් වේගවත්ව සිදු විය. චිත්‍රපට කර්මාන්තය දෙදරා යාම නිසා චිත්‍රාගාර පැරණි පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට නව ක්‍රම අත්හදා බැලීම මෙයට හේතු විය. ස්ට්‍රීමින් සේවාවේ පුරෝගාමීන් වූ නෙට්ෆ්ලික්ස් වැනි ආයතනයන්හි ග්‍රාහක සංඛ්‍යාව ඉහල ගිය අතර එසේ ඉහළ ගිය අන්තර්ජාල ග්‍රාහකයන් නිසා යුරෝපීය රටවල අන්තර්ජාල සේවා සපයන්නෝ ද නොයෙක් අපහසුතාවයන්ට පත්වූහ. ද ගාඩියන් සඟරාව පවසන ආකාරයට, වසංගතය ඉදිරියේ හොලිවුඩ් සුපිරිවීරයන්ගේ අධිතාක්ෂණික පියාසර ඇඳුම් කට්ටලත්, මායාබලැති මිටිත් එක සේ අසරණ වූහ.

වසංගතය ක්‍රමයෙන් පාලනය කෙරුණු විගසම, චිත්‍රාගාර කුමන හෝ ලාභයක් අපේක්ෂාවෙන් පැරණි චිත්‍රපට සිනමාහල් පුරා තිරගත කිරීමට කටයුතු යෙදීය. ඩොලර් මිලියන 100 කට වැඩි පිරිවැයක් දැරූ බොහෝ චිත්‍රපට තිරගත කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත. පසුගියදා තිරගත කෙරුණු ක්‍රිස්ටෝපර් නෝලන්ගේ 'ටෙනෙට්' චිත්‍රපටය පළමු දින 5 ඇතුළත ඇ.ඩොලර් මිලියන 20 ක ආදායමක් වාර්තා කළ අතර බලාපොරොත්තු ලාභ අපේක්ෂාවෙන් බිඳක් වුවද එහි නිර්මාණකරුවන් සඳහන් කරන්නේ එය 'සිනමාහල්' ගැන බලාපොරොත්තු නැවතත් දැල්වූ වාර්තාවක් බවයි.

'ජුරාසික් වර්ල්ඩ්: ඩොමීනියන්' චිත්‍රපටය යනු කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් සියල්ල නවතා දැමීමෙන් පසුව නැවත රූගත කිරීම් ආරම්භ කළ පළමු නිෂ්පාදනයයි. ලන්ඩනයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ සිදු කළ එම රූගත කිරීම මිල අධික වූවක් බව පැවසේ. එය ඉලෙක්ට්‍රොනික් උෂ්ණත්ව පරීක්ෂාවන්, දෛනික ආරක්ෂක ක්‍රමවේද සහ නළු නිළියන් සහ කාර්ය මණ්ඩලය සංවිධානය කිරීම සඳහා වර්ණ කේත කරන ලද කලාප වැනි දැඩි හා සූක්ෂම පියවරයන්ගෙන් සමන්විත වී ඇත. ඒ අනුව කාර්ය මණ්ඩලය දුරස් කිරීම සිදු වූයේ දර්ශන තලය විවිධ කලාපවලට බෙදීමෙනි. සෑම පුද්ගලයෙකුම දර්ශනතලයට පැමිණ උෂ්ණත්ව පරීක්ෂණයෙන් අනතුරුව දිනයේ වැඩ වෙනුවෙන් ඔවුන්ට පවරා ඇති කාර්යයට අදාළ වර්ණ කලාපයට යොමු කෙරේ. ඒ අනුව 'හරිත කලාපය' තුළ අවම වශයෙන් 'ඩොමීනියන්' හි ප්‍රධාන නළු සාමාජිකයන්, අධ්‍යක්ෂක සහ නිෂ්පාදකයින් සිටින අතර සාමාන්‍ය චිත්‍රපට දර්ශන තලයක මෙන් (වසංගතයකදී ලබා ගත හැකි තරම් සාමාන්‍ය) ක්‍රියා කිරීමට හැකියාව ඇත. හරිත කලාපයේ සේවය කරන ඕනෑම කෙනෙකු සතියකට තුන් වතාවක් වෛරස් පරීක්ෂාවට ලක් කෙරේ. මොනිටරය වටා රොක්වීම වෙනුවට කැමරාවේ සිදුවන්නේ කුමක්ද යන්න තනි තනිව නිරීක්ෂණය කිරීමට සෑම කෙනෙකුම අත තමන්ගේම අයිපෑඩ් එකක් වේ.

නව සාමාන්‍යයට සැරසෙමින් බොහොමයක් චිත්‍රපට තිරගත කෙරෙන දිනයන් ඉදිරියට ගෙන ගොස් තිබේ. ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය නෝ ටයිම් ටු ඩයි චිත්‍රපටය තිරගත කිරීම 2020 නොවැම්බර් සිට 2021 වසරේ අප්‍රේල් දක්වා ගෙන ගොස් ඇත. 2020 මැයි 01 වැනිදා තිරගත වීමට නියමිතව තිබු බ්ලැක් විඩෝ චිත්‍රපටය ද ලබන වසරේ මැයි මාසය දක්වා කල් දමා ඇත. බැට්මෑන් චිත්‍රපටය 2021 ජුනි 25 සිට 2021 ඔක්තෝබර් 1 දක්වාත් පසුව 2022 මාර්තු 4 දක්වාත් කල් දැමුණි. ජේම්ස් කැමරන්ගේ ඇවටර් 2 චිත්‍රපටය මේ වන විට 2022 දෙසැම්බර් 16 වැනි දින නිකුත් කිරීමට සැලසුම් කර තිබේ. ද මෙට්‍රික්ස් 4 චිත්‍රපටය 2021 මැයි සිට දෙසැම්බර් දක්වා කල් දමා ඇත. ලබන වසරේ ජූලි තිරගත කිරීමට නියමිත වු මිෂන් : ඉම්පොසිබල් 7 චිත්‍රපටය නොවැම්බර් මාසයේදීත් 2022 වසරේ අගෝස්තු තිරගත කිරීමට නියමිත වූ මිෂන් : ඉම්පොසිබල් 8 චිත්‍රපටය නොවැම්බර් මාසයේදීත් තිරගත කරන බව නිවේදනය කර තිබේ.

කෙසේ නමුත් පවතින තත්ත්වය යටතේ හොලිවුඩයේ අනාගතය කෙබඳු වේද යන්න අද විවාදාත්මක කරුණකි. වෝනර් බ්‍රදර්ස් මවු සමාගම වන වෝනර් මීඩියා මේ වන විටත් ප්‍රකාශ කර ඇත්තේ 2021 වසරේ තිරගත වීමට නියමිත ඔවුන්ගේ සියලුම චිත්‍රපට ඩ්ඕර්‍ණර්චය ස්ට්‍රීමින් සේවාව් යටතේ විකාශය කරවන බවයි. චිත්‍රපට නිෂ්පාදක ජේසන් බ්ලම් පවසන ආකාරයට හොලිවුඩ් චිත්‍රපට කර්මාන්තය පැහැදිලි පෙරළියකට ලක්ව තිබේ. එනම් සිනමාහල් යටපත්ව ස්ට්‍රීමින් සේවාවන් ඉහලට ඒමයි. ඔබ්සවර් අන්තර්ජාල සඟරාව පවසන ආකාරයට කොවිඩ් වසංගතය චිත්‍රපට කර්මාන්තය බලාපොරොත්තුව සිටි සුසමාදර්ශී වෙනස වේගවත් කළ උත්ප්‍රේරකයකි.