දිරිය මවකගේ කතාව

ජනවාරි 14, 2021

 

Herself

 

 

නව වසර ඇරඹෙන්නේ බලාපොරොත්තු සහගත හොලිවුඩ් චිත්‍රපට ගණනාවක් කරපින්නාගෙනයි. මේ අතර මාවල් - මෝබියස්, ජේම්ස් බොන්ඩ් - නෝ ටයිම් ටු ඩයි, ක්වයර්ට් ප්ලේස් 2, ලාස්ට් නයිට් ඉන් සෝහෝ, ද ෆ්‍රෙන්ච් දිස්පැච්, මාවල් - බ්ලැක් විඩෝ, ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් 9, ද කන්ජුඅරින් 3, ටොප් ගන් - මවෙරික්, කැන්ඩිමෑන්, ඩූන්, මාවල් - ඉටර්නල්ස්, මාවල් - ස්පයිඩර් මෑන් 3, මිෂන් ඉම්පොසිබල් 7, වෙස්ට් වයිඩ් ස්ටෝරි, සහ මෙට්‍රික්ස් 4 යන චිත්‍රපට පසුගිය වසරේ සිටම හොලිවුඩ් රසිකයන්ගේ, මෙන්ම විචාරක සඟරාවන්හි ද දැඩි අවධානයට පාත්‍ර වූ චිත්‍රපට වේ.

කෙසේ වුවත් අද කතාබහ නම් ඒ ගැන නොවෙයි. නව වසර ඇරඹෙනවාත් සමඟම ඇමේසන් - ප්‍රයිම් හි තිරගත වීම ඇරඹි ආදර්ශවත් කතා පුවතක් රැගත් චිත්‍රපටයක් ගැනයි. මේ චිත්‍රපටයේ නම ‘හර්සේල්ෆ්’. ධෛර්යවත් මවක් ගැන කියවෙන මෙම චිත්‍රපටයට එම නම යෙදී ඇත්තේ ‘ඇය (තමා) විසින්ම’ යන අරුතිනි. සිය සැමියාගෙන් වෙන් වුණු කුඩා දියණියන් දෙදෙනෙකුගේ මවක් වන සැන්ඩ්‍රා ජීවිතය ගැටගහගන්නේ මහත් අපහසුවකිනි. ජීවත්වීමට වහලක් ඉල්ලුම් කරමින් නිවාස අධිකාරියකට කරන ඉල්ලුමක් ප්‍රතික්ෂේප වීමෙන් පසු ධෛර්යවත් සැන්ඩ්‍රා සිය උත්සාහය අත් නොහරියි. කිසිවෙකුගේ අවධානයට ලක් නොවුණු ඉඩමක් සොයා ගන්නා ඇය ඉඩම්හිමියාගේ අවසරය ඇතිව, තමා විසින්ම නිවසක් තැනීම අරඹයි. යහළුවන් සහ හිතවතුන් ඇයට නිවස තනා ගැනීමට උදවු කරයි. සැන්ඩ්‍රා තවත් ඇබැද්දීයකට මුහුණ දෙන්නේ මෙවිටයි. ඇයගේ දරදඬු ස්වාමිපුරුෂයා විසින් සැන්ඩ්‍රාට විරුද්ධව නඩුවක් ගොනු කරනුයේ දරුවන් දෙදෙනා ඔහු වසඟයට ගැනීමටයි. දියණියන් නොමැතිව නිවසක අගයක් නොමැති බව දන්නා සැන්ඩ්‍රා හඬා වැටෙයි. එහෙත් ඇය සිය බලාපොරොත්තු අත් නොහරියි. දරුවන්ද දිනා ගනිමින් නිවසද තනා ගැනීමට සැන්ඩ්‍රා අදිටන් කර ගනියි.

ෆීලිඩා ක්‍රිස්ටියන් ලොයිඩ් (මමා මියා - 2008, ද යන් ලේඩි - 2011) නම් අධ්‍යක්ෂවරිය විසින් නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය - සැන්ඩ්‍රා ලෙස රංගනයේ යෙදෙන්නේ අයිරිෂ් ජාතික වේදිකා නාට්‍ය නිළියක ලෙස ජනප්‍රිය ක්ලෙයා ඩූන්. චිත්‍රපටයේ තිර රචනය කර තිබෙන්නේ ඩූන් සහ මැකොල්ම් කැම්ප්බෙල් විසිනි. ඉලෙමන්ට් පික්චර්ස්, බී,බී.සී. පික්චර්ස් ඇතුළු ආයතන පහක නිෂ්පාදනයක් වන මෙය විනාඩි 97ක් පුරා දිවෙයි. හර්සේල්ෆ්, විචාරකයන්ගේ ඉහළ පැසසුමට ලක් වූ චිත්‍රපටයකි. රොට්න් ටෝමැටෝස් අඩවියේ විචාරකයන් 38 දෙනෙකුගෙන් සියයට 92ක් මෙම චිත්‍රපටය අනුමත කර ඇති අතර, එය දර්ශකයේ ලකුණු 7.1/10 ක් සටහන් කරයි. රොට්න් ටොමැටෝස් හි පොදු විචාරයට අනුව මෙය, “ෆිලිඩා ලොයිඩ්ගේ සංවේදී අධ්‍යක්ෂණයෙන්ද, ක්ලෙයා ඩූන්ගේ දක්ෂ රංගනයෙන්ද ඔපවත් වුණු කාන්තාවකගේ සංවේදී බවත් ශක්තියත් එක ලෙස විද්‍යාමාන කළ චිත්‍රපටයකි.”