Hunter Hunter වඩාත් දරුණු තිරිසනාද? මිනිසාද?

ජනවාරි 21, 2021

සෆ් මෙසෝල්ට් ඔහුගේ බිරිය ඈන් හා දියණිය රෙනේ සමඟ ඈත කැනේඩියානු කඳුකර වනයක ජීවත් වේ. සතුන් දඩයම් කර විකිණීම ඔවුන්ගේ ජීවිකාවයි. දරුණු වෘකයකු විසින් මෙසෝල්ට් පවුල වෙසෙන අඩවියේ සතුන් එකින් එකා දඩයම් කිරීමට පටන් ගැනීම සමඟ පවුලේ ජීවිකාව තර්ජනයට ලක්වේ. වෘකයා දඩයම් කර මරා දැමීම සඳහා ඌ පසුපස හඹා යන ජෝසෆ්හට නොසිතූ යමක් ඇස ගැටේ. එනම් බිලි පූජාවක් ලෙස නිරුවත් කර සැහැසි ලෙස මරා දමන ලද තරුණ කාන්තාවන් ගණනාවකගේ සිරුරුයි. කාන්තාවන්ගේ මරණයන්ට වගකිව යුතු මිනීමරුවා සොයා තනිවම යාමට තීරණය කරන ජෝසෆ් සිය පවුලටද නොදන්වා පිටත්ව යයි. දින කිහිපයක් තිස්සේ ජෝසෆ් නිවෙසට නොපැමිණෙන අතර ඈන් සහ රෙනේට ආහාර සොයා ගැනීම පවා අපහසු වේ. දරුණු ලෙස තුවාල ලැබූ නාඳුනන පුද්ගලයකු මෙසෝල්ට් නිවෙස වෙත පැමිණෙන්නේ මේ අතරවාරයේදීය.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වැනිදා සිට තිරගත වන Hunter Hunter චිත්‍රපටය දිගහැරෙන්නේ මෙලෙසිනි. ශෝන් ලින්ඩන් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටයේ ඩෙවොන් සවා, කැමිල් සලෙවන්, නික් ස්ටාල් ඇතුළු පිරිසක් රංගනයේ යෙදෙති. අයිඑෆ්සී මිඩ්නයිට් ආයතනය විසින් බෙදා හැරෙන මෙම චිත්‍රපටය භීෂණය රැගත් ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස වර්ගීකරණය වී ඇත. Hunter Hunter  විචාරයකයන්ගේ ඉහල පැසසුමට ලක් වූ චිත්‍රපටයකි. රොටෙන් ටොමැටෝස් අඩවියේ මෙම චිත්‍රපටය විචාරකයන් 44 දෙනෙකු ගෙන් 93%ක් අනුමත කර ඇති අතර 6.7/10ක ලකුණු ප්‍රමාණයක් සටහන් කර ඇත. එහි පොදු විචාරය පවසන ආකාරයට මෙම චිත්‍රපටය දරුණු සැහැසි සිදුවීම් ගෙන් ගහණ තදින් සිතට වදින ඉතා සියුම්ව සහ සාවධානව නිර්මාණය කර ඇති චිත්‍රපටයකි. රිචඩ් විටේකර් නම් ප්‍රවීණ විචාරකයාට අනුව මෙම චිත්‍රපටය නව භීෂණ සම්ප්‍රදායට අගනා එකතුවක් වේ. ප්‍රවීණ විචාරක රැන්ඩි මයර්ස් මෙම චිත්‍රපටයේ නිර්මාණකරුවා විසින් වැදගත් ප්‍රශ්නයක් මතු කරන බව පවසයි. එනම් වඩාත් දරුණු තිරිසනාද ? මිනිසාද ? යන්නයි.