එන්න චිත්‍රපට බලමු

සැප්තැම්බර් 16, 2021

 

THE WHITE TIGER

තම ව්‍යාපාරික අත්දැකීම් පිළබඳ පවසන්නට ඉන්දියාවේ තරුණ වයාපාරිකයකු වන බල්රාම් හල්වයිට ආරාධනාවක් ලැබෙන්නේ චීනයෙන්. මේ මොහොත තමා ගැනම සිහිපත් කරන්නට ඔහුට අවස්ථාවක් ලැබෙනවා. ඔහු ඉතා දුෂ්කර පළාතක වෙසෙන ඉගෙනුමට සමත් කොලුගැටයෙක්. ඔහු අයත්වනුයේ ඉන්දියානු සම්මතය අනුව කුලහීන පවුලකට. ඉගෙනුමෙහි සමත්වුවත් ලද ශිෂ්‍යත්වය ද අහිමි වන ඔහු පැසලෙන් ඉවත්ව වංශවත් පවුලක රියැදුරෙක් ලෙස ජීවිතය ආරම්භ කරනවා. පවුලේ සියල්ල සිය කුලය හා තත්ත්වය ගැන සලකා බලද්දී අමෙරිකාවේ සිට පැමිණෙන පවුලේ බාල පුත්‍රයා හා ඔහුගේ පෙම්වතිය ඒ ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ. මිනිසකුගේ ජීවිතය තුළ අතීතය මකා දමන්නට හැකිද, කාට හෝ හෙළි නොවුණ ද මේ අතීතය වරින්වර තම සිතෙහි ඉස්මතු වන බව අප දන්නා කරුණක්. හඳුන්වාදෙන ආදර්ශ් ගෞරව්. මෙන්ම ප්‍රියංකා චොප්රා, රාජ් කුමාර් රාඕ, මහේෂ් මංජෙර්කාර් ආදින් චරිත මවන ද වයිට් ටයිගර් ඉංග්‍රිසි බසින් නිර්මාණය කරන ලද්දේ අමෙරිකාවේ වෙසෙන ඉරාන සිනමාකරුවකු වන රමීන් බහ්රානි විසින්.

VARANE AVASHYAMUND

නීනා නර්තනයේ දක්ෂ, තාරුණ්‍යය ඉක්මවා යමින් සිටින එක්දරු මවක්. ප්‍රංශ භාෂාව ඉගැන්වීම ඇයගේ වෘත්තියයි. ඇය ජීවත්වනුයේ යොවුන් වියට එළැඹෙමින් සිටින දියණිය සමඟයි. නීනාගේ එකම සිහිනය හොඳ තරුණයෙකුට දියණිය විවාහ කරදීමයි. ඔවුන් ජීවත්ව සිටන නිවාස සංකීර්ණයට තවත් මලයාලම් ජාතික තරුණයෙකු පැමිණෙනවා. එහෙත් ඔවුන්ගේ ජීවිත වෙනස් වනුයේ විශ්‍රාමික හමුදා නිලධාරියකු මේ නිවාස සංකීර්ණයට පදිංචියට පැමිණි පසුවයි. මේ හමුදා නිලධාරියා කිව්වොත් කිව්වා ජාතියේ නාහෙට අහන්නේ නැති මිනිහෙක්. සම්මානනීය රංගවේදිනී සෝභනා සමඟ දුල්කර් සල්මන්සු, රේෂ් ගෝපි ආදි මලයාලම් සිනමාවේ යුග ගණනක නළු නිළි එකතුවකින් සැදුණ මේ චිත්‍රපටය අපූරු ගීත නිර්මාණ කිහිපයකින් ද යුක්තයි. අනූප් සත්‍යන් මේ චිත්‍රපටය නිර්මාණය කළා.

 

KURUTHU

මලයාලම් සිනමාවට කැමැති අපේ හිතවතුන්ට ප්‍රිතිවිරාජ් සුකුමාරන් රඟන මේ චිත්‍රපටය කදිම චිත්‍රපටයක් යැයි අප හිතනවා. ඊබ්‍රාහිම් වෙසෙන්නේ කඳුකරයේ හුදෙකලා නිවෙසක ඔහුගේ පියාත්, සොහොයුරාත් සමඟ. ඔහුගේ භාර්යාවත් දියණියත් නායයෑමකට හසුව මිය ගිහින්. එහු ඒ අතීතය වළදාලා අවසානයි. එක් රාත්‍රියක තුවාල ලැබූ පොලිස් නිලධාරියකු අත් අඩංගුවට ගත් තරුණයකු සමඟ නිවෙසට කඩා වදිනවා. ඔහු සමඟ සිටින තරුණයා මුස්ලිම් මිනිසකු මරා දමලා. එහෙත් තව මොහොතකින් තවත් මිනිසෙකු නිවෙසට කඩා වදිනවා. අපි ජීවිතයේ දී භීෂණය හමුවේ ක්‍රියා කරන්නේ කොහොමද? අපේ ආත්මාර්ථය, පාවාදීම හා ආරක්ෂා වීම කොහොමද? ප්‍රතිවිරජ් සමඟ රොස්නා මැතිව්, මාමුකොයා, ආදානි චරිත මවන මෙය මනු වාරියර්ගේ නිර්මාණයක්.

NAYAKAN

 

මනිරත්නම් විසින් නිර්මාණය කරන ලද චිත්‍රපට අතර ඔහු ඉහළින්ම ඔසවා තැබීම ආරම්භ වූ 1987 වසරේ තැනුණු මෙම දෙමළ චිත්‍රපටය තවමත් ඉතා ඉහළින් අගය කළ හැකි කෘතියක්. තමිල්නාඩුවේ ඉපිද බොම්බායේ නැතහොත් වර්තමාන මුම්බායිහි පාතාල රජෙක් වූ වර්ධරාජා මුඩ්ලියර්ගේ ජීවිත කතාව ඇසුරෙන් මනිරත්නම් තැනූ මේ විශිෂ්ට චිත්‍රපටය පුරා කමල්හසන්ගේ අපූර්ව රංග ප්‍රතිභාව ඉතිරි යනවා. එමෙන්ම පාතාල ලෝකයේ මිනිසකු වටා වුවත් ඔහු හා බැදුණු වගකීම්, සමාජ අරගලය, ආදි සියලු කරුණු සිනමාකරු ඉතා සූක්ෂ්මව තිරයට ගෙනාවා. ජනකරාජ්, සරණ්‍යා, කාර්තිකා, විජයන්, දිල්ලි ගනේෂ්, නිලන්ගල් රවී, නසාර්, එම්.වී.වාසුදේවන් රාඕ ඇතුළු නළු නිළියන් රැසක් නායකන් චිත්‍රපටයට දායක වුණ සෙසු නළු නිළියන්. ඉලයරාජාගේ සංගීතය මේ චිත්‍රපටයේ තවමත් සිහිවටනයක්.

A DOG'S JOURNEY

 

බිග් බෝයි කියන්නේ ගෙදර ඇති කළ දඩෝරියෙක්. එයාගේ අවසාන මොහොතේ හිස අතගාන හාම්පුතා පවසන්නේ මෙයට දවස් කිහිපයකට කලින් තම ලේලිය විසින් රැගෙන ගිය සිය පුංචි මිණිබිරියට ආරක්ෂාව ලබා දෙන ලෙසයි. ඉතින් මේ සුරතලා ආත්මයක් ගණනේ සිය හාම්පුතාගේ ඉල්ලීම ඉටු කරනවා. සාමාන්‍යයෙන් හොලිවුඩ් චිත්‍රපටයක දකින්නට නොලැබෙන අපූරු තේමාවක් රැගත් මේ චිත්‍රපටය බව්වන්ට ආදරය කරන හැමෝම නරඹන්න කැමැති චිත්‍රපටයක්. පොඩි හින්දි ගතියක් නැත්තේම නැහැ. හැබැයි හරි අපූරු චිත්‍රපටයක්. මාර්ග් හෙල්ගන්බර්ග්, ඩෙනිස් ක්වාඩ්, බෙටී ගිප්ලින් වැනි නළු නිළියන් රැසක් රඟන මේ චිත්‍රපටය ස්පිල්බර්ග්ගේ ඇම්බ්ලින් එන්ටර්ටේන්මන්ට්ස් හා අනිල් අම්බානිගේ රිලයන්ස් එන්ටර්ටේන්මන්ට්ස් නිෂ්පාදනයක්. අධ්‍යක්ෂණය ගේල් මන්කුසෝගෙන්.

I AM MOTHER

දරු සෙනහස යනු කවරක්ද? එයට සිත්පිත් තිබෙනවාද? එකෝමත් එක කාලයක දවසක එක් අපූරු දැරියක උපත ලබන්නේ මව්කුසක නොව විද්‍යාගාරයක. ඇගේ මව රොබෝවරියක්. එහෙත් මේ දියණිය සාමාන්‍ය මනුෂ්‍ය දැරියක්. ඇය දිනෙන් දින වැඩෙද්දී අහලක පහලක තමාවැනි කිසිවෙක් හෝ නොමැති බව වටහා ගන්නවා. අපට සිංහබාහු වැනි පුරාවෘත්තයක් සිහියට නැගෙන්නත් පුළුවන්. ඕස්ට්‍රේලියාවෙන් දොරට වැඩි අපූරු විද්‍යා ප්‍රබන්ධය මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන්නක් බඳුයි. ක්ලාරා රුගාර්ඩ්, ලොයිඩ් ග්‍රීන්, හිලරි ස්වැන්ක් ආදින් රඟන මෙය ග්‍රාන්ට් ස්පුටොරේ අධ්‍යක්ෂණය කළ නිර්මාණයක්.

INSTINCT

ඇකඩමි සම්මාන උලෙළේ හොඳම විදේශ භාෂා චිත්‍රපටය සඳහා නෙදර්ලන්ත නියෝජනය වූ ඉන්ස්ටින්කට් චිත්‍රපටයට පාදක වනුයේ බන්ධනාගාරයක සේවයට පැමිණෙන භෞත චිකිත්සකවරියක හා ඇයගේ ප්‍රේමයට ගොදුරු වන තරුණයකු පිළිබඳ අපූරු වෘත්තාන්තයක්. ඇකඩමි සම්මාන උලෙළේ නාමයෝජනා නොදිනුව ද ලොව පිළිගත් සිනමා උත්සව රැසකට තෝරා ගත් මේ චිත්‍රපටය හැලිනා රෙයින්ගේ අධ්‍යක්ෂණයක්.

SOORARAI POTTRU

මිනිසුන් මවන සිහිනවලට සීමාවන් නැහැ. ඔවුන් සිහින දිනන්නට නම් ඒ සඳහා කළ යුතු කැපවීම් අනන්තයි. එවිට හමුවන බාධා අනන්තයි. අසීමිතයි. එහෙත් උත්සාහවන්තයා එහෙම කෙනෙක්. දකුණු ඉන්දියාවේ දුෂ්කර ගම්මානයක විදුහල්පතිවරයෙක් වන මාරාගේ එකම සිහිනය ගුවන්යානා පැදවීම. එපමණක් නොව තම ගම්මානයේ වෙසෙන ජීවිතයේ කිසි කලෙක අහසින් නොගිය දිළිඳු මිනිසුන්ට ද ඒ අවස්ථාව ලබා දීම. සෙල්ලමක් නොවේ. අහස අරක් ගත් ඇතැම් මිනිසුන් මේ පුංචි මනිසාගේ සිහිනයට බාධා කරනුයේ හිත් පිත් නැති ආකාරයට. වරක් එබන්දෙක් මේ සිහින දකින්නා ගුවනේදීම ආපසු හරවා යානයෙන් එළියට දමන්නේ ප්‍රවේශ පත්‍රය ඔහුගේ වුවත් ගුවන්යානය තමන්ගේ බැව් පවසමින්. එහෙත් එයින් මාරා පසුබසින්නෙකු නොවේ. ඔහු වෑයම් කරනුයේ ගුවන්යානා සමාගම්වලට අභියෝග කරන්නට නොවේ. ඉන්දියාවේ හතර වටේ දුවන දුම්රිය සේවය මෙන් පොදු මිනිසාගේ ගුවන් යානා හදන්න. සත්‍ය කතාවක් පසුබිම් කරගත් මේ අපූරු සිනමා කෘතිය සත්‍යා, පරේෂ් රාවල්, අපර්ණා බාලමුරලි ආදින්ගේ රංගනයෙන් ඔපවත් වෙනවා. දකුණු ඉන්දියාවේ තරුණ සිනමාවේදිනියක වන සුධා කොංගර ප්‍රසාද් නිර්මාණය කළ මේ චිත්‍රපටය උත්සාහවන්ත මිනිසකුට කළ විශාල ගෞරවයක්.

SARBJIT

මිනිසුනගේ දෛවය ඒක් සැණින් වෙනස් වනුයේ සමහරුන්ට යහපත් අන්දමට. සමහරුන්ට එක් මොහොතකින් මුළු ජීවිතයමම අපායක් බවට පත්වෙනවා. ඉන්දියානු පාකිස්තාන සීමාවේ වෙසෙන පංජාබ් ජාතික තරුණයකු වන සර්බජිත් සිංටත් සිදුවන්නේ එබඳු ව්‍යසනයකට මුහුණ දෙන්නට. හීන් අඩියක් ගසන්නට ගෙයින් පිටව යන ඔහු වැරැදීමකින් මේ දේශසීමාව පසු කරනවා. එයින් ඔහු පාකිස්තානයේ අත්අඩංගුවට පත්වනුයේ ඉන්දියානු ඔත්තු කරුවකු හැටියට චෝදනා කරමින්. ඔහුගේ සොහොයුරිය දල්බීර් ඇගේ සැමියාගෙන් වෙන් ජීවත් වූයේත් ඔවුන් සමඟ. ඇය පෙහෙ කම්හලක සේවය කරමින් පවුල ජීවත් කරවන්න මුදල් සොයා ගත්තා. එහත් හදිසියේ සිදු වූ සොයුරා අමාරුවේ වැටීම ඇයට දරා ඉන්නට බැහැ. එබැවින් ඇය තම සොයුරාගේ නිදහස පතා පාකිස්තානය සමඟ සටන් වදිනවා. පොඩි පහේ කාලයක් නොවේ. වසර විසි දෙකක්. මෙහි අයිශ්වර්යා රායිගේ රඟපෑම විශිෂ්ටයි. හැබැයි වෙනත් චිත්‍රපටවල අප දකින සුරුපි අයිශ්වර්යාට කැමැති නම් හෝ ඇය දෙස බලා රූපයට ආදරය කරන්නට නම් සර්බජිත් නරඹන්නට එපා. රන්දීප් හූදා, රිචා චද්දා, අන්කූර් භාතියා දින් චරිත මවන සර්බ්ජිත් ඔමන්ග් කුමාරගේ අධ්‍යක්ෂනයක්.

ONE

 

කදක්කාල් චන්ද්‍රන් කරණෑවෑමියකුගේ පුතෙක්. හොඳීන් අධ්‍යාපනය ලැබුවෙක්. ඔහු කේරළයේ මහා ඇමැති පදවියට පත්වෙනවා. හැබැයි දේශපාලනයට අරක්ගත් තමන්ගේම සෙසු මන්ත්‍රිවරුන්ගේ මෙන්ම ඇතැම් රැඩිකල් ක්‍රියාකාරිකයන්ගේත් සම්ප්‍රදායිකව රට පුරුදුව සිටින සිස්ටම් එකෙනෙුත් ඔහුට මහත්මා ගාන්ධි විසින් ගොඩ නඟන්නට වැර දැරූ ස්වර්ග රාජ්‍යය ගොඩ නඟන්නට හැකි වෙනවාද? මම්මුති, මුරලි ගෝපි, ජෝ ගු ජෝර්ජ්, සිද්දික්, මැතිව් තෝමස් ආදින් චරිත මවන මේ මලයාලම් චිත්‍රපටය සන්තෝශ් විශ්වනාත් විසින් නිර්මාණය කරන ලද්දක්.