චිත්‍රපට හදා දුක් විඳීම ගැන අපිට උපාධියක් තියෙනවා...

නවසීලන්තයේදී සිනමා සන්නිය වැළඳී ලංකාවේදී 'කොළඹ සන්නිය Retuns නිපැයූ ෂර්මාල් ඩිල්ෂාන්
දෙසැම්බර් 6, 2018

ෂර්මාල් ඩිල්ෂාන් නවසීලන්තයට යන්නේ 2009 කාලයේදීය. ඔහුගේ අරමුණ වූයේ උසස් අධ්‍යාපනය හැදෑරීමයි. මොරටුවේ ඉපදී ශාන්ත සෙබස්තියන් විදුහලෙන් අකුරු කළ ෂර්මාල් හට සිනමාව සම්බන්දයෙන් කිසිම පවුල් පසුබිමක් තිබුනේ නැත. නවසීලන්තයේදී ඔහුගේ කුළුපඟ මිත්‍රයා වූයේ සහන් අබේවර්ධනයි. ඔවුන්ගේ මිත්‍රකම් වැඩෙද්දී ඔවුන්ගේ අවධානය යොමුවන්නේ ලංකාවේදී චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමටයි. එහෙත් ඔවුන් සිටියේ නවසීලන්තයේයි.

අද වෙත්දී ඔවුන් මනික් සන්ද්‍රසාගරයන් අධ්‍යක්ෂණය කළ 1976 දි තිරගත කළ 'කොළඹ සන්නිය' චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කොට ඇත. ඒ අදය. නමුත් ෂර්මාල් හා සහන් ගේ එකතුවෙන් නිපැයූ පළමු චිත්‍රපටය කොළඹ සන්නිය අඡ්ඊඋඅව්ඉ නොවේ. මින් පෙර නිපැයූ 'ඩොක්ටර් නවරියන්' චිත්‍රපටයත් ලබන වසරේ තිරගත කිරීමට නියමිත 'ෆේස් ටු ෆේස්' චිත්‍රපට දෙකත් ෂර්මාල් සහන් දායකත්වය දුන් ඒවාය. ඔහුගේ සගයා නවසීලන්තයේ වෙසෙද්දී ෂර්මාල් රැකියාව ලෙස කරන්නේ චිත්‍රපට සමඟ ළඟින් ආශ්‍රය කිරීමයි. ශ්‍රි ලංකා ටෙලිකොම් ර්‍ථඡ්ර්‍ණ ඊඍ හි චිත්‍රපට කළමනාකරණය සම්බන්ධයෙන් වගකීමක් දරමින්ද සිය අවධානය චිත්‍රපට නිෂ්පාදනයට දෙමින්ද ඔහු කාලය ගත කරයි. ඔහුගේ සිනමා සම්ප්‍රාප්තියේ කාලය කෙටි එකක් වුවද ඒ සම්බන්දයෙන් කතා කළ යුතු දේ බොහෝය. ඒ අනුව ඔහු සරසවියට සම්මුඛ වූයේ ඒ සම්බන්දයෙන් වන අත්දැකීම බෙදා ගන්නටය.

 ෂර්මාල්, කොහොමද මේ දවස් ගෙවෙන්නේ?

කොළඹ සන්නිය රිටර්න්ස් නිසා කාර්ය බහුලයි. චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාරය දිනෙන් දින ඉහළ යන නිසා ප්‍රචාරණ කටයුතු වලට වැඩි බරක් යොදලා තිබෙනවා.

කොළඹ සන්නිය ප්‍රතිනිර්මාණය කරන්න ඔබ හිතුවේ ඇයි?

කොළඹ සන්නිය කියන්නේ මම ඉතාම කැමති චිත්‍රපටයක්. ඩොක්ටර් නවරියන් නිෂ්පාදනය කළාට පස්සේ අපි හිතුවා වෙනස් හැඩයක වැඩකට අත ගහන්න. එතැනදී අපි බැලුවේ පවුලේ සැමට චිත්‍රපටයක් දෙනවාත් එක්කම පොඩි ළමයාටත් හිනා වෙන්න පුළුවන් චිත්‍රපටයක් හදන්නේ කොහොමද කියන එක ගැන. එතැනදී අපි කල්පනා කළා කොළඹ සන්නිය කියන අපි ආදරය කරන නිර්මාණය මේ කාර්යයට හරි යාවි කියලා. ඊට පස්සේ හර්ෂ උඩකන්ද කොළඹ සන්නිය රිටර්න්ස් අධ්‍යක්ෂණය කළා. අපේ තව මිත්‍රයෙක් නිෂ්පාදනයට හවුල් වුනා.

ඒ නම එලෙසම භාවිතා කිරීමේදී ගැටළුවක් වුනේ නැද්ද?

නැහැ. ඒකට හේතුව තමයි චිත්‍රපට සංස්ථාවේ නාමාවලිය අනුව කොළඹ සන්නිය චිත්‍රපටය ලේඛන ගත වී තිබෙන්නේ කොළඹ සන්නිය - කමින් ස්වීට් කියලා. අපේ චිත්‍රපටය අපි නම් කලේ කොළඹ සන්නිය රිටර්න්ස් කියලා. ඒක නිසා ගැටළුවක් නැහැ.

හොඳයි. නවසීලන්තයේ අධ්‍යාපනය ලබන කාලයේ කොහොමද සිනමාවට අවධානය යොමු වුනේ?

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර මම අධ්‍යාපනය ලබන කාලේ මගේ මිත්‍රයා වුනේ සහන් අබේවර්ධන. විවේක වෙලාවල් වල අපි දෙන්නා නිතරම කරන්නේ චිත්‍රපට නරඹන එක. එහෙම නරඹලා අපි කතා කරනවා මේ වගේ චිත්‍රපට ඇයි ලංකාවේදී කරන්න බැරි කියලා. චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න ඕනෑ කියලා සිතුවිල්ල එන්නේ එහෙම.

ඔබලා ඉන්නේ චිත්‍රපට නිෂ්පාදනය කිරීම කියන්නේ හොඳ ආයෝජන අවස්ථාවක් කියන තැන ද?

අපි එහෙම තැනක හිටියෙත් නැහැ. හැබැයි අපි ලංකාවේ චිත්‍රපට නිෂ්පාදනය කිරීම ගැන මහා ලොකු දේවල් දැනන් හිටියෙත් නැහැ. කලාත්මක සිනමාව ගැන අපිට දැනුම අඩුයි. ඒ නිසා වාණිජ මට්ටමේ යමක් කරන්න අපි හිතුවා.අපිට ආයෝජනය කරන්න මීට වඩා ලොකු අවස්ථාවල් අදහස් තිබුනා. නමුත් අපිට සිනමාවෙන් ගැලවෙන්න බැරි වුනා.

ඔබ සහ සහන් ගත්තේ ලොකු අවධානමක්?

ඔව්. ඇත්ත. අපි ඩොක්ටර් නවරියන් රූප ගත කරන්න පටන් ගත්තේ 2013 දි. ඊට පොඩි කාලෙකට කළින් තමයි මම ලංකාවට ආවේ. එදා ඉඳන් මම ලංකාවේ මේ වැඩ ගැන ලබපු අත්දැකීම් විශාලයි.

ඒ වගේම මම දැනගත්තා මේ ටික කාලෙට අපිට ඉන්නේ අපි විතරයි කියලා.

ඇයි එහෙම කියන්නේ?

අපේ සිනමාව කියන්නේ කිසිම විනයක් නැති තැනක්. බොහෝ අය බොහෝ වේලාවට කරන්නේ අපි වගේ අලුත් අයට කපන්න වලි කන එක. අපිව රවට්ටන්න හදපු බොහෝ දෙනා හිටියා. ඒ වගේම කේලාම් කියලා සහන්ගෙයි මගෙයි මිත්‍රත්වය කඩන්න බොහෝ අය උත්සහා කළා. නමුත් ඒවා සාර්ථක වුනේ නැහැ. අපිට හිටියේ අපි විතරයි. සියල්ල තනියෙන් ඉගෙන ගෙන යම් තාක් දුරකට මේ සිනමාව කළකිරීමක් නැතුව කරගෙන යනවා.

ඔබ සිනමාවෙන් ඉදිරියට යන්න ගිහින් හොඳ පාඩම් ඉගෙන ගෙන වගෙයි?

ඇත්ත. අපි ඉගෙන ගත්ත ලොකුම පාඩම තමයි මිනිස්සුන්ව විශ්වාස කරන්න අමාරුයි කියන එක. ඒ වගේම යම් යම් තැන් වල අපි වරද්දාගන්නා දේවල් අවම කරගෙන යනවා. අපි දැනට කරන්නේ ඒක. හැබැයි මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලම අපි ලංකාවේ චිත්‍රපට හැදිල්ල ගැන උපාධියක් තරමටම ඉගෙන ගෙන තියෙන්නේ.

ඔබ දැනට චිත්‍රපට 3 කට ආයෝජනය කළා. වැඩිම බලාපොරොත්තු තියෙන්නේ මොන චිත්‍රපටයටද?

මම හිතන්නේ එන වසරේ එන්න නියමිත ෆේස් ටු ෆේස් චිත්‍රපටයට.

හොඳයි, කොළඹ සන්නිය යම් කිසි මට්ටමකින් විචාරයට තුඩු දෙනවට ඔබ කැමතිද?

ඒක මට ගැටළුවක් නෙවෙයි. කොළඹ සන්නිය චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කරන්න තීරණය කරනකොට අපි හිතුවේ මුල් චිත්‍රපටයේ අනුසාරය ගන්නවා විනා ඒ ආකාරයේම එකක් නිර්මාණය කිරීම නෙවෙයි. අපි මේ සම්බන්ධයෙන් අවසර ගන්න තිස්ස නාගොඩවිතාන මහත්මයා ළඟට යද්දී ඔහු කිව්වා කොළඹ සන්නිය අධ්‍යක්ෂණය කරන්න තවත් අධ්‍යක්ෂක වරු සුදානමින් ඉන්න බව. ඒ සඳහා පිටපත් 4ක් පමණ එතුමාට ලැබිලා තිබුනා. නමුත් එතුමා අවසර දුන්නේ අපට. අපි හිතනවා ඒ අනුසාරයෙන් කරපු වැඩේ යම් සාර්ථකත්වයක් ඇති කියලා. කෙනෙක් අපේ නිර්මාණය විචාරයට බඳුන් කරනවානම් අපේ වයස, අත්දැකීම් වගේ අනවශ්‍යය දේවල් වල එල්ලෙන්නේ නැතුව නිර්මාණයට විචාරය කරනවානම් තමයි හොඳ.

ඔහුට යන්නට දුර ගමනක් තිබේ. එන්නට චිත්‍රපටයක් 'ෆේස් ටු ෆේස්' නමින් තිබේ. ඔහුට සහ සහන්ට සරසවියේ සුබ පැතුම්..!

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.