මේ ප්‍රමිතිය අනර්ථයකි

දෙසැම්බර් 7, 2018

යාළු මාළු යාළු - 2

සිනමාවේ වැඩිහිටි කේන්ද්‍රීය ස්වරූපය හා ස්වභාවය ලොව පුරාම දැක ගත හැක්කකි. සත්තකින්ම සිනමාව වැඩිහිටි කේන්ද්‍රීය වන්නේ පුරුෂ මූලික පිවිසුම් ඔස්්සේ. කෙසේ නමුදු මෙතනදී වඩාත්ම අගතියට පත් වන පාර්ශ්ව සම්බන්ධයෙන් තවදුරටත් සැලකිලිමත් වීම විචාර පාර්ශ්ව සතු වගකීමකි. එම වගකීම දරන්නට විචාර පාර්ශ්ව කවර මට්ටමකින් සූදානම් ද යන ප්‍රශ්න සම්බන්ධයෙන් පවතින්නේ අපැහැදිලි බවක්ය යන්න රහසක් නොවේ.

යට කී පරිදි අගතියට පත් වන එක් පාර්ශ්වයක් වන්නේ ළමයින්ය. එය ළමයින් උදෙසා වන සිනමාපට සම්බන්ධයෙන් මතු වන එකඟතා හා පරස්පරතා ආශ්‍රිතව දැකගත හැකි වේ. ළමා පරපුර උදෙසාම නිර්මිත සිනමා පට සේම ළමයින්ගේ සහභාගීත්වය අපේක්ෂිත සිනමාපට යනුවෙන් එම සිනමාපට විශේෂය නිශ්චය කර ගත හැකි ආකාර පවතින වග පැහැදිලිය.

ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කළ 'යාළු මාළු යාළු - 2' නිශ්චය කළ හැක්කේ ඉන් කවර මාදිලියේ සිනමාපටයක් ලෙසින් ද යන්න වටහා ගැනීම කිසිසේත්ම අසීරු නැත. ඒ අනුව 'යාළු මාළු යාළු' යනු ළමුනගේ ද සහභාගීත්වය අපේක්ෂාවෙන් නිර්මිත සරල විනෝදාස්වාදයකට ඉඩ හසර සලසන සිනමාපටයක් සේ පෙනේ. සිනමාවේ සුරක්ෂිත බව හා පැවැත්ම වෙනුවෙන් සාක්ෂාත් කර ගත යුතු ප්‍රමුඛතම කාරණයක් වන්නේ විවිධත්වයයි. ලාල් ප්‍රියදේවගේ 'යාළු මාළු යාළු' විවිධත්වය යන අභිලාෂය සමඟ වක්‍ර සබඳතා පවත්වන අයුරු දිස් වේ.

ළමයින්ගේ ආකර්ෂණය නොවලහා දිනා ගත හැකි ආකාරයේ කතා පුවතක් සරි කර ගන්නට ලාල් මුල් වටයේදීම සූදානම් වෙයි. එක අතකට ඒ අතිශය සුලබ පුවතකි. එහෙත් ඉන් ළමා ප්‍රේක්ෂකයා වෙහෙසට පත් වේ යැයි කියා කල්පනා කිරීම සහේතුක නොවේ. අතිශය සුලබ කතා පුවතක් වුව ළමුනගේ ආකර්ෂණයට ලක් වන අන්දමින් සිනමාවට නැඟීමේ අත්දැකීම් සිනමා ප්‍රේක්ෂකයකට නොලැබෙන්නේ යැයි පැවසීම තර්කානුකූල නොවේ.

පොදු එකඟතාවක් වන්නේ ළමයින් උදෙසාම වන සිනමාපට හෝ ළමුනගේ සහභාගීත්වය අපේක්ෂිත සිනමාපට සංකීර්ණ මුහුණුවරකින් සමන්විත නොකිරීම වඩා වැදගත්ය යන්නය. එහෙත් ඒ සියල්ල හෝ බොහෝ දේ සඟවා තබන කෛරාටික පිළිවෙතක් නම් නොවේ. ලෝකයේ හෝ ලාංකේය කලාපයේ මුල් පෙළේ ළමා සිනමාපට ප්‍රති විවරණයකදී උක්ත කාරණය පිළිබඳ විශ්වසනීයත්වයක් ඇති කර ගත හැකිය.

ලාල්, 'යාළු මාළු යාළු - 2' හිදී ත්‍රාසය, භීතිය හා ළෙන්ගතුකම යන මාතෘකා මත පාදක වූ කතා පුවතක් සරි කර ගන්නේ එක්තරා අන්දමකින් සිය ළමා ප්‍රේක්ෂකයනට නව්‍යතාවක් ළඟා කරලීමේ ද අටියෙනි. ඇත්ත වශයෙන්ම එහිලා ඔහු තරග කරන්නේ එහි එන පෙරදී ද කී සුලබ ලක්ෂණ සමඟිනි. ලාල් සිනමා අධ්‍යක්ෂණයට නවකයකු නොවේ. මෑතකාලීන විනෝදාත්මක සිනමාව විෂයෙහි ලාල් මුල් පෙළට නොපැමිණි වග සත්‍යයකි. එනමුත් සිනමා අධ්‍යක්ෂණයෙහි නිරතුරුවම නියැලීමෙන් උපයා ගන්නා අවබෝධයක් ඔහු තුළ නොපවතින්නේ යැයි සිතීම උගහටය.

මුහුදුබඩ පිටිසර ගමක සිදුවන නීති විරෝධී කටයුත්තක් අතටම අල්ලා ගන්නේ නගරයේ සිට එහි එන කුඩා දරුවෙකි. ඒ ඩොල්පින් මත්ස්‍ය ජාවාරමකි. අවසන ජාවාරම්කාර නායකයා විසින් මහ මුහුදට තල්ලු කර දැමෙන අර වීර දරුවා බේරා ගනු පිණිස ඉදිරිපත් වන්නේ ඩොල්පින් මත්ස්‍යයෙකි. මේ පුවතට රහස් තිප්පොලක්, හොල්මන් අවතාර කතා, සානුකම්පිත වෛද්‍යවරියකගේ බලාපොරොත්තු, ගුටි බැට හුවමාරු, හාස්‍ය දනවන අවස්ථා මෙන්ම පුංචි පහේ පෙම් පුවතක් ද එක් කොට තිබේ. සිනමාපටය දිග හැරෙන්නේ ක්‍රමිකවය. ළමයින් එම ආකෘතිය ප්‍රශ්න නොකරන තාක් කල් ලාල් අර්ධ වශයෙන් හෝ නිරුපද්‍රිත බව පෙනේ.

කෙසේ නමුදු 'යාළු මාළු යාළු - 2 ' ළමුනගේ සහභාගීත්වය තීව්‍ර කරලන විනෝදාස්වාදය සලසන අංග සහිත මුල්පෙළේ සිනමාපටයක් ද යන්න වහා පිළිතුරු සැපයිය හැකි ප්‍රශ්නයකි. ඒ ධානත්මක පිළිතුරක් නොවේ. නිර්මාපක පාර්ශ්ව දුර්මුඛ කරලන පිළිතුරකි. සිනමා අධ්‍යක්ෂණයට නවකයකු නොවූ නිසා ලාල් මෙතැනදී මුහුණ දෙන්නේ ස්වකීය සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ අභියෝගයකටය. තවදුරටත් ඔහු සිනමාපටයේ ප්‍රමිතිය, නිවැරැදි ප්‍රමිතිය සේ සලකන්නේ නම් සිදු වන්නේ අනර්ථයකි. මෙබඳු සිනමාපට සඳහා අද සංයුක්ත තැටි වෙළෙඳ පොළක් ද විවෘතව පවතී. ඇරත් රූපවාහිනී නාළිකා නිතිපතා විකාශය කරන බොහෝ ලාංකේය සිනමාපට විෂයෙහි 'යාළු මාළු යාළු' ආගන්තුක ලක්ෂණ එහෙමටම නොපෙන්වන බව සැබෑය.

'යාළු මාළු යාළු - 2' හි එම ඉරණමට තුඩු දෙන හේතු විමර්ශනය නිසරු හා අනවශ්‍ය ප්‍රයත්නයක් සේ හඳුන්වා දෙන්නට ද ඉඩ තිබේ. එහෙත් සිනමාවේ විවිධත්වය වෙනුවෙන් එබඳු විමර්ශනයක ඇති අවශ්‍යතාව යටපත් නොකළ යුතු බව විශේෂයෙන් කිව යුතුය.

යට කී හේතු සතරකි.

පළමුවැන්න නිශ්චිත තිර නාටකයක් සාක්ෂාත් කර ගැනීමට අදාළව ලාල් දැක් වූ අවම සැලකිල්ලය. තිරනාටක රචකයා ද ලාල් වන කල්හි එහි බරපතලකම සැඟවීම කිසිසේත්ම පහසු නොවේ. කොහොමත් තිර නාටකයේ මට්ටම සම්බන්ධයෙන් වගකිව යුතු පළමුවැන්නා වන්නේ ලාල්ය. පාදක වන පුවත තුළ වඩා වැදගත් වන්නේ චරිත නොව සිදුවීම්ය යන්න තිර නාටකයේ අවධානයට ලක් විය යුතුම කාරණයක් වේ. සිදුවීම් අතර මනා සබඳතාවක් තිබුණේ නම් නියත වශයෙන්ම පෙරට එන්නේ විශ්වසනීයත්වයට හානි නොකරන කොන්දේසිය. ළමා ප්‍රේක්ෂකයන් අවස්ථා ගණනාවකදීම අන්ද මන්ද වනු ඇතැයි පැවසීම අත්හළ යුත්තක් නොවේ. එකිනෙකට සම්බන්ධ නොවන සිදුවීම් වුව ප්‍රමුඛ පුවතකට ගළපා ගැනීමේ ඉඩකඩ තිබෙන වග නොරහසකි. එහෙත් සිදුව ඇත්තේ ඒ ගැන නොසලකා තිරනාටකය මතටම බොහෝ වැරැදි හා අතපසු වීම් පැටවීමයි.

දෙවන හේතුව එන්නේ සිනමා රංගනය පිළිබඳ මූලික වැටහීමකින් යුතු රංගන ශිල්ප ශිල්පිණියන් සහභාගි කර ගැනීම විෂයෙහි ලාල් දක්වන සැලකිල්ලේ ප්‍රමාණය ඔස්සේය. විටෙක කුඩා දරුවන් වැඩිහිටි රංගන ශිල්ප ශිල්පිනියන් පරයා යන අන්දම දක්නට ලැබේ. විනෝදාත්මක සිනමාපටයකදී වුව ජාම බේරා ගන්නා රඟපෑම් ඉදිරිපත් කළ හැකිය යන්නට ඇති නිදර්ශන ගණනාවකි. මීට ප්‍රථම ලාල්ගේ 'අප්පට සිරි' සිනමාපටය බේරා ගන්නට පැමිණියේ මහේන්ද්‍ර පෙරේරාය. 'යාළු මාළු යාළු' හිදී මහේන්ද්‍ර පෙරේරා කෙනෙකු සම්මුඛ නොවීම ලාල්ගේ අභාග්‍යයකි.

තෙවන හේතුව වන්නේ 'අපේ යාළු මාළු - 2' හිදී සංස්කරණ ශිල්පියකුගේ මැදිහත්වීමක් එපමණටම දක්නට නොලැබීමය. තිරය මත නොයෙක් ජවනිකා පතිත වේ. ප්‍රේක්ෂකයනට ඒවා ප්‍රශ්න කරන්නට ඉඩක් නොමැත. මන්ද එබඳු ප්‍රයත්නයකින් ඵලක් නැතැයි ඔවුනට හැඟෙන හෙයිනි. ලාල් ඇතුළු කණ්ඩායම ඉන් සහනයක් ලබා ගන්නා පාටක් ද නැත. සිදුවන්නේ ප්‍රේක්ෂකයා සිනමාපටයෙන් වියෝවීම ඉක්මන්වීමය.

සිව්වන හේතුව සිනමාපටයේ එන දෘශ්‍ය ප්‍රයෝග වර්තමානයට ගළපා ගැනීමේ අසීරුතාවයි. ඩොල්ෆින් මත්ස්‍යයන් මුහුදේ සරන ඇතැම් අවස්ථා අන් තැන්වලින් උපුටා ගැනීම වෙනම කාරණයකි. නමුත් පාදක වන කතා පුවතට අදාළම නිරූපිත ඩොල්ෆින් මත්ස්‍යයන්ගේ රූප රාමු වර්තමාන ළමා ප්‍රේක්ෂකයනට ආනන්දයක් හෝ අපූර්වත්වයක් ගෙන දෙන වග පැවසීම අසීරුය. භීතිය දනවන අවස්ථා නිරූපණයේදී ද විශේෂ දෘෂ්‍ය ප්‍රයෝග භාවිත වන්නේ වර්තමානය පිළිබඳ විශේෂ සැලකිල්ලක් නොදක්වමිනි.

තමන්ගේ පළමු සිනමාපටයවත් සිනමා ශාලා කරා ගෙන ඒමට නොහැකිව උකටලීව පසුවන, සිනමාව කලාත්මකව හා විවාදාත්මකව භාවිතයට සූදානම් සිනමාකරුවන් වර්තමානයේදී නඟන මැසිවිලි නොසලකා හැරිය යුතු නැත. මේ මධ්‍යයේ ලාල්ට තමන් විසින් අධ්‍යක්ෂණය කරන ලද 'අප්පට සිරි', 'යාළු මාළු යාළු - 2' බඳු සිනමාපට ඔස්සේ සිනමාකරුවකු ලෙස පෙනී සිටීමට ලැබෙන අවකාශය දෙස බැලිය යුත්තේ ප්‍රවේශමෙනි. එහි මීළඟ කියැවීම වන්නේ ලාල් විනෝදාත්මක සිනමාව විෂයෙහි වඩා විධිමත්ව ක්‍රියාකාරී විය යුතු බවය. මන්ද ලාංකේය සිනමාවට අදාළම විනෝදාත්මක සිනමාවේ යම් පසුබෑමක් අද දවසේදී විද්‍යමාන වන හෙයිනි. ඊට එරෙහිව පෙනී සිටින්නට අකමැති නොවන්නකු සේ ලාල්ව හඳුනා ගත හැකි හෙයිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
12 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.