මිනිත්තු පහළොවකට හොඳටම ඇති

ජනවාරි 3, 2019

සිනමාපට හඳුන්වා දීම උදෙසා භාවිත කෙරෙන නොයෙක් ප්‍රචාරක උපක්‍රම අතරින් නිශ්චිත ප්‍රචාරක පාඨ හිමි කර ගත්තේ ඉහළ වැදගත්කමකි. ඒවා සම්බන්ධයෙන් වූ හැදෑරිම් සිනමා අධ්‍යයන ක්ෂේත්‍ර විෂයෙහි දැක ගත හැක්කේ කලාතුරකිනි. සමහර විට ඊට තුඩු දෙන එක් හේතුවක් විය හැක්කේ ප්‍රචාරක පාඨ වෙළෙඳ අරමුණු සමඟ පවත්වන සමීප සබඳතාය. කලාත්මක හා සම්භාවනීය සිනමාපට හඳුන්වා දෙන ප්‍රචාරක පාඨ වුව සිනමා වෙළෙඳපොළ තුළදී හැසිරෙන්නේ වාණිජමය අරමුණු සහිතවය. අවශ්‍ය වන්නේ එබන්දක් පටු සීමා තුළ නොරැඳී තහවුරුවීමයි.

නාලක විතානගේ සිය නවතම සිනමාපටය වන 'සරුංගල්' ප්‍රදර්ශනයට මුදා හරින්නේ ද අපූරු හා සිත් කාවදින ප්‍රචාරක පාඨයක් උපයෝගී කර ගනිමිනි. ඒ 'ආදර ෆැන්ටසියක රියැලිටි අරුමැසිය' යන්නයි. කොහොමත් ප්‍රචාරක පාඨ ඒ ඒ සිනමාපට අරබයා යම් අතිශයෝක්තියකින් යුතු හැඟීම් දනවන වග නොරහසකි. එනිසා ප්‍රචාරක පාඨයක් යම් සිනමාපටයක බරක් හෝ ගැඹුරක් ඇති බව හඟවන ක්‍රමවේදයක් සේ නිර්වචනය කරන්නට ද පුළුවන.

'සරුංගල්' හඳුන්වා දෙන යථෝක්ත ප්‍රචාරක පාඨය පළමු කොටම ධ්වනිත කරන්නේ මේ ස්ත්‍රී - පුරුෂ ප්‍රේමය පිළිබඳ සුවිශේෂ සිනමාපටයක් විය හැකි බවය. එය අවධාරණය කරනු පිණිස නාලක සිය ප්‍රධාන චරිත ද්විත්වය නිරූපණය සඳහා කැඳවන්නේ නුපුරුදු දෙදෙනකුටයි. ඉන් සිනමාපටයට යම් චමත්කාරජනක හැඩයක් ලැබෙනු ඇතැයි යන ඔහුගේ සිතුවිල්ල සහේතුකය. ඇරත් 'සරුංගල්' මුළුමනින්ම අමතන වග පෙනී යන්නේ ප්‍රේමය හා නිරන්තරව ගනුදෙනු කරන්නට මනාප තරුණ ප්‍රේක්ෂක ප්‍රජාවයි.

මෙහිලා නාලක හැසිරෙන්නේ තමන්ගේ සමකාලීනයන් වැඩි දෙනකු සමඟ කිට්ටු සබඳතා නොපවත්වමිනි. සිනමාව කලාත්මක හා සම්භාවනීය ආකාරයෙන් ද, විවාදාත්මකව ද පොහොසත් කරනු පිණිස ලකලැහැස්ති වන තරුණ හා නවක සිනමාකරුවන් පිරිසකගේ නිල හා නො නිල සම්ප්‍රාප්තියක් සිදු වන්නේ 'සරුංගල්'ට සමගාමීවය.

මේ නාලකගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය නොවේ. ඔහු කෙසේවත් යට කී සිනමාකරුවන්ගේ පාර්ශ්වය හා එක් නොවුණ ද, සුපුරුදු විනෝදාත්මක සිනමාව කරා නො පැමිණෙන්නකුය යන වග පෙනේ. සම්ප්‍රදායික සමාන්තර සිනමාවේ සාමාජිකත්වය ගැනීමේ වුවමනාවක් ද ඔහු වෙතින් පළ නොවේ. එය ඔහු සිනමාකරුවකු වශයෙන් මේ සමයේදී මුහුණ දෙන තීරණාත්මක ප්‍රශ්නයකි. ඊට සුදුසු පිළිතුරු සපයා ගැනීම පමා වන්නේ නම් සිදු විය හැක්කේ ඔහුගේ සිනමා අධ්‍යක්ෂණ භූමිකාව නො වැළැක්විය හැකි අන්දමේ අර්බුදයක් කරා ගමන් කිරීමය.

'සරුංගල්' ප්‍රකාශයට පත් කරලීමේදී නාලක පිහිටින පිළිවෙත ප්‍රේක්ෂක උද්යෝගය කෙරෙහි බලපාන්නේ කෙසේදැයි යන්නද ප්‍රශ්න කළ හැක්කකි. සිනමාපටයේ ධාවන කාලය හෝරා එක හමාරක් පමණ වේ. නොවෙනස් වන රිද්මයක් රූප රචනය වෙතින් දත හැකි වුව ද ඊට පිටුබලය සපයන්නේ තිර නාටකය යැයි නොසිතේ. තිර නාටකයට හා සංස්කරණ පාර්ශ්වයට අවශ්‍ය වී ඇත්තේ නාලකගේ පිවිසුම මත සිනමාපටයේ ධාවන කාලය රැක ගන්නටයි. ඒ අනුව තිරය මත පතිත වන රූප රාමු හා ප්‍රේක්ෂක විඩාව අතර ගොඩ නැගෙන සම්බන්ධය පරාජය කිරීමේ ප්‍රයත්න ඉස්මතු නොවෙයි. 'සරුංගල්' නො නරඹා සිටිය හැකි සිනමාපටයක් යැයි එක් විටම පැවසීම අසීරුය. නමුත් ඊට අපමණ වෙහෙසක් දැරීමට සිදු වේ. එය බුද්ධිමය ව්‍යායාමයක් නොවන වග පැහැදිලිය. ඉන් සිනමාපටයේ ප්‍රමිතිය පිළිබඳ මතුවන අදහස කිසි විටෙකත් රහසක් නොවේ.

කෙසේ වතුදු නාලක 'සරුංගල්' ආරම්භ කරන්නේ අර ප්‍රචාරක පාඨයට යම් සාධාරණයක් ඉටු කළ හැකි මඟක් තිබේදැයි යන්න සොයා බලමිනි. රාත්‍රිය උදාවන මොහොතක යම් සමාජ ශාලාවකදී හමුවන දෙදෙනකි. රූමත් ස්ත්‍රියක හා කඩවසම් පුරුෂයකු වශයෙනි. දෙදෙනා හරි හරියට සුරා පානය කරති. දුම් බොති. එහෙත් පසුදා සිට ඉහළ පෙළේ හෝටලයක ලැගුම් ගන්නේ වෙන වෙනමය. පසුව ඔවුහු පෙමින් බැඳෙති. එහෙත් සුරා පානයට ලොල්, දුම් බොන, රහස් පෙම්වතුන් හා පෙම්වතියන් ඇසුරට මනාප මේ දෙදෙනා පරමාදර්ශි චරිත සේ ප්‍රේක්ෂකයා පිළිනොගනී. මෙහිලා නාලක හිතාමතාම ඊට පසුබිමක් තනා දුන්නේ ද, නො එසේ නම් ඔහු අභිබවා එය සිනමාපටයට එක් වූයේද යන්න අපැහැදිලිය.

'සරුංගල්'ට අභියෝග කළ හැකි පහසුම අවස්ථාව වන්නේ යට කී සොච්චම් පුවත හෝරා එක හමාරක් තිස්සේ නිරූපණය කිරීමයි. නිසැකවම ඒ සඳහා මිනිත්තු පහළොවක් පමණ සෑහේ යැයි කිසිවකු කල්පනා කළහොත් නාලකට සිදු වන්නේ තවත් අනර්ථයකි. ඊට අදාළව 'සරුංගල්' වඩා උචිත කෙටි සිනමාපටයකටයි. නැතහොත් ඒකාංගික ටෙලි නාට්‍යයකටයි. මෙතැනදි විද්‍යාමාන වන්නේම සංස්කරණ පාර්ශවයේ ප්‍රතිඵලයයි.

'සරුංගල්' සුඛාන්තයක් සහිත සරල විනෝදාත්මක සිනමාපටයක් නොවීමේ වාසිය අත්පත් කර ගන්නට නාලක දැක් වූ උනන්දුව කෙතෙක් දුරට ප්‍රමාණවත්දැයි යන ප්‍රශ්නය සාධාරණ වන්නේ යථාර්ථය හා කල්පිතය අතර පරතරය ද, කල්පිතය තුළ දී සිදුවන යථාර්ථයේ හොල්මන් කිරීම් ද හසු කරගන්නට අසමත් වන අවස්ථා දැක ගත හැකි බැවිනි. ඊට අවශ්‍ය සූක්ෂ්ම ඥානය නාලක විසින් සතභ්‍යාසයෙන්ම ඥානනය කර ගනු ලැබිය යුත්තකි. නමුත් ඒ සිනමාකරුවකු සේ තවදුටත් ඔහු සක්‍රිය වන පසුබිමකය.

නව යුවළ විරසක වී එකිනෙකා හැර යන අවස්ථාවත් සමඟ 'සරුංගල්' නිමාවට පත් වෙයි. ඉන් සසල වන්නට ප්‍රේක්ෂකයන් සූදානම් නොවේ. එතෙක් වෙහෙසට පත්ව සිටින ප්‍රේක්ෂකයනට මේ හදිසි නිමාව ඇතැම් විට සැනසිලිදායක වන්නට වුව පුළුවන. මෙසේ නව යුවළ වෙන් වන්නේ තම තමන්ගේ පැරැණි ජීවිත කෙරෙහි ආසක්තවීමේ අවශ්‍යතාව නිසා ද යන්න පැහැදිලි කරන්නට දරන ප්‍රයත්නයක් නොමැති තරම්ය.

සුළු චරිත අනවශ්‍ය පරිදි හුදෙකලා කිරීම හා පසුබිම් ශබ්ද කෙරෙහි ඉහළ සැලකිල්ලක් නොදැක්වීම නාලක විසින් ජය ගනු ලැබිය යුතුව තිබූ තත්ත්වයකි. තවදුරටත් ඉන් අදහස් කෙරෙන්නේ සිනමාපටයේ කාර්මික පක්ෂය කෙරෙහි වැඩිදුර දැනුමක් සාක්ෂාත් කරගැනීම ඔහුගේ අනාගත සිනමා අධ්‍යක්ෂණ කාර්යයන්ට සානුබල සපයන්නේය යන්නය. එසේ වන්නේ නම් සිනමාපටය ආරම්භයේදීම නිරූපිත විකල්ප මුහුණුවරැති ඔහුගේ නිශ්චල ඡායාරුප සඳහා නිසි වටිනාකමක් ද පිළිගැනීමක් ද ලැබෙනු ඇත.

සිය පූර්ව සිනමා අධ්‍යක්ෂණ අවස්ථා විෂයෙහි නාලක ප්‍රකට කළ ඉඟියක් මෙතැනදී නොසලකා හැරිම ඔහුට කරන අසාධාරණයකි. එනම් තමා තමන්ටම රිසි පරිදි සිනමාව හසුරුවා ලන්නට මනාප අයකු යන්න නොකියා කීමය. කිසිදු ප්‍රමුඛ සිනමාපට මාදිලියකට එක් නොවීමේ වුවමනාව ද ඊට සම්බන්ධ වේ. ඒ අනුව මෙතැන් සිට නාලකට සිදු වන්නේ ප්‍රමිතියෙන් වඩා ඉහළ සිනමා අධ්‍යක්ෂණයක් වෙනුවෙන් පෙනී සිටින්නටය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.