2019 අපිත් බලමු

ජනවාරි 3, 2019

ගින්නෙන් උපන් සීතල සිනමාපටය සිටිනුයේ ලැයිස්තුවේ පළමුතැනය. රෝහණ විජේවීරයන්ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ එය අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණයකි. විජේවීර ලෙස චරිත මවනුයේ කමල් අද්දරආරච්චිය. ගින්නෙන් උපන් සීතල සිනමාපටය සමඟින් නවක නිෂ්පාදිකාවක් සිනමාවට එක් වෙයි. ඇය චමත්කා පීරිස්ය. අන්තර්ජාතික සිනමා උලෙළ කිහිපයක් නියෝජනය කිරීමට වරම් ලද ගින්නෙන් උපන් සීතල සිනමාපටය නැරඹීමට බොහෝ දෙනෙකු මඟ බලාගෙන සිටිති.

මේ දිනවල ටවුමේ ඉස්කෝලේ නමින් සිනමාපටයක් තිරගත වේ. සුනිල් ප්‍රේමරත්න එහි අධ්‍යක්ෂවරයා ය. ඔහුගේ තවත් සිනමාපටයක් මෙම වසරේදීම තිරගතවීමට නියමිතය. ඒ වැලිපවුරු ය. මව්පිය සෙනෙහසෙහි මහිමය පාදකකර ගත් සංවේදී කතාපුවතක් ඇසුරෙන් සැකසුණ එහි මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක ඇතුළු නළු නිළියන් රැසක් රංගනයේ යෙදෙති. පුංචි තිරය ඔස්සේ වඩාත් ප්‍රකට වූ තරුකා වන්නිආරච්චි වැලිපවුරු හි වෙනස්ම චරිතයක් නිරූපණය කොට තිබේ.

සුගතදාස මාරසිංහගේ පටන් මාරසිංහ පරපුර අප සිනමාවට බෙහෙවින් ළැදිය. එහි තවත් එක් පුරුකක් වූ ජනිත මාරසිංහ වත්මනෙහි අප සිනමාව නියෝජනය කරන නිෂ්පාදකවරයෙකි. ඔහුගේ නවතම සිනමාපටය වූ ජය ශ්‍රී ඇමතිතුමා තිරයට එන්නේ මේ වසරේදීය. නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ එහි විශේෂත්වයක් තිබේ. ඒ ටෙනිසන් කුරේ සහ ශ්‍රියන්ත මෙන්ඩිස් ප්‍රථම වතාවට එකට රංගනයේ යෙදීමයි.

තී, ධර්ම යුද්ධය, ඒ ලෙවල් සහ ගෝල් ආදි සිනමාපට නිෂ්පාදනය කරමින් එක්නෙකට වෙනස් සිනමා අත්දැකීම් ඔබ වෙත ගෙන ආ සීමාසහිත මහරාජා සමාගම සිය මීළඟ සිනමාපටයට නම තබා ඇත්තේ තාල ලෙසටය. එය සිනමා ශාලාවලට පැමිණීම ද මේ වසරේදී සිදුවන බවට විශ්වාසය. දැනට සිටින දක්ෂතම කැමරා අධ්‍යක්ෂවරයකු වන පාලිත පෙරේරා තාල සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ය. ජයලත් මනෝරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, හේමාල් රණසිංහ ඇතුළු පිරිස තාල රංගනයෙන් හැඩ ගැන්වනු ඇත.

අතීතයේ දවසක කතුරුමුවාත් සිනමාපටය තිරගත විය. මේ වසරේදී සිනමාවට එන්නේ කතුරු මිතුරුය. ඒ නමට අමතරව වරහන් තුළ බාබර් සහ ටේලර් යනුවෙන් ද සඳහන් කොට ඇත. ඒ අනුව එහි නම ලියැවෙනුයේ කතුරු මිතුරු (බාබර් සහ ටේලර්) ලෙසිනි. මෙහි අධ්‍යක්ෂවරයාගේ නම ඇසූ සැණින් ඔබට මේ සිනමාපටය නැරැඹීමට උනන්දුවක් ඇතිවනු නිසැකය. සිකුරු හතේ, සුහද කොකා සිනමාවට ගෙන එමින් සිනමා ප්‍රේක්ෂකාගාරය සිනහ සයුරේ ගිල්වූ ගිරිරාජ් කෞෂල්‍ය කතුරු මිතුරු චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ය. ආලංකුලම චිත්‍රපට ඔබ වෙත ගෙන එන මෙහි බාබර් මහේන්ද්‍ර පෙරේරා ය. ටේලර් ජයලත් මනෝරත්න ය. සඳනි හෙට්ටිආරච්චි නම් වූ නවක නිළියක කතුරු මිතුරු හරහා සිනමාවට ගෙන එයි. ඇයට අමතරව නැසී ගිය විශිෂ්ට රංගනවේදී විජය නන්දසිරිගේ ආදරණීය පුත්‍රයා වන රසාංජන නන්දසිරි මෙහි රංගනයේ යෙදෙයි.

නිර්මාණය කළ සෑම චිත්‍රපටයකටම සම්මානයක් හිමිකරගත් අධ්‍යක්ෂවරයකු වන ප්‍රසන්න විතානගේ ගේ තවත් විශිෂ්ටතම සිනමාපටයක් මෙම වසරේදී තිරයට එනු ඇත.ඒ ගාඩි ය. ඓතිහාසික කතාපුවතකින් සමන්විත ගාඩි සිනමාපටය ඔස්සේ ප්‍රසන්න නවක නිළියක් සිනමාවට ගෙන එයි. ඇය ඩිනාරා පුංචිහේවා ය. ජැක්සන් ඇන්තනිගේ දෙවැනි පුතු සජිත අනුත්තර ගාඩි හි ප්‍රධාන චරිතයක් මවයි. රවීන්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, දමයන්ති ෆොන්සේකා ඇතුළු ප්‍රවීණ නළු නිළියන් රැසක් ගාඩි සිනමාපටයේ රංගනයේ යෙදෙනු ඇත.

තවත් සම්මානනීය සිනමා අධ්‍යක්ෂවරයකු වන අශෝක හඳගම මෙවර ප්‍රේක්ෂකයන් පිනවන්නේ අසන්ධිමිත්තා මඟිනි. සමන් වික්‍රමආරච්චි විසින් රචිත එනමින් ඇති නවකතාව පාදකකොට ගෙන තැනූ එහි නිල්මිණි සිගේරා, ඩබ්ලිව්. ජයසිරි, ධර්මප්‍රිය ඩයස් ආදීහු රංගනයේ යෙදෙති. නිල්මිණිලා බොහෝ දෙනෙකු රංගනයේ යෙදෙනු දැකියහැකි වුවත් නිල්මිණි සිගේරාගේ රංගනයන් අප දුටුවේ කලාතුරකිනි. අසන්ධිමිත්තා ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂයක්වනු නියතය.

දිගු කලක් තිස්සේ චිත්‍රපට පෝළිමේ තිබුණු චිත්‍රපට යුගලක් ස්ථිරවම මෙම වසරේදී තිරගත වන බව ඒවාහි අධ්‍යක්ෂවරයා පවසයි. ඒ අතරින් පළමු චිත්‍රපටය ලෙසට ඔබට මා හඳුන්වා දෙන්නේ සංගිලිය. ලලිත් පන්නිපිටියගේ දෙවැනි සිනමාපටය වූ සංගිලිහි සනත් ගුණතිලක, දුලානි අනුරාධා, වසන්ති චතුරාණි, වීණා ජයකොඩි, සාරංග දිසාසේකර වැනි නළු නිළියන් රංගනයේ යෙදෙති.

වීර පුතා අනෙක් සිනමාපටය යි. සුනිල් අරුණ වීරසිරිගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වූ එය ඔහුගේ සිව්වැනි සිනමා නිෂ්පාදනය යි. ටිකිරි සුවඳ සුනිල්ගේ පළමු අධ්‍යක්ෂණය වූ අතර එය ඔහුගේ නිෂ්පාදනයන් වූ සැපට දුකට සනී සහ ක්ලීන් අවුට් චිත්‍රපටවලට පෙර අනෙක් නිෂ්පාදනයන් අතර වේ. ඇන්ටන් ජූඩ් අවසන්වරට රඟපෑ සිනමාපටය වන වීරපුතාහි මේ වන විට රංගනයෙන් ඉවත්ව සිටින ශේෂාද්‍රි දැකබලා ගත හැකිය. ලකී ඩයස්, කුමාර තිරිමාදුර, නිරෝෂන් විජේසිංහ, අංජුලා රාජපක්ෂ වීර පුතාහි සෙසු චරිත රංගනයේ යෙදෙයි.

නොම්මර 17 ගෙන ආ ප්‍රීතිරාජ් අලුත් නිළියක් හඳුන්වා දෙමින් තිත්ත ඇත්ත නමින් නිර්මාණය කළ සිනමාපටය ප්‍රදර්ශනයට දින ලැබී ඇත්තේ මේ වසරේදීය. ප්‍රහසනාත්මක සිනමාපටයක් වන එහි ටෙනිසන් කුරේ, දොන් ගයි, විල්සන් කරුණාරත්න ආදි නළු නිළියන් රංගනයේ යෙදෙති. තිත්ත ඇත්ත නිෂ්පාදනය මෙන්ම අධ්‍යක්ෂණය ද ප්‍රීතිරාජ් විසින් සිදුකොට ඇත. ජාත්‍යන්තර සම්මාන උලෙළ නියෝජනය කළ සුළඟ අපි රැගෙන යාවි සිනමාපටය සිනමා ශාලාවන්ට ගොඩවදින්නේ මේ වසරේදීය. නුවන් ජයතිලක අධ්‍යක්ෂණය කළ එය නැසී ගිය විශිෂ්ට කලාකරු සයිමන් නවගත්තේගමගේ දියණිය මායා නවගත්තේගම නිෂ්පාදනයකි.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.