වසර 23 කට පසු ජනවාරියේ චිත්‍රපට යුගලක්

ජනවාරි 17, 2019

මෙම වසරේ සමාරම්භක චිත්‍රපට ලෙස හෙට දිනයේ සිට චිත්‍රපට ද්විත්වයක් තිරගත වීමට නියමිතය. ඒ අනුරුද්ධ ජයසිංහගේ ගින්නේ උපන් සීතල සහ ලලිත් පන්නිපිටියගේ සංගිලි ය.

ඒවා එක දිනක් තුළදී තිරගත වීම විශේෂත්වයකි. එලෙස ජනවාරි මාසයේ දී එක්දිනක් තුළදී සමාරම්භක චිත්‍රපට යුගලයක් තිරගත වන්නේ වසර 23ට පසුවය.

1996 වසරේ ජනවාරි 26 වැනිදා අපි බය නෑ සහ බොඩි ගාඩ් යන චිත්‍රපට යුගල එම වසරේ සමාරම්භක චිත්‍රපට ලෙස තිරගත විය. ගින්නෙන් උපන් සීතල සිනමා පටය රෝහණ විජේවීරගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වී ඇත.

කමල් අද්දරආරච්චි, ජගත් මනුවර්ණ, සුජීව ප්‍රියලාල්, සුලෝචනා වීරසිංහ, දිල්හානි අශෝකමාලා, ප්‍රියන්ත සිරිකුමාර, දීපානි සිල්වා ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. සිනේ ප්‍රෝ සිනමා වෙනුවෙන් චමත්කා පීරිස් එය නිෂ්පාදනය කර ඇත. එය සී. ඊ. එල් මණ්ඩාලයේ සිනමා ශාලාවන්හි තිරගත වේ.

සංගිලි සිනමා පටය කීර්ති උඩවත්තගේ නිෂ්පාදනයකි. සනත් ගුණතිලක, දුලානි අනුරාධා, වීණා ජයකොඩි, වසන්ති චතුරාණි, සාරංග දිසාසේකර, අනූෂා සොනාලි, රෙබෙකා නිර්මලි, විමල් කුමාර ද කොස්තා, මොහාන් හෙට්ටිආරච්චි සංගිලි රංගනයෙන් හැඩ කරති.

 

 

Add new comment