එන්න... සමනළයින් පියාඹන හැටි බලන්න

කුරුල්ලෝ ගී කියන හැටි අහන්න
මාර්තු 14, 2019

සෝමලතා හේරත් මැණිකේ කුලුඳුල් චිත්‍රපටය

කතා කරන හීන සිනමාපටයේ

නළු නිළියෝ:

බුද්ධික ජයරත්න, සේමිණි ඉද්දමල්ගොඩ, චන්ද්‍රසෝම බිංදුහේවා, ආනන්ද අතුකෝරල, මනීෂා ශ්‍යාමලී, අංජන ප්‍රේමරත්න, බුද්ධික කළිදු, රූබන් කාන්, රනිල් ප්‍රසාද්, මහින්ද කරුණාරත්න, පූජානි හෙට්ටිආරච්චි,

ආර්. සම්පත්

ළමා නළු නිළියන්:

අමායා මියුලැසි, ටිමේෂ් ජනිත්,

අදීෂ රත්නායක, යශෝරා හරිශ්චන්ද්‍ර

කැමරා අධ්‍යක්ෂණය - අජන්ත ඒකනායක

අංග රචනය - ජයන්ත සිරිමාන්න

සංගීත අධ්‍යක්ෂණය - සුජිත් මෙල්රෝයි සහ ප්‍රසන්න සංජීව

සංස්කරණය සහ ශබ්ද පරිපාලනය - ඩිලාන් ගුණවර්ධන

ගෙදර පැමිණ ආපසු නගරයේ පාසලට යන අපූර්වට සිය අතීතය සිහිපත් වෙයි. ඔහුගේ වයස අවුරුදු 16 කි.

නීතිඥවරයකු වන අපූර්වගේ තාත්තා, බැංකුවක ඉහළ නිලධාරිනියක් වන අම්මාත් බොහෝ විට රැකියාව සඳහා දවසේ වැඩි කාලයක් ගත කරද්දී අපූර්ව තනි වෙයි. තමාට වඩා අවුරුදු 07 ක් වැඩිමල් සහෝදරයා පරිගණකය, ඉගෙනීම මෙන්ම ක්‍රීඩා හා බැඳෙයි. සහෝදරයා නගරයේ පාසලක ඉගෙනුම ලබන දක්ෂ සිසුවෙකි. අපූර්ව, පරිසරය හා බැඳුණ පරිගණක ලෝකයෙන් ඈතට ගිය තමාගේම සිහින තුළ ජීවත්වන දරුවෙකි. ඔහු තමා අවට පවතින සියලු දේටම ජීවය ඇතැයි සිතයි. ඔහු ගස්වැල් තරු වලාකුළු පොත්වල අකුරු, සතුන් මේ සියල්ලන් සමඟ කතා කරයි. ඔහු ඇවිදීමට නොහැකි අමායා නමැති ගැහැණු ළමයා සිය හොඳම යෙහෙළිය කර ගනියි.

කතන්දර හා සිහින තුළ ජීවත්වන අපූර්වට අකුරු ඉලක්කම් සමඟ ඉගෙනීම අප්‍රිය ජනක වේ. ඔහු පරිසරයෙන් ඉගෙන ගන්නා දේට ඇලුම් කරයි. පිළිවෙළින් පාසල් යාම, අමතර පන්ති, අපූර්වට මහත් වදයක් ලෙස දැනෙයි. දෙමව්පියන් වෙත ළං වන්නට උත්සාහ කළ ද බොහෝ විට ඔහු ප්‍රතික්ෂේප වන බව ඔහුට දැනෙයි. ඒ නිසාම ඔහු දුරස් වෙයි.

අපූර්ව නූගතකු වී සහෝදරයා උගතෙකු වේ යැයි බිය ගන්නා දෙමව්පියන් අපූර්ව උගතෙකු කිරීමේ වෑයමක යෙදෙයි. ඒ නිසාම අපූර්වගේ හැඟීම් තේරුම් ගන්නට දෙමව්පියන්ට නොහැකි වේ.

අපූර්වට යහළුවෙකු මුණ ගැසෙයි. ඒ කතන්දර සීයාය. සීයා වාහන සාදන වැඩපළක සේවය කරයි. අපූර්වගේ සිහින පාට කරන සීයාටත් අමායාටත් ඔහු දැඩි ලෙස ඇලුම් කරයි.

නොහඳුනන විශ්වාස කළ නොහැකි ආගන්තුකයෙකු යැයි කතන්දර සීයා ගැන සිතන මව්පියන් සීයාට දරුවාගෙන් ඈත්වන ලෙසට දැනුම් දෙයි. සීයා අපූර්ව මුණ නොගැසෙන්නට පරිස්සම් වෙයි. මේ නිසාම අපූර්ව තනි වෙයි.

සෝමලතා හේරත් මැණිකේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ කතා කරන හීන සිනමාපටයට එම කතා පුවත අන්තර්ගත වේ. මෙය අධ්‍යක්ෂවරියගේ කුලුඳුල් සිනමා සිතුවම වේ. ඇය විසින් මෙහි තිර රචනය සහ ගීත රචනය ද සිදු කොට ඇත.

      

Add new comment