හතර වගේම හතරක් Us

අප්‍රේල් 4, 2019

ඔබගේ හැඩහුරුකම් ඇති ඔබ ලෙසම සිතන, කෙටියෙන්ම කියතොත් සියයට සියයක් ඔබට සමාන ඔබට නොනෑයෙකු වන තවත් පුද්ගලයෙන් බිලියන 7.5 ඉක්ම වූ ලෝක ජනගහනය අතර කොතැනක හෝ සිටිය හැකි බව ඔබ කෙදිනක හෝ සිතා තිබේ ද ? පෙරදිග මෙම සංකල්පය එතරම් ප්‍රචලිත නොවුණ ද Doppelganger ලෙස හැඳීන්වෙන මෙම සංකල්පය අපරදිග සාහිත්‍යයේ සහ මිත්‍යා කතන්දරයන්හි සැලකිය යුතු ලෙස දක්නට ලැබෙනවා.

තමන් හා සියයට සියයක් සමානත්වයෙන් යුතු වූ එම පුද්ගලයා යම් කෙනෙකුට මුණගැසීම අවාසනාව ගෙන දෙන්නක් බවත් විශ්වාස කරනවා. තමන් හා සමාන අනෙකෙකු තමන් විසින් දුටු බවට සාක්ෂි දෙන ප්‍රසිද්ධ චරිත ද ලොව සිටින අතර බටහිර විද්‍යාව පවසන්නේ මෙය මානසික රෝගයක් නිසා ඇති වන්නක් බවයි. කෙසේ නමුත් අපරාධ විද්‍යාව මේ පිළිබඳ මහත් උනන්දුවක් දක්වන අතර ඇසින් දුටු සාක්ෂි මත වැරදි පුද්ගලයා කොටුකර ගැනීමට හැකි ද යන්න ප්‍රශ්න කෙරෙනවා.

2019 මාර්තු 22 සිට ලොවපුරා තිරගත වන ජෝර්ඩ්න් පීල් විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කෙරුණු බියජනක කතා පුවතක් ගෙන එන  Us  චිත්‍රපටය මෙම තේමාව රැගෙන නිර්මාණය කර තිබෙනවා. ඇඩ්ලෙඩ් විල්සන් නම් කාන්තාව සිය සැමියා සහ දරු දෙදෙනා සමඟ තමන් කුඩා කල හැදී වැඩුණු වෙරළාශ්‍රිත නිවෙසේ පදිංචියට පැමිණෙන්නේ විවේකයක් ගත කිරීම වෙනුවෙනි. දිගින් දිගටම සිදුවන අවුල්සහගත සිදුවීම් නිසා තැතිගෙන සිටින විල්සන් පවුල තව තවත් බියට පත් වන්නේ, රාත්‍රියේ වෙස් මුහුණු පැළැඳගත් නාඳුනන සිව් දෙනෙකුගේ පැමිණීමත් සමඟිනි. ඔවුහු විල්සන් පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමට උත්සාහ දරති. පැලඳි සිටි වෙස් මුහුණු එකින් එක ගැලවෙන විට මේ පුද්ගලයින් තම තමන්ම වන බව විල්සන් පවුලේ සාමාජිකයන්ට අවබෝධ වේ.

මෙක්සිකානු නිළියක් වන ලුපිටා අමොන්දි න්‍යොංග්'ඕ අමෙරිකානු නළුවකු වන වින්ස්ටන් ඩ්‍යුක් සමඟින් ශහාධි රයිට් ජෝසප් සහ ඊවන් ඇලෙක්ස් ළමා නළු නිළි දෙපළ මෙහි ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති. අමෙරිකානු ඩොලර් මිලියන 20ක පිරිවැයකින් නිර්මාණය කර ඇති මෙම චිත්‍රපටය මේ වන විට අමෙරිකානු ඩොලර් මිලියන 102ක ආදායමක් වාර්තා කර ඇත. IMDb  දර්ශකයේ 7.5/10ක් ලබා ගෙන සිටින මෙම චිත්‍රපටය රොටෙන් ටොමැටෝස්හි ලකුණු 95%ක් ලබා ඉහළ විචාරක පැසසුමකට ලක්වී ඇත. ක්‍රිස්ටියන් සයන්ස් සඟරාවේ විචාරක පීටර් රේනර් පවසන අන්දමට මෙම චිත්‍රපටය තුළින් අධ්‍යක්ෂ පීල් චිත්‍රපට කලාවට ඉදිරි ගමනක් එක්කර ඇති අතර ලුපිටාගේ රංගනය ඉතා ඉහළ මට්ටමක පවතී. ට්‍රිබියුන් නිවුස් සර්විස් සඟරාවේ විචාරක කේටී වෝල්ෂ් ද ලුපිටා පිළිබඳ එවැනිම ආකල්පයක් දරන අතර මෙය බුද්ධිමත් නවීන පන්නයේ බියජනක චිත්‍රපටයක් බවත් පවසා සිටියි. ඩිට්‍රොයිඩ් නිවුස් සඟරාවේ ඇඩම් ගැහැම් පවසන්නේ, Us ඔබව ඔබේ පුටුවට තදකර බැඳ තබා ඔබව බියෙන් පුරවන බවයි.

    

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
11 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.