සුළඟ තරම් සියුම් නැති සුළඟ අප රැගෙන යාවි

අප්‍රේල් 25, 2019

සීතල කඳුකරය උණුසුම් කරවන දවසකි. නිහඬතාව දසතමය. ඉඳහිට ඇසෙන්නේ පක්ෂි නාදයක් පමණි. සුළඟේ හඬ ඇසෙන නෑසෙන ගානය. පාසල් වියේ දරු දෙදෙනකු රූප රාමු තුළට සේන්දු වන්නේ විමසිල්්ලෙනි. ඔවුන් සවන් දෙමින් සිටින්නේ සුළඟේ හඬට විය යුතුය. ඔවුනගේ සමීප රූප නිසා අන් යමක් තවදුරටත් දකින්නට තිරය ඉඩක් ලබා නොදෙයි. දරිද්‍රතාව පරයා යන ළමා වියේ හැඩරුව ප්‍රේක්ෂක සිත් පැහැර ගන්නට සමත් වන්නේ නොපමාවය.

නුවන් ජයතිලක ස්වකීය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සේ 'සුළඟ අප රැගෙන යාවි' ආරම්භ කරන මේ විලාසය ප්‍රබලංකාරයෙන් ඉඟි කරන්නේ ළමා සිනමාපටයකට උචිත අංග එහි බොහෝ සෙයින් තිබිය හැකි බවයි. ළමා සිනමාපට හා ළමුන් උදෙසා නිර්මිත යැයි පැවසෙන සිනමාපට ගණනාවක්ම මෑතකදී සිනමා ශාලා කරා පැමිණි වග මෙතනදී සිහිපත් වන්නේ නිරායාසයෙනි. මෙතැන ලාංකේය සිනමාපට පමණක්ම නොපවතී. ලාංකේය සිනමාපට සඳහා වන තිර කාලය අභියෝගයට ලක් කරමින් පැමිණෙන ඇතැම් විදේශීය සිනමාපට ද ළමා සිනමාපට පාර්ශවයට හෝ ළමුන් උදෙසා නිර්මිත යැයි පැවසෙන සිනමාපට ආදියට අයත් වන බව පැහැදිලිය. මෙයින් අදහස් කෙරෙන්නේ අනෙකක් නොව නුවන් විසින් ජය ගනු ලැබිය යුතු පළමුවන අභියෝගය සම්බන්ධ කාරණාවයි. ඊට මුහුණදීමේදී ඔහු උපයෝගී කර ගන්නේ එක අතකට සුලබ පිළිවෙතකි. නමුත් සුලබ පිළිවෙතකින් වුව උක්ත අභියෝගය ජය ගත නොහැකි නොවේ.

කොහොමත් මෙසමයේ සිනමා අධ්‍යක්ෂණයට ආ සිනමාව කලාත්මකව හා විවාදාත්මකව මෙහෙය වන්නට නොපැකිළෙන තරුණ හා නවක සිනමාකරුවන්ගේ එක් අභිලාෂයක් වන්නේ ශක්ති පමණින් අන්තර් ජාතික සිනමා උත්සව නියෝජනය කිරීමය. ප්‍රමුඛ සිනමා උත්සව කෙසේවතුදු අප්‍රකට හා නොවැඩුණු සිනමා උත්සව ද ඔවුනගේ අවධානයට ලක් වීම දෙස විචාරක පාර්ශ්වය වුව විචක්ෂණශීලීව බැලිය යුතුය. මන්ද යම් සිනමාපටයක හෝ සිනමාපට මාදිලියක ප්‍රමිතිය පිළිබඳ නිවැරැදි අදහසක් ඒ ඔස්සේ සරිකර ගැනීම වඩා ප්‍රායෝගික වන හෙයිනි.

නුවන්ගේ 'සුළඟ අප රැගෙන යාවි' අන්තර් ජාතික සිනමා උත්සව ගණනාවක්ම නියෝජනය කළ වග කියැවේ. එක අතකට මෙබඳු අවස්ථා සාක්ෂාත් කර ගැනීම පෙරදාට සාපේක්ෂව අද දවසේදී පහසුය. විදේශ සිනමා උත්සව නියෝජනයේදී සහතික කර ගත යුතු අංග අරබයා නුවන් බඳු සිනමාකරුවන් දැනුම්වත් වීම තවදුරටත් වැදගත් වන්නේ හෙට දවසේදීයි.

තමන්ගේ පළමු රූප රාමු සමුච්චයෙන්ම නුවන් මෙරට කඳුකරයේ අසිරිය හසු කර ගනී. ඉනික්බිතිව ද ඔහු ඊටම අදාළ රූප රාමු එක් කර ගන්නට පෙලඹේ. මේ ලාංකේය භූමියේ හැඩ රුවය යන්න අන්තර් ජාතිකව පැවසිය හැකි අනගි ආකාරයකි. කෙසේ වෙතත් නුවන් එම තරමක වාර්තාමය ලක්ෂණය පසෙක ලන්නට සමත් වන්නේ ද ලාංකේය කොදෙව්වෙන් ඔබ්බට සිනමාපටය රැගෙන යා හැකි කාරණාවක් විෂය කොට ගෙනය.

මේ අනුව නුවන් 'සුළඟ අප රැගෙන යාවි' වෘත්තාන්තය ප්‍රේක්ෂකයා අබියස දිග හරින්නට පටන් ගනී. දරු දෙදෙනා දෙසොහොයුරන්ය. පියා පවුල නඩත්තු කරන්නේ අද වන විට අභාවයට යමින් පවත්නා ආකාරයකිනි. ගමේ නිෂ්පාදන ආසන්නතම නගරයට තවලම ආධාරයෙන් රැගෙන ගොස් අලෙවි කරන්නකු ලෙසනි. ගම වටා යම් මාර්ගයක් තිබෙන බව ද නුවන් පවසයි. එහෙත් ඒ කරා පැමිණිය යුත්තේ කඳු පල්ලම් පසු කරමිනි.

සිනමාපටයේ මුල් අඩ තුලදී මේ කඳුකර දුෂ්කර ජීවන විලාසය සේම එහි පාරිසරික චමත්කාරය ද වර්ණවත් රූප රාමු සරණියක් හරහා රැගෙන එන නුවන් අවසනදී අගනුවර දුෂ්කර ජීවන විලාසය ද අවධාරණය කරයි. නුවන් මෙලෙස 'සුළඟ අප රැගෙන යාවි' සමඟ විදේශ සිනමා උත්සව අමතන්නේ දෘශ්‍යමාන සොඳුරු ගමත්, ව්‍යාකූල නගරයත් දෙඋර මත තබාගෙනය.

පවුල නඩත්තු කරන්නට උර දෙන ගවයා කිසිවකු විසින් සොරකම් කරනු ලැබේ. බාල සොහොයුරා එළවළු ලොරියක නැඟී අගනුවර බලා එන්නේ ගවයා සොයා ගනු පිණිසය. අගනුවරදී ඔහුට අයහපත් මිනිසුන් සේම යහපත් මිනිසුන් ද මුණ ගැසේ. දැරියක ඔහුගේ හොඳම මිතුරිය වෙයි. එළවළු ලොරියේ රියදුරු ගවයා සොයා දීමට දරන වෙහෙස අපමණය. ඊට අවශ්‍ය මුදල් සපයන්නට සුළු වෙළෙඳ ප්‍රජාව සැදී පැහැදී සිටිති. අවසන ගවයා සොයා ගන්නා බව නුවන් පවසයි. මේ අතරවාරයේ දරුවාගේ ගමේ උද්ඝෝෂණයකි. වැඩි පහසුකම් අයදිමිනි. රූපවාහිනී නාළිකා එය විකාශය කරන්නේ ඊට පාදක වූ දරුවාගේ ඡායාරූපය ද සහිතවය.

මේ පුවත උද්වේගකර ළමා සිනමාපටයකට අනුචිත නොවේ. ළමුනගේ අවධානය දිනා ගත හැකි අංග ගණනාවක්ම මේ තුළ පවතී. ස්වාභාවික පරිසරයට ඇති දෘඪතර බැඳීම, සතුනට දක්වන කරුණාව, නොපසුබට බව ඉන් ප්‍රධානය. මේ සඳහා පළමු කොටම අවශ්‍ය වන්නේ සාර්ථක තිර නාටකයක්ය යන්න සත්‍යයකි.

මෙසමයේ පෙරට ආ සිනමාව කලාත්මකව හා විවාදාත්මකව භාවිතයට රිසි තරුණ හා නවක සිනමාකරුවන්ගේ ජයග්‍රහණ ද, පසුබෑම් ද පසුපස වූ ප්‍රමුඛතම සාධනයක් වූයේ තිර නාටකයයි. තිර නාටකය තමන් විසින්ම රචනා කරනු ලැබුව ද, අනෙකෙකු විසින් රචනා කරනු ලැබුව ද ඉන් සිනමාපටයේ පදනම සාක්ෂාත් කර ගත හැකි වන්නේය යන අදහස ඔවුන් තුළ පැළපදියම් වීම වැදගත්ය. විසිරුණු හා ව්‍යාකුල තිර නාටක විසින් කාබාසිනියා කර දමන ලද සිනමාපට ප්‍රේක්ෂකයනට අමතක නොවේ.

නුවන් තමන්ගේම තිර නාටකයේ වහලකු වී ඇතැයි නොකියන්නට ප්‍රවේශම් විය යුතුය. ප්‍රබල හා සංවිධිත තිර නාටකයකට වහල්වීමෙන් දුර්වල සිනමාපටයක් නිර්මාණය වීමේ ඉඩකඩ සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කර ගත හැකිය. නුවන් විසින් සිදු කර ගනු ලැබ ඇත්තේ තිර නාටකයට අදාළ අන් යමකි. එනම් තිර නාටකය නොසලකා සිනමාපටය අධ්‍යක්ෂණය කිරීමයි.

මෙනිසාම සිනාපටය නිසි එල්ලයකින් තොරව ඉබාගාතේ යන බවක් ද පෙනේ. සිනමාපටයට පාදක වන්නේ වර්තමානයයි. උපකල්පන හා අතීතාවර්ජන කිසි විටෙකත් වැද්ද නොගැනීමට නුවන් ක්‍රියා කරයි. එසේ නම් ඊට උචිත විශ්වසනීයත්වයක් සහතික කර ගැනීමේ කාර්යය ඔහු මත පැටවෙන්නේ බැහැර කළ නොහැකි වගකීමක් මෙනි.

දෙසොහොයුරන්, පියා, මව, මිත්තණිය හා බාල සොහොයුරකු සමඟින් ගෙවා දමන ජීවිතය නිරුපණයේදී නුවන් තත්‍ය ලෝකයට අතිශයින්ම සමීප වෙයි. පවුල සුරකින ගවයා කෙරෙහි ඇති ඔවුනගේ බැඳීම පිළිබඳ කරුණු පැවසීමේදී නුවන් හෘදයාංගමව හැසිරෙන්නේ ප්‍රේක්ෂකයා සසල කරමිනි. දෙසොහොයුරන්ගේ ළෙන්ගතුකම, ඔවුනට ආවේණික රහස් හා ගති පැවතුම් නිරූපණය ද ප්‍රේ්ෂකයා සසල කරන්නට සමත් වේ. අගනුවරදී බාල සොහොයුරාට හමුවන දැරිය ද ප්‍රේක්ෂකයා සසල කරන්නට සමත් වන්නියකි. කවර පරිසරයකදී වුව මේ දිළින්දන්ය යන වගත්, ඔවුන'තර බැඳීම් බොහෝ දුර යන වගත් නුවන් සිය ප්‍රේක්ෂකයනට පවසන්නේ වාචික ප්‍රකාශ ඔස්සේ පමණක්ම නොවේ. මේ 'සුළඟ අප රැගෙන යාවි' ට ගොඩ ආ හැකිව තිබූ හොඳම අවස්ථාවක් යැයි සිතෙන්නේ අනතුරුවය.

බොහෝ දෑ වෙනස් වන්නට පටන් ගන්නේ ගව සොරකමට සමගාමිවයි. නිවෙස අසලම රඳවා සිටි ගවයා උදෑසන වන විට අතුරුදන්ය. ගවයා ස්ව කැමැත්තෙන්ම සොරා අතට පත් වූයේදැයි යන සැකය වැඩිහිටි ප්‍රේක්ෂකයකු තුළ නම් ඇති විය හැකිය. නමුත් ළමා ප්‍රේක්ෂකයනට සිදු වන්නේ එය එසේම සිදුවන්නට ඉඩ ඇතැයි කියා විශ්වාස කරන්නටයි.

මෙසේ ලොකු කුඩා ප්‍රේක්ෂකයන් විසින් මූලික ප්‍රශ්න කිරීමක් හෝ නොමැතිව විශ්වාස කළ යුතු දෑ ගණනාවක්ම නුවන් ඉනික්බිතිව සිනමාපටයට එක් කරන්නේ කිසිදු අභියෝගයකින් තොරවය. සිනමාපටයේ පුවත කල්පිත ලෝකයක වාර්තා නොවන්නේය යන්න කෙරෙහි නුවන් අවධාවනය යොමු නොකරන්නේ මන්දැයි යන ප්‍රශ්නය ද ඒ සමඟින්ම නැඟේ. ඊට ඇතැම් ළමා ප්‍රේක්ෂකයන් ද හවුල් වනු ඇත.

ගවයා බේරා ගන්නට පෙරමුණ ගන්නේ වැඩිමහලු සොහොයුරාය. නමුත් හිතාමතාම වාගේ ඔහුව මඟහැර ගවයා සොයා අගනුවර බලා යන්නේ බාල සොහොයුරාය. තමා සොරුන් සමඟ අගනුවරට යන වග ගවයා පැවසුවේ නම් සිනමාපටය වෙනත් තැනකට කැඳවිය හැකිව තිබිණ. ගව සොරු දෙදෙනා මෙතරම් වෙහෙස වන්නේ මන්දැයි යන ප්‍රශ්නයට ද පිළිතුරක් සපයා ගැනීම අසීරුය. බාල සොහොයුරා අඩු කරමිත් කි. මී. 150 ක වත් දුර එළවළු ලොරියක පසුපස අසීරුවෙන් පැමිණිය ද අගනුවරදී නැඟී සිටින්නේ කිසිදු වෙහෙසකින් තොරවයි. කුසගින්න හෝ පිපාසය ඔහුට නොදැනුණා විය යුතුය. ඇරත් අගනුවරට ආ විගසම සිය මුදල් කොල්ල කෑ කොලුවා පසුපස හඹා යන්නට තරම් ඔහු ජව සම්පන්නය. අගනුවර ඔහුට මුළුමනින්ම ආගන්තුකයි. ඉලක්කය ගවයා සොයා ගැනීම වුවත් අඩු තරමින් සාගරය අබියස වුව විස්මය පළ කරන්නට ඔහුගේ සූදානමක් නැත. ගවයා බේරා ගැනීමට දරන ආයාසකර අවසාන ප්‍රයත්නය ව්‍යාකුල නොවේ යැයි කිව හැකිද? බාල සොහොයුරාගේ අතුරුදන් වීම රූපවාහිනී නාළිකා ඔස්සේ විකාශය කෙරේ. විටෙක ඔහුව හඳුනා ගන්නා බව පුවත් පවසයි. නමුත් කිසිදු පියවරක් නොගැනේ. අවසනදී ගවයා හමු වූ බව ඉඟි කරන්නට නුවන් ක්‍රියා කරයි. ගවයා බේරා ගනු පිණිස අවශ්‍ය මුදල එකතු කර ගත්ත ද හොර රහසේ හොර ගව මඩුව කරා යන්නට සද් ගුණවත් එළවළු ප්‍රවාහකයා හා බාල සොහොයුරා ද, මිතුරිය ද එක් වන අන්දම දෙස බලා සිටිනවා හැරෙන්නට අන් යමක් කරන්නට ප්‍රේක්ෂක ප්‍රජාව සූදානම් නොවන හැඩය. සිනනමාපටය ඇරඹෙන්නේ දෙසොහොයුරන් සුළඟේ ඉඟි බිඟි මධ්‍යයේ හැසිරෙන අන්දම කියාපාමිනි. නමුත් බාල සොහොයුරා අගනුවරට කැඳවාගෙන යන්නේ සුළඟ නොවේ.

'සුළඟ අප රැගෙන යාවි' ආස්වාදජනක හා උද්වේගකර ළමා සිනමාපටයක් බවට පත් කරනු පිණිස උක්ත මැදිහත්වීම් සපුරා විශ්වාස කරන්නට ප්‍රේක්ෂකයන් මනාප විය යුතුය යන අදහස නුවන් තුළ පැවතීම, ඔහු ස්ව කැමැත්තෙන්ම සාක්ෂාත් කර ගන්නා අභියෝගයයකි. ඇත්ත වශයෙන්ම ඊට එකඟ ප්‍රේක්ෂකයන් ළමා පරපුර වෙතින් වුව සොයා ගැනීම පහසු නොවේ. වර්තමාන ළමා පරපුර තමා නරඹන සිනමාපටයක හෝ ටෙලි නාටකයක, නොඑසේ නම් කාටුන් වැඩ සටහනක වුව අඛණ්ඩතාව, ඉලක්ක ගත බව හා අන්තර් සම්බන්ධතා කෙරෙහි දක්වන උනන්දුව අවතක්සේරු නොකිරීම සුදුසුය. මෙබඳු පසුබිමක 'සුළඟ අප රැගෙන යාවි' ළමුනට ඇතිවන ප්‍රශ්න එය නරඹන වැඩිහිටියන් තුළ පැන නඟින ප්‍රශ්න බඳුමය.

නුවන් සිය සංස්කරණ ශිල්පියාගේ දායකත්වය ද වඩා ඵලදායී අන්දමෙන් ලබා ගත යුතුව තිබුණේ යැයි සිතේ. කෙසේ වුවද තිර නාටකයේ නොපෑහීම් අබියස සංස්කරණය ද අර්බුදකාරී වන්නට ඉඩ තිබේ. මෙහි අවසාන ප්‍රතිඵලය සිනමාපටයේ සමස්තය කෙරෙහි බලපාන්නේ සුබදායී නොවන ආකාරයෙනි.

කෙසේ වෙතත් සිනමා රූප රචනය කෙරෙහි නුවන් දක්වන අවධානයේ තරම පවසන්නේ සිනමා අධ්‍යක්ෂණය කෙරෙහි ඔහුගේ ඇති කැපවීම ලඝු නොකළ යුතු බවය. අවාසනාවකට නුවන් බඳු සිනමාකරුවනට සතතාභ්‍යාසයෙහි නිරතවීමට ලැබෙන්නේ අඩු අවකාශයකි. දුබලතා පරයා යන සිනමාකරුවකු වනු පිණිස එය ජය ගත යුතුමය.

තුසිත ජයසුන්දර

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.