වැලිපවුර සරල විනෝදය සඳහාම නොවේ

මැයි 23, 2019

කුඩා කල පටන්ම විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකික යුවතියක පැමිණ සිටින්නේ වැඩිහිටි ප්‍රජාවගේ ඉරණම හා ජීවිතය පිළිබඳ පර්යේෂණයකට අවැසි දත්ත හා තොරතුරු සම්පාදනය කර ගැනීමේ අභිලාෂයෙනි. සුන්දර කඳුකරයේ පිහිටි විශ්‍රාම නිවාසයක නේවාසිකව සිටින, කිසිදා සිය අතීත මතකය නොපවසන සිසිර නැමැත්තා කිසිදු වග විභාගයකින් තොරවම ඈ අබියස දොඩමළු වෙයි. සුනිල් ප්‍රේමරත්න සිය දෙවන වෘත්තාන්ත සිනමා අධ්‍යක්ෂණය වන ‘වැලි පවුුරු’ මෙසේ අරඹන්නේ නොවෙනස් වන සුලු ප්‍රතිපත්ති සැනෙකින් වෙනස් වන්නට ඕනෑ තරම් ඉඩ ඇති වග සිසිරගේ චර්යාව හරහා ප්‍රේක්ෂකයනට ඒත්තු ගන්වමිනි. ඊට අදාළ හේතු කවරේදැයි යන්න සොයා බැලීම අනුචිතය යන්න ඔහු කියා සිටින්නේ සෘජුවම නොවේ. එය ප්‍රේක්ෂකයා විසින් තේරුම් ගනු ලැබිය යුත්තකි.

ඉනික්බිතිව සිනමාපටය පුරාම දිස් වන්නේ සිසිරගේ අතීත ජීවිතයේ නිශ්චිත කාල පරිච්ඡේදයක් බැව් පැහැදිලිය. එහිදී ද සිදුවන බොහෝ දෑ උක්ත තීරණය සිහිගන්වයි. ඒවා විස්මයජනකය. ස්ත්‍රීන්ගේ හා පුරුෂයන්ගේ තීරණ ද, එම තීරණ ක්‍රියාත්මක වන ආකාරය ද සිනමාකරු හුවා දක්වන්නේ ගහෙන් ගෙඩි එන්නාක් මෙනි. ඒ තුළ විශ්වාසනීයත්වය පිළිබඳ සාධනය සැඟ වී යන්නේ ආයාසයකින් තොරවය. තාර්කික බව කෙරෙහි ද යොමු වන්නේ ප්‍රමාණවත් අවධානයක් නොවේ. තිර නාටකය සේම සංස්කරණය ද මේ එළැඹුමේ වගඋත්තරකාර පාර්ශ්ව සේ නම් නොකිරීමට තුඩු දෙන හේතුවක් සොයා ගැනීම උගහටය.

කෙසේ නමුදු ‘වැලි පවුරු’ හි සමස්තයම හකුළුවා ගන්නා කල ඒ එහි හැඩ රුවය යන්න වටහා ගත නොහැකි නොවේ. මන්ද සිනමාකරු සුනිල්ගේ අරමුණ සිනමාපටයේ විශ්වාසනීයත්වය හෝ තාර්කික බව සුරක්ෂිත කිරීම නොවන හෙයිනි. ඔහුට අවැසිව ඇත්තේ පාදක වන කතා පුවත කෙසේ හෝ සිනමාපටයක් ඔස්සේ ඉදිරිපත් කිරීමයි. ඉන් සිනමාපටයේ හැඩ රුව අර්බුදයකට යා හැකිය යන්න සම්බන්ධයෙන් ඔහු කල්පනාකාරී නොවීම අභාග්‍යයකි. අනෙක් අතට ඔහු පේ‍්‍රක්ෂකයාට පවසන්නේ වර්තමාන ආසියානු කුටුම්බයේ එක්තරා ශෝචනීය පක්ෂයක තතුය.

මෙහිලා සුනිල් පිහිටන්නේ අතිශය හැඟීම්බර පිළිවෙතකයි. මෙබඳු පිළිවෙත් කලාත්මක ගුණාංග සහිතව සිනමාව භාවිත කරන සිනමාකරුවන් ප්‍රතික්ෂේප කරන අවස්ථා බොහොමයකි. නමුත් සිනමාපටයේ උන්නතිය සේම සිනමා වෙළෙඳ පොළේ ජයග්‍රහණ උදෙසා උත්සුක වන සිනමාකරුවකුට හැඟීම්බර පිළිවෙත් කරා යාමටද සිදු වේ. කලක් ‘සමාන්තර සිනමාව’ සේ හඳුන්වා දුන් සිනමාපට මාදිලියේ ආ ඇතැම් සිනමාපට වෙතින් ද ‘වැලි පවුරු’ හි ලක්ෂණ විද්‍යාමාන වූයේ යැයි සිතේ.

කුටුම්බය සම්බන්ධයෙන් පවත්නා පොදු මතයද, අර්ථ දැක්වීමද බැලූ බැල්මටම සුන්දරය. මව් පිය දූ දරු සෙනෙහස අනන්ත අප්‍රමාණ වුවකි. වියපත් දෙමව්පියන් රැක බලා ගැනීම දරුවන්ගේ ප්‍රමුඛ කාර්යයක් වේ. පරම්පරා දෙක තුනකටම අයත් වූවන් එකම කුටුම්බයක දවසරින්නේ කිසිදු ගැටුමකින් තොරවය.

මෙතැන පවතින්නේ උප කල්පනයක් හෝ මිථ්‍යාවක්ය යන්න අපැහැදිලි නොවේ. ලාංකේය සමාජයට අදාළව මෙවැනි කුටුම්බ සබඳතා යථාර්ථය විෂයයෙහි මුණ ගැසෙන අවස්ථා පවතී. මේ සුන්දර ගම පිළිබඳ ව්‍යාජ අර්ථ දැක්වීම් සිහිපත් කරවන අවස්ථාවකි සිනමාකරු සුනිල් සිය කතා පුවත දිග හරින්නේ පුළුල් කියැවීමට නොඑළඹෙමිනි. ඉන් සිනමාපටය වඩා පහසුවෙන් නිර්මාණය කර ගත හැකි අවස්ථා කරා රැගෙන ඒම ඔහුගේ අභිලාෂය වන්නට ඇත.

ඇත්ත වශයෙන්ම සුනිල් ‘වැලි පවුරු’ හිදී දිග හරින කතා පුවත වර්තමානයට අයත් නොවන්නක් නොවන වග සිහි කටයුතුය. සිසිර සිය වයෝවෘද්ධ පියාට බිරිඳ සමඟ උවැටන් කරන්නේ මහත් වූ ආදරයකිනි. කිසි විටෙකත් එය කරදරයක් සේ ඔහු නොදකියි. හිතුවක්කාර විවාහයකට එළඹුණු දියණියට ද, පෞද්ගලික ආයතනයක ඉහළ තනතුරක් දරන නාගරික යුවතියක සරණ පාවා ගත් පුතුට ද ඔවුනගේ සෙනෙහස නොඅඩුව ලැබේ. ඔවුන්ව සූක්ෂ්ම අන්දමින් රවටන්නේ දියණිය පමණක් නොවේ. කිසි විටෙකත් එබන්දක් නොකරන්නේ යැයි සිතූ පුතු ද ඔවුනට සතුරු තීරණ කරා එළැඹෙයි. අන්තිමේදී සිසිර හා බිරිඳ, පුතුගේ හා දියණියගේ නොතකා හැරීම් මැද මිතුරකුගේ නිවෙසකට කොටු වෙති. බිරිඳ මිය යාමෙන් අනතුරුව සිසිර විශ්‍රාම නිවාසයක දිවි ගෙවන්නේ අන් විසඳුමක් නොමැති හෙයිනි.

මේ පුවත ඇසුරෙන් මතුවන දෙකරුණකි. නමුත් සුනිල් ඒවා අරබයා දක්වන සැලකිල්ලේ ප්‍රමාණය ප්‍රමාණවත්දැයි කියා පැවසීම අසීරුය. නිසැකවම එම දෙකරුණ බැඳෙන්නේ පෙර කී කුටුම්බය පිළිබඳ පුළුල් කියැවීම සමඟිනි. විෂයය වූ කතා පුවත සතු ප්‍රබලතාව ප්‍රකාශයට පත් නොකිරීම සුනිල් විසින් ඉදිරියේදී ජය ගනු ලැබිය යුතු අභියෝගයක් වේ. ඔහු ‘වැලි පවුරු’ හිදී සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වන ‘ටවුමෙ ඉස්කෝලෙ’ තිරණාත්මක ආකාරයෙන් අබිබවා ගියේය යන්න නම් සඳහන් කළ යුතුමය.

උක්ත දෙකරුණ අතරින් පළමුවැන්න වන්නේ තරුණ දූ දරුවනට වියපත් දෙමව්පියන් නිසා කිසියම් අපහසුතාවක් ඇති වන්නේය යන්නයි. අවිවේකී ජීවන රටා මේ තත්ත්වය වඩා තීව්‍ර කරන වග නිසැකය. වියපත් මව්පියන් රැක බලා ගන්නා විකල්ප ක්‍රමවේද තවදුරටත් ආසියානු සමාජයට ආගන්තුක වූවකි. මුල් බැස ගත් මතය වන්නේ කෙතරම් අවිවේකී ජීවන රටාවක් තුළ වුවද, ආර්ථික දුෂ්කරතා මැද වුව ද වැඩුණු දරුවන් විසින් තමන්ගේ වියපත් දෙමව්පියන් තමන් අසලම නවතාගෙන රැක බලා ගත යුතු බවයි. විශ්‍රාම නිවාසය යනු දුෂ්ට දරුවන් විසින් අවිහිංසක වියපත් දෙමව්පියන් ගාල් කර තබන ස්ථානය වන්නේය යන අදහස යට කී මතයේම කොටසකි. මේ ආසියාතික යථාර්ථය සංකේතවත් කරන්නක් සේ නොපැවසීම සුනිල්ගේ තීරණයකි. නමුත් ඔහු අර ආකල්පයට යටත් නොකිරීම ප්‍රශ්නකාරීය. ඔහු රැඳෙන්නේ සම්මත අර්ථ දැක්වීම් මතමය.

දෙවැනි කරුණ සුදු හා කළු චරිත නිරූපණයට සුනිල් අසීමාන්තිකව උත්සාහ කිරීමයි. සිසිර හා බිරිඳ උතුම් මව්පියන්ය. දියණිය හිතුවක්කාරය. ඇගේ නූගත් සැමියා රස්තියාදුකාරයෙකි. පුත්‍රයා සිය බිරිඳගේ මව පවසන අදහස් මතම රැඳෙන්නෙකි. සිසිරගේ මිත්‍රයා නම් ගුණගරුකයි. මේ කළු - සුදු බෙදා දැක්වීම සඟවා තබන්නට සුනිල් දක්වන උනන්දුව අවතක්සේරු කළ යුතු නොවේ. සිසිර ඉඳහිට මධුවිතක් තොලගාන්නෙකි. තමාව අමාරුවේ දැමූ පුතුට එරෙහිව නඩු මඟට බසින්නට වුව ඔහු සූදානම්ය. දියණියගේ රස්තියාදුකාර සැමියා ඇයට බෙහෙවින් ආදරය දක්වයි. කෙසේ නමුත් මෙබඳු එක් කිරීම් නිසා කළු - සුදු චරිත ලක්ෂණ වෙනස් කරලීමේ ඉඩ ප්‍රස්තා විවර නොවන බව නොරහසකි.

සිනමාපටය නරඹන අතරතුර ප්‍රේක්ෂකයනට පසක් වන්නේ සිසිරගේ අතීතය හාරා අවුස්සන යුවතිය අන් කවරකුවත් නොව ඔහුගේම මිනිබිිරිය විය හැකි බවයි. අන්තිමේදී සුනිල් එය ප්‍රේක්ෂකයනට වක්‍රාකාරයෙන් පවසන්නේ සිය හැඟීම්බර ප්‍රකාශන පිළිවෙත ආරක්ෂා කර ගන්නා අතර වාරයේය. ඉන් ඉදිරියට සිනමාපටය විකාශය කළ හැකි මාවතක් ද එතැනදීම විවර වේ. එහෙත් සුනිල් කල්පනා කරන්නේ මෙතැනින් සිනමාපටය අහවර කර දමන්නටය. මේ මොහොත වනවිට සිසිරගේ දරු දෙදෙනා පිළිබඳ යමක් සටහන් කිරීම අවැසිම නොවන වග ඔහු විසින් තීරණය කරනු ලැබීම වැදගත්ය. ඒ සියල්ල ප්‍රේක්ෂකයනට පවසා ඇති හෙයිනි.

සිය ප්‍රථම සිනමා අධ්‍යක්ෂණයේදී නම් සුනිල් පහසුවෙන්ම වැඩි ප්‍රේක්ෂක පිරිසක් ඇමතිය හැකි තෝරා ගැනීමක් කෙරෙහි උනන්දු වූ බව පෙනේ. ‘වැලි පවුරු’ හි දී නම් ඔහු පිහිටන්නේ ඊට ඉඳුරාම වෙනස් පිළිවෙතකය. එක අතකට ‘වැලි පවුරු’ සරල විනෝදාස්වාදයටම අමතන සිනමාපටයක් නොවේ. තරුණ වියේ ප්‍රේමය හෝ ළමා චරිත හා ළමා සිතුම් පැතුම් මුල් කරගත් සිනමාපටයක් ද නොවේ. ආසියාතික දෙමව්පියන්ගේ ඇතැම් ඛේදනීය අත්දැකීම් මුල් කර ගත් සිනමාපටයකි. එබන්දකට සමකාලීන සිනමා වෙළඳපොළ තුළ ඇති ඉල්ලුම අවිනිශ්චිතය. සිනමා නිෂ්පාදකයන් සංයුක්ත තැටි වෙළෙඳපොළට පිවිසෙනු පිණිස උක්සුක වන අවස්ථා ද පවතී. සිනමාකරුවන්ටද ඊට වෙනස් අදහසක් කරා පැමිණීම අසීරුය. පුළුල් තිරයේ නිරූපණය විය යුතු සිනමාපටයක් ආලින්දයේ රූපවාහිනී තිරය කරා පැමිණීමෙන් සිදු වන්නේ කුමක්දැයි කියා සිතා බැලීමට දැන් පුළුවන. ඇතැම් සිනමාපට විශාලනය වූ රූපවාහිනී සිනමාපටදැයි හැඟෙන වාර බොහොමයකි. සුනිල් ‘වැලි පවුරු’ හිදී මේ තත්ත්වයට විවෘතවම මුහුණ දෙයි. මෙහිලා ඔහුට සහය වනු පිණිස මහේන්ද්‍ර පෙරේරා දරන ප්‍රයත්නය, ඔහුගේ විශිෂ්ට සිනමා රංගන අවස්ථා සිහිපත් නොකර සුලුය. මහේන්ද්‍ර සේම දිල්හානි අශෝකමාලා ද පැතලි නොවන චරිත නිරූපණයට උත්සුක වන අන්දම පෙනේ. සිදුවීම් හරහා එන විශ්වාසනීයත්වය හා තර්කානුකූලබව අරබයා සිනමාකරු සුනිල් දරන ආකල්ප සමඟ එකඟ වන මහේන්ද්‍ර හා දිල්හානි අලුත් යමක් සිනමාපයට එක් කිරීමෙන් වැළකෙති.

සිනමාකරුවකු වශයෙන් සුනිල් එක්තරා භාග්‍යවන්තයකු වන්නේ කෙටි කලක් ඇතුළත සිනමාපට ද්විත්වයක්ම සිනමා ශාලා කරා රැගෙන එන්නට සමත්වුවකු වන හෙයිනි. එය ද අන්තර්වාර ප්‍රදර්ශන රටාව තුළ නොපැවතීම විශේෂත්වයකි. ප්‍රවීණ හා ප්‍රතිභාසම්පන්න සිනමාකරුවන් ද ඔවුන් හා එක් වන්නට සූදානම් නවක සිනමාකරුවන් ද මෙසමයේ සිය සිනමාපට සිනමා ශාලා කරා බොහෝ විට රැගෙන එන්නේ අන්තර් වාර ප්‍රදර්ශන රටාව ඉවහල් කොට ගනිමිනි. මෙයද හේතු කොට ගෙන සුනිල් මත පැටවෙන්නේ බැහැර කළ නොහැකි වගකීමකි. දෙවතාවකදීම තමනට ලැබුණු ප්‍රධාන ප්‍රදර්ශන අවකාශයට වඩාත් නිර්මාණශීලී වටිනාකමක් ඉදිරියේදී ලබාදීම එම වගකීමයි. සිය මුල් සිනමාපටය අබිබවා දෙවන සිනමාපටය ‘වැලි පවුරු’ නිර්මාණය කිරීමෙන් ඔහු ඉඟි කරන්නේ ඊට විරුද්ධත්වයක් තමා තුළ නොමැති බවයි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.