වර්ෂ 2019 ක්වූ December 07 වැනිදා Saturday
ලාල්ට කොලිවුඩයෙන් තවත් ඇරැයුම්

අනූව දශකයේ සිනමාවට එක් වූ ජනකාන්ත සිනමා නළු ලාල් වීරසිංහට දිගින් දිගටම දකුණු ඉන්දීය සිනමාපට සඳහා ඇරැයුම් ලැබී තිබේ. මේ වන විට ඔහුට එලෙස ලැබුණු ඇරැයුම් සංඛ්‍යාව හතරකි. දකුණු ඉන්දියානු සිනමාව හා එක්ව ලාල් නිර්මාණය කරනු ලැබූ අන්ද නිමිදම් සිනමාපටයේ සියලු වැඩකටයුතු මේ වන විට අවසන්ය. එහි කතා සංකල්පය ලාල්ගේය. ඔහු එහි ප්‍රධාන චරිතයක් නිරූපණය කළේය. අන්ද නිමිදම් සිනමාපටයේ පූර්ව ප්‍රචාරකපටය සහ ගීත එළිදැක්වීම ඉකුත් දා ඉන්දියාවේදී සිදු විය.
මේ ලැබුණු ඇරැයුම්වලින් පසුව ලාල් දිගටම දකුණු ඉන්දීය සිනමාපටයන්හි රංගනයට දායක වීමට නියමිත වග සරසවියට සඳහන් කළේය. තුප්පාකි එන් කදෙයි සහ යුද්ධගාන්ට නැමැති සිනමාපට යුගලෙහි රූපගත කිරීම ළඟදීම ආරම්භ වීමට නියමිතය. ලාල් රංගනයෙන් දායක වන අනෙක් සිනමාපටයන් ද්විත්වයට තවම නම් තබා නොමැත. මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී ලබා දෙන බව ලාල් සරසවියට සඳහන් කර සිටියේය.