අද්භූත ආරක්ෂකයා

පරිස්සමින් ඉන්න
ජූලි 18, 2019

සොනාලි සහ නාරද හැදී වැඩුණේ ළමා නිවාසයකය. කුඩා කාලයේ සිටම ඔවුන් හොඳ මිතුරන් විය. දිනෙක ළමා නිවාසයට තරුණ යුවලක් පැමිණේ. ඔවුන් දකින නාරද කිසිදු හැඟිමකින් තොරව ගොස් එම තරුණියගේ අතින් අල්ලා ගනියි. ළදරුවන් අහිමි එම යුවළ නිත්‍යානුකූලව නාරදව හදා ගැනීමට භාර ගනී. වයස අවුරුදු 08 ක පමණ වයසකින් වූ නාරදට තම මිතුරිය මඟ හැරේ.

ගුවන් නියමුවකු වන නාරදගේ පියා නිතරම සිටින්නේ විදේශ ගතවය. සියළු සැප සම්පත් සමඟ නාරද වත්මන් මවගේ ආදරය ලබමින් සතුටින් සිටියි. නාරදගේ මව නිරන්තරයෙන් හමුවන මිතුරෙකු පිළිබඳ නාරද යම් සෝදිසියකින් සිටී. මේ පිළිබඳව තතු දැනගන්නා නාරදගේ පියා කලකිරීමෙන් කල් ගෙවයි. මේ අතර නාරදගේ මව ගැබ් ගනී. ඇය කාලයක් එය සඟවාගෙන සිටියි. ලිංගික දුබලතාවයකින් පෙලෙන නාරදගේ පියාට සහ නාරදට මුහුණ දීමට ආත්ම ශක්තියක් නොමැතිව මව සිය දිවි හානි කරගනී. ඉන් කම්පනයට පත්වන නාරදගේ පියා මානසික ආතතියකින් ඔත්පල වේ. ඔහුට වැඩිහිටි පුනරුත්ථාපන කඳවුරක නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සිදු වේ.

තරුණ අවදියට පැමිණෙන නාරද නිර්වින්දන වෛද්‍ය විද්‍යාව තමාගේ වෘත්තිය කර ගනී. කුඩා කල ඇති වූ තද බල මානසික ආතතිය නිසා ඔහු නිතර නිතර කලබලයට පත් වෙයි. තමන් නැවතත් තනි වූ බවක් ඔහුට හැඟේ. ඔහු නිරන්තරයෙන් තම පියා බැලීමට මානසික නේවාසිකාගාරයට යයි. කාලයකට වරක් නිවෙසට පියාව රැගෙන පැමිණෙයි. මේ අතර ඔහු තම මිතුරිය සෙවීමට තීරණය කරන අතර ළමා නිවාසයේ පාලකයා හරහා ඇයගේ තොරතුරු සොයා ගනී. එමගින් රූමත් සොනාලිව විවාහ කර ගැනීමට නාරද තීරණය කරයි. විවාහයට පෙර නිවසේ සියලු දොර ජනෙල් පිටතින් ඇණ ගසා සීල් කරන අතර නිවස ඇතුළත කැමරා පද්ධතියක්ද සවි කරයි. තදබල ලෙස නිවසට කිසිවෙකුට ඇතුල්වීමට නොහැකිව නිවෙස ආරක්ෂා කරයි. සොනාලි සමඟ විවාහපත් වන නාරද සොනාලිව තම නිවසට කැඳවාගෙන එයි. පළමු දින රාත්‍රියෙන් පසු නිවසින් පිටතට යා නොහැකි බව සොනාලි තේරුම් ගනී. නාරද ඇයට එය තේරුම්කර දීමට නොයෙක් උත්සාහයන් දරයි. නිතරම ඇය ආරක්ෂා කරගැනීම නාරදගේ දැඩි ප්‍රයත්නයයි. ඒ පිළිබඳ සොනාලි යම් කුතුහලයකට පත් වෙයි. ඇය ඊට හේතු කාරණා සොයයි. ඇයට නිවස තුළින්ම සාක්ෂියක් ලැබෙන අතර කැමරා සවිකරන ලද නිවසේ සැලැස්මක් ද හමු වෙයි. ඉන් විමතියට පත්වන ඇය නාන කාමරය, නිදන කාමරය, කුස්සිය, සාලය ඇතුළු නිවසේ සියලුම තැන් ආවරණය වන පරිදි කැමරා සවි කර තිබෙන අයුරු සියැසින්ම දැක ගනී. මේ අතර ඇය පළා යන්නට තීරණය කරයි. පරිස්සමින් ඉන්න සිනමාපටයේ කතා සාරාංශය මෙයයි. නවක සිනමාකරුවකුගේ ආගමනය ද මෙම සිනමාපටය සමඟින් සිදුවේ. ඔහු ධනුෂ්ක රේමන්ඩ්ය.

නළු නිළි කණ්ඩායම

සුජීව ප්‍රයලාල්, සෙනාලි ෆොන්සේකා, නිරෝෂන් විජේසිංහ,උදයන්ති කුලතුංග

නිෂ්පාදන පිරිවර

නිෂ්පාදනය - අතුල ඉද්දමල්ගොඩ

කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ

සහය අධ්‍යක්ෂණය - ලසන්ක මධුෂාන්

වේශ නිරූපණය - හර්ෂ මංජුල

කලා අධ්‍යක්ෂණය - සරත් චන්ද්‍ර ජයවීර

සංස්කරණය සහ වර්ණ සංයෝජනය - ඉරූෂ ගමගේ

ඡායාරූප - සම්පත් චතුරංග

 

 
   
CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.